මීගමුව බන්ධනාගාර ගැටුම; සාක්ෂිකරුවන් 13දෙනෙකු අධිකරණයට

මීගමුව බන්ධනාගාර ගැටුම; සාක්ෂිකරුවන් 13දෙනෙකු අධිකරණයට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයෑම සම්බන්ධයෙන් මීගමුව අධිකරණයේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව ඊයේ (21) පැවැත්වී ය. එහි දී  1 සිට 4 දක්වා නම් කර ඇති සැකකරුවන් හතර දෙනකු සහ එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන්13දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළේ ය.

නම් කළ සැකකරුවන් 70ක්

සාක්ෂිකරුවන්, සැකකරුවන් පොලිස් හා STF නිලධාරීන් ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ නියෝග පරිදි ආවරණය කර  අධිකරණයට ඉදිරිපත් කෙරුණි. අනතුරුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා පෙරට්ටු කාමරය වෙත පැමිණිමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුව ආරම්භ විය. එහි දී  හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමේන් අනතුරුව සාක්ෂිකරුවෝ 13  විසින්   සැකකරුවෝ  හඳුනා ගන්නා ලදී. එමෙන්ම  තවත්  සැකකරුවන් හත්දෙනකු එනම් සැකකරු අංක 64 සිට 70 දක්වා    නම් කිරීමට අවශ්‍ය බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒමෙන් ම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර   සැකකරුවකු ලෙස  නම් කර සිටි මෙම  සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි ඇති අතර පසුව ඇප ලබා නිවසට පිටව ගොස් තිබු සැකකරුවකු ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.  එම සැකකරු සැඟව සිටි බවත් විමර්ශන සිදු කර අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ ය.

 ඒ අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 70ක් නම් කර ඇත.

ආරක්ෂක හේතු මත එම සැකකරුවන් ගේ නම් විවෘත අධිකරණයට ඉදිරිපත් නොකළේ ය. නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්‍රාත්වරියගේ  අතට පත් කිරීමට  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු  කරන ලදී.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් 2000කට අධික පිරිසක ගෙන් ප්‍රකාශ ලබ ගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හඳුනාගන්නා  සියලු ම සැකකරුවන්ට මිනී මැරුම් චෝදනා

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුහ. මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (21) කැඳවී ය. එහි දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේ ය.

"ස්වාමීනි. අද දින සැකකරු අංක 64 සිට 70 දක්වා සැකකරුවන් හත් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනවා. එම සැකකරුවන් ඇප ලබා පිටව යා හැකි බැවින් 8/28 ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිනවා. මරණ පරික්ෂණවල දී මිය ගිය පුද්ගලයන් ගෙන් ලබා ගත් රුධිර සාම්පල සහ ශරිර කොටස් රජයේ රසපරික්ෂකවරයා වෙත ප්‍රශ්නාවලියක් මගින් ඉදිරිපත්පත් කරනවා. ලකුණු කර තිබෙන නඩු භාණ්ඩවල DNA ඇලිල එම ජාන රටා සමග මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් වෙන් වශයෙන් යොමු කරලා තියනවා. ඒවා මරණකරුවන් ගේ DNA ඇලිල රටා සමග සංසන්දනය වන්නේද ? එසේ සංසන්දනය වන්නේ නම් වෙන් වෙන් වශයෙන් ඒවා ලබා දෙන ලෙස නියෝගයක් රජයේ රසපරික්ෂකවරයාට නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමිනි සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා  සියලු ම සැකකරුවන්ට මිනී මැරුම් චෝදනා යටතේ,  ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ  නඩු පවරනවා. දණ්ඩ නීති සංග්‍රහයේ  102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදු කර තිබෙනවා.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිවකු ගේ බලපෑමක්…?

ඉන්  අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා අධිකරණයේ කරුණු දැක්වූයේ ය.

ස්වාමිනි…,

මෙම සිදුවීමෙන් රැඳවියන් විශාල ප්‍රමාණයක්  වෙඩි තැබීම්වලින් මිය ගියා. මෙම වෙඩිතැබීම් වුණේ කොහොම ද, කවුද කියලා සාකෂි, සැකකරුවෝ නම් කරලා නැහැ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය රෙගුලාසිවල තියෙනවා. වෙඩි තැබීම පාලනය කළ නොහැකි අවස්ථාවල දී මරණීය තුවාල සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට හැකි බව. නමුත් මෙහි දී එහෙම පේන්නැහැ. මරණය ඇති කරන්න ම කළා වගේ අපිට පේන්නේ. අපි දැක්කා බන්ධනාගාර දොර කවුළුවෙන් වෙඩි තියනවා. 294 වගන්ති ප්‍රකාරව මේක මිනී මැරීමේ අපරාධයක්. ඒ සම්බන්ධව යුක්තිය ඉටු වෙනව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාගේ හරි බලපෑමක් තියෙනව ද කියලා ඔබතුමී බලන්න ඕන. රැඳවියන්ගේ ඥාතීන් බලන් ඉන්නවා ඔවුන්ට යුක්තිය ඉටු වෙනකම්. මේ සම්බන්ධව රැඳවියන්ට වෙඩි තැබීම් සිදුකළ අයව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

 

සිද්ධියේ එක පැත්තක් වැහිලා

අනතුරුව එම සංගමය වෙනුවෙන්ම නීතිඥ අරවින්ද හබක්කල කරුණු දැක්වුවා.

ස්වාමීනි…,

ඔබතුමිය මෙම අධිකරණයේ විමර්ශන කරන්නේ මේ මියගිය අය සියල්ල ම මනුෂ්‍යයෝ විදියට සලකලා. මේකේ දෙපැත්තක් තියෙනවා. හැබැයි දැන් අපිට පේන්නේ මේකේ එක පැත්තක් වැහිලා එක පැත්තකින් විතරක් ඉදිරියට යනවා වගේ. මේකෙදි බහුතරයක් මිය ගියේ වෙඩි තැබීම්වලින්. මේවා වුණේ කොහොමද කියලා හොයන්න ඕන. මොකද මේ මියගිය සියල්ල ම මනුෂ්‍යයෝ. රැඳවියෝ නිලධාරීන් කියල බෙදිල්ලක් නැහැ. අපි දැනුවත්ව නම් මෙම සිදුවීමට කිසිදු නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන නැහැ.

එහි දී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යමක් ප්‍රකාශ කිරීමට ඇත් ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් උප පොලිස පරික්ෂක දුලිත මධුරංග මෙසේ පැවසීය.

අවිගාරය කඩා අවි 32ක් අරගෙන

ස්වාමීනි.. රැඳවියන් ගැටුම අවස්ථාවේ දී අවි ගාරය කඩා අවි 32ක් ඔවුන් ගේ භාරයට අරන් තියනවා. එම ස්ථානයේ රජයේ රසපරික්ෂක ඇතුළු විශාල පිරිසක් ස්ථානීය පරික්ෂණ සිදු කරලා තියනවා. ඒවායේ වාර්තා ලැබුණු පසු තමයි වෙඩි තැබ්ම් සිදුව ඇත්තේ නිලධාරීන් ගේ ගිනි අවිවලින්ද රැඳවියන් ගේ ගිනි අවිවලින් ද කියලා නිගමනය කරන්න පුළුවන් වෙන්නේ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග ලබා දුන් අතර සැකකරුවන් 70ම ලබන 8/28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට සැකකරු අංක 1 සිට 4 දක්වා සැකකරුවන් එදිනටත් අනෙක් සාක්ෂිකරුවන් වෙත හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කළා ය.

එමෙන්ම අනෙක් සැකකරුවන් සුම් තාක්ෂණය මගින් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න,  උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග, උප පොලිස් පරික්ෂක මධුසංක  සහ (1315) ජයසුරිය, (97257) බණ්ඩාර,  අනිල් අසේල (87113), (108388) හේරත් ඇතුළු  නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න