මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාළව කොළඹ විජේරාම ස්ථීර ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (20) දිනයේත් කැඳෙව්වා.
දවල් 1ට පමණ නඩුව මහාධිකරණයේ දී කැඳෙව්වත් නඩුවට අදාළ චූදිත අංක 02 වන නාදන් ඒ වෙනකොටත් අධිකරණයට ඇවිත් තිබුණෙ නෑ. විනිසුරුවරුන් ඒ ගැන විත්තියේ නිතීඥවරුන්ගෙන් ඇහුවහම ඔවුන් කිව්වෙ චූදිත අංක 02 අධිකරණයට එන ගමන් කියලා. ඒ අනුව විනිසුරුවරුන් චූදිත අංක 2 අධිකරණයට එනකම් නඩුව විනාඩි 15ක කාලයකට කල් තැබුවා.
දවල් 1.20ට විතර නඩුව ආපහු කැඳෙව්වා. ඒ වෙනකොට චූදිත අංක 02 වන නාදන් අධිකරණයට ඇවිල්ලා තිබුණා. ඒ අනුව ඔහු ගේ නිතීඥවරුන් ඒ බව තහවුරු කිරීමෙන් පසුව නඩුවෙ කටයුතු ආරම්භ කළා.
මීට පෙර දිනයේ නියෝග කරලා තිබුන විදියට පැමිණිල්ලේ සාක්ෂි අංක හතරේ, සාක්ෂි විමසීම කරන්න තමයි නියමිතව තිබුණෙ. ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂි අංක 4 වෙන සුමතිපාල සුරේශ් හෙවත් මුරලි විශේෂ ආරක්ෂාවක් මැද අද අධිකරණයට අරගෙන ඇවිල්ලා තිබුණා. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිහින් අතුරුදහන් කිරීමට අදාළ මේ නඩුවට මුරලි ගේ සාක්ෂිය හුඟක් වැදගත් එකක් කියලා තමයි බොහෝ අය කිව්වෙ.
මීට පෙර නඩුව කැඳවපු දිනයක නීතිපති දෙපාර්තමේන්තුව මේ පැමිණිල්ලේ සාක්ෂි අංක 4, සාක්ෂි විමසීම සඳහා මේ අධිකරණයට කැඳවන්න අවසර ඉල්ලපු වෙලාවෙ විත්තියේ නිතීඥවරුන් ඒකට දැඩිව විරුද්ධ වී තිබෙනවා. නමුත් විත්තියේ විරෝධතාවය නොසලකා අධිකරණය විසින් මේ පැමිණිල්ලේ සාක්ෂි අංක 4 වෙන මුරලිගේ සාක්ෂිය කැඳවන්න නීතිපති දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා. ඊට පස්සෙ 2026 ජූලි මාසේ 24 වෙනිදා මේ නඩුව කැඳවපු වෙලාවෙ විත්තියේ නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා මේ තීරණයට විරුද්ධව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා කියලා.
ඒ අනුව නඩුව පටන් ආරම්භයේ දී ම විත්තියේ නිතීඥවරුන් මේ තීරණයට විරුද්ධව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කළ බවත් ඒ පෙත්සමේ පිටපත් කීපයකුත් ස්ථීර ත්‍රි පුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කළා.
මේ හේතුව නිසා ඊයේට නියමිතව තිබුණ මුරලිගේ සාක්ෂිය ලබා ගැනීමට ස්ථීර ත්‍රි පුද්ගල මහාධිකරණයට පුළුවන් වුනේ නෑ. ඒ අනුව නඩුව වෙනත් දිනයකට කල් තියන්න විනිසුරු මඬුල්ල තීරණය කරා.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ, ඒ කියන්නෙ ලබන මාසේ 4 වෙනිදා නඩුව නැවත කැඳවන්නත් එදා දිනයට, පැමිණිල්ලේ සාක්ෂි අංක 116ට සහ පැමිණිල්ලේ සාක්ෂි අංක 4ට අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කරමින් සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඬුල්ල නියෝග කරා.

සටහන - Chanaka Karunarathne

