"නන්දා මාලිනී සමාජ අසාධාරණය හමුවේ නොබියව ගීතය අවියක් කර ගත්තා" - හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා

"නන්දා මාලිනී සමාජ අසාධාරණය හමුවේ නොබියව ගීතය අවියක් කර ගත්තා" - හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා

නන්දා මාලිනී පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්‍රශස්ති ගායනාවන් නොකළ, සමාජ අසාධාරණය හමුවේ නොබිය ව ගීතය අවියක් කර ගත් අදීන නිර්මාණ ශිල්පිනියක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

අග්‍රගන්‍ය ගායනවේදිනී අචාර්ය නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමිනුයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ.

සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ මොහොතේ ඊට එරෙහිවීම නිසා ගුවන් විදුලියේ දොරගුළු වැසුණු ගායක ගායිකාවන් කීප දෙනා අතර නන්දා මාලිනී ද පෙරමුණේ සිටි බවද, ඇතැමෙක් රාජ්‍ය මර්දනය හමුවේ පසු බසිද්දී නන්දා මාලිනී තම මතය වෙනුවෙන් නොබියවම අඛණ්ඩව පෙනී සිටියා යනුවෙන් හිටපු ජනාධිපතිනිය සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම සටහන මගින් සිය අතීත මතකයන් සිහිපත් කරමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කර ඇත්තේ විජය කුමාරතුංග අසාධාරණ ලෙස අත් අඩංගුවට ගත් මොහොතේ රාජ්‍ය ත්‍රස්තවාදයට බියේ බොහෝ කලාකරුවන් නිහඬ වද්දී නන්දා මාලිනී නොබියව විජය වෙනුවෙන් පෙරට ආ බවත් නිතර රොස්මිඩ් නිවසට පැමිණි ඇය තමාට මහත් ශක්තියක් වූ බවය.

ඇතැමෙක් පටු දේශපාලන දුෂ්ඨීන්ට යට වී ඇයට පහර ගැසුවද , ඇයගේ කීර්තිය දශමයක් හෝ අඩු නොවන බව තමා දන්නා බවද,  නන්දා මාලිනීගේ දේශපාලන දුෂ්ටිය සහ භාවිතාව, ප්‍රතිපත්තිගරුක බව නොදැන පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ඇය ව විවේචනය කරන්නවුන්ට අනුකම්පා කරන බවද හිටපු ජනාධිපතිනිය එම සටහනේ දක්වා තිබේ.

"ආචාර්‍ය නන්දා මාලිනියනි ඔබට නිවන් සුව! ඔබගේ නිර්මාණ භාවිතාව තවත් යුග ගණනාවකට ආලෝකයක් වනු ඇත." යනුවෙන් සඳහන් කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක සිය සටහන අවසන් කර තිබේ.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න