විනිසුරු විශ්‍රම වයස දීර්ඝ කිරීමට අදාළ 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යෙන් සිදුකළ යුතු බව සමගි ජනබලවේගයේ නීති ලේකම් නීතිඥ මහේෂ් පරාක්‍රම පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජනබලවේගයේ කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නීතිඥ මහේෂ් පරාක්‍රම…
''තමන් ගේ නඩුව තමන් ම අහන්නේ නෑ කියන එක අපේ නිතියේ ප්‍රධාන මූලධර්මයක්. ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ වයස් සීමාව වසර දෙකකින් වැඩිකරනවා කියන්නේ එහි වරප්‍රසාදය යන්නේ ඉහළ උසාවි දෙකේ ඉන්න විනිසුරුවරුන්ට.
මුරුදු ප්‍රනාන්දු අගවිනිසුරුවරිය ලබාදී ඇති නියෝගය
මේ අවස්ථාවේ ඉදිරිපත් වන විරෝධතා මත නඩු විභාගයකට අවස්ථාව උදාවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහි දී දූෂණ විරෝධී පනතේ නියමයන් ද මෙහිදී සලකා බැලෙනවා. ඒ අනුව එහි 107 වගන්තිය මගින් පෙන්වා දෙනවා ළබැදියාවන් අතර ඝට්ටයන් පිළිබදව. මේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ ඉන්න අගවිනිසුරුතුමා මේ වසරේ දෙසැම්බර් මුල සහ තවත් දෙන්නෙක් ලබන වසරේදීත් විශ්‍රාම යෑමට නියමිතයි. ඒ නිසා එම විනිසුරුවරුන්ට මේ සම්බන්ධයෙන් පැනවෙන නඩුවකට පෙනී සිටිය නොහැකි යි. එවැනි තත්ත්වයක් තුළ පූර්ණ විනිසුරු මඩුල්ලක් මේ සදහා ඉල්ලීමට බොහෝ දුරට ඉඩ කඩ පවතිනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් පමණක් සම්මත නොකර, ඒ සදහා ජනමත විචාරණයක් සිදුකරන ලෙස මෙහි දී පෙත්සම්කාර පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත්වේවි. ඒ අනුව විශ්‍රාම යාමේ වයස ආසන්නයේ සිටින විනිසුරුවරුන් නියෝජනය නොවන පරිදි අනෙකුත් විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විතව විනිසුරු මඩුල්ල පත්කළ යුතු යි. මුරුදු ප්‍රනාන්දු අගවිනිසුරුවරිය මීට ඉහතදී ලබාදී ඇති නියෝගයට අනුව පාර්ලිමේන්තුවේ තුනෙක් දෙක මේ සදහා ප්‍රමාණවත් නෑ. ඒ සදහා ජනමත විචාරණයක් අවශ්‍යයි.''
නඩු ප්‍රමාදය හා ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසදීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන කරුණ සම්බන්ධයෙන්ද නිතිඥ මහේෂ් පරාක්‍රම මහතා කරුණු දැක්වීය. ඔහු පෙන්වා දෙන්නේ ලක්ෂ 11ක් නඩු ගොඩගැහී ඇත්නම්, ඒ අතරින් නඩු ලක්ෂ හයහමාරක් හතක් පමණ ගොඩගැසී ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණවල බවයි. තවත් නඩු ලක්ෂ දෙකක් දෙක හමාරක් දිස්ත්‍රික් උසාවිවල ගොඩගැසී ඇති බව ද ඉහළ උසාවිවල තියෙන්නේ සුළු නඩු ප්‍රමාණයක් වන බව ද ඔහු පෙන්වා දුන්නේය. නඩු ඇසීම කඩිනම් කිරීමට නම් මහේස්ත්‍රාත් උසාවිවල විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කරමින් අනෙකුත් අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගත යුතු බව ද ඔහු සදහන් කළේය. එමෙන්ම නඩුවල සාක්ෂි සටහන් ලබාගැනීම කාර්යක්සම කිරීම ඇතුළු එම අධිකරණවල පහසුකම් සංවර්ධනය කළ යුතු බව ද පැවැසු නීතිඥවරයා අවධාරණක කළේ එවැනි තත්ත්වයක් තුළ කලබලයට නඩු ඇසීමෙන් යුක්තිය ඉටු නොවන බව ය.
ආණ්ඩුව බලශක්ති ඇමති රැක්කා
''ජනාධිපති කියනවා අධිකරණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් වෙනුවෙන් අවදානමක් ගන්නවා කියලා. අවදානම් ගන්වානම් ඒ සදහා මීට වඩා හොද අවස්ථා තිබුණා. පරීක්ෂාවට ලක්කළ යුතු කන්ටේනර් මුදා හැරීමේ සිද්ධිය. ඒ වෙලාවේ ජනාධිපතිතුමාට තිබුණා අවදානමක් අරන් වැඩ කරන්න. ඒ සම්බන්ධයෙන් සොයන්න ජනාධිපතිතුමා ම කමිටුවක් පත්කළා. ඒ කමිටුවෙන් විනය පියවර ගන්න නිර්දේශ කළ පුද්ගලයින් තමයි රේගු අධ්‍යක්ෂ ජනරාල් කළේ. ඒ පුටුවෙන් ගියාට පස්සේ අද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් ලෙස පත්කරගෙන ඉන්නවා.
දෙවෙනි චෝදනාව ගල්අගුරු නැව් 19ක් ආනයනය කිරීමේ සිද්ධිය. මේකෙන් කෝටි 1000ට වඩා පාඩුවක් වෙලා තිබෙනවා. එතැන දී විපක්ෂය දිගින් දිගටම හඩ නගද්දි ආණ්ඩුව ඒ වෙලාවේ කළේ බලශක්ති ඇමති වූ කුමාර ජයකොඩි රැකපු එක. අවසානයේ දී හඩපටයක් ලීක් වුණා. එතැනදි තමයි බලශක්ති ඇමතිට ඉවත්වෙන්න කීවේ. ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම තවත් සිදුවීමක්. ඉතිහාසයේවත් එහෙම දේවල් වෙලා නෑ. අවදානමක් ගන්න ලෑස්ති නම් මේ වෙලාවෙ ඒ අවදානම් ගන්න තිබුණා. ඒ වෙලාවේ කියන්න තිබුණ මුදල් අමාත්‍යංශයේ ලේකම්ට ඉල්ලා අස්වෙන්න කියලා. රාජ්‍ය නායකයෝ එහෙමයි අවදානම් ගන්නේ.
අනුර ජනපති යන්නෙත් රනිල් ගෙ පාරේ
ජනවරම ගත්තේ රනිල්ගේ අයිඑම්එෆ් ගිවිසුම රටට අවාසියි කියලා. ඒක ජනපීඩක ගිවිසුමක්. ඒක වෙනස් කරල විකල්ප ණය වැඩසටහනකට යනව කියන පොරොන්දුව පිටයි බලය ගත්තේ. අවදානම් ගන්නවනම් ගන්ත තිබුණේ රනිල්ගේ පීල්ලෙ යන්න නෙමෙයි. පොරොන්දු ඉටුකිරීම සදහායි අවදානම ගන්න තිබුණේ. නමුත් ජනාධිපතිවරයා රනිල්ගේ පාරේ යමින් කියනවා අපිට එතුමව විශ්වාස කරන්න කියලා. දැන් රටේ අලුත් මතයක් හදන්න යනවා. මේකට විරුද්ද සේරම ඉන්නේ සැකපිට ඇප පිට කියලා. මෙය දැනගත් විට ශ්‍රීලංකා නිතිඥ සංගමය විරුද්ධ වුණා. අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙරට ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය, මාලිමාව සමග ඉන්න ලාල් විජේනායකත් විරුද්ධ වුණා. ආණ්ඩව කියනවා නම් මේකට විරුද්ධ සියලුදෙනා ඇප පිට සැකපිට ඉන්නේ කියලා, අපිට අහන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිතිඥ සංගමය ඇප පිට සැකපිටද ඉන්නේ. මහානායක හිමිපාණන්වහන්සේ ඇප පිටද සැකපිටද ඉන්නේ. ආණ්ඩුව එක්ක ඉන්න ලාල් විජේනායකලා ඇප පිටද සැකපිටද ඉන්නේ කියලා අපි අහනවා. මේ යෝජනාවට විරුද්ධ චරිත් ගල්හේන, උවිදු කුරුකුලසූරිය වගේ අයත් ඇප පිටද සැකපිටද ඉන්නේ කිලයා අහන්න සිද්ද වෙනවා. ඒ නිසා ආණ්ඩුව කරන සෑම තක්කඩි වැඩක්ම අනුමත කරන තත්ත්වයක මේ රටේ මිනිස්සු නෑ. ඒ නිසා මේකට සාතිශය බහුතරයක් ජනතාව විරුද්ධයි. ඒ නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න නම් අනිවාර්යෙන් ජනමත විචාරනයකට යායුතුයි.
උසාවිය පැලවත්තට ඔන විදියට වැඩ කරන්නේ නෑ
පාලකයගේ කැමැත්ත තමයි රටේ නීතිය කියලා ජවිපෙ නිතරම මතයක් ගොඩනැගුවා. ඒ ජනතා විමුක්කි පෙරමුණ ම අද පෙන්වමින් ඉන්නවා පාලකයගෙ කැමැත්ත තමයි නීතිය කියන්නේ කියලා. ජනතාව ඉල්ලපු නැති, නීතිඥයින්, විනිසුරුවරුන් ඉල්ලපු නැති, ඉල්ලපු කෙනෙක් කියන්න බැරි සංශෝධනයක් අද රට මත බලෙන් පටවන්න හදනවා. එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිය අසීමිත තුනෙන් දෙකක බලය යොදා ගනිමින් ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැව්වා. ඇය හිසරදයක් වූ නිසා එදා ගෙදර යැව්වා. අද හොඳයි කියල හිතිලා වර්තමාන අගවිනිසුරුතුමාගේ කාලය දීර්ඝ කරන්න යනවා. මේ දෙකම එකයි.අපිට අවශ්‍ය දේ අපිට කරගන්න පුළුවන් කියලා පැලවත්ත හිතනවා වෙන්න පුළුවන්. ඒත් උසාවිය පැලවත්තට ඔන විදියට වැඩ කරන්නේ නෑ. අධිකරණය, අධිකරණ පද්ධතියේ ගෞරවය ගැන හිතලයි වැඩකරන්නේ. ඒ නිසා ආණ්ඩුව හිතන, පැලවත්ත හිතන දේවල් වෙනුවෙන් අධිකරණය යොදාගන්න බෑ. ඒ සිහින යථාර්ථයක් වන්නේ නැහැ.''

