භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගතකර රජයට, පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුලු නිලධාරීන් සිව් දෙනෙකු ලබන 20 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා ඊයේ (17) නියෝග කළේ ය.
වංචාව ඇමරිකන් ඩොලර් බිලියන එකකට අධික යි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෙලාන් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාර ශිරාන් මරියෝ පෙරේරා, සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු, යූනියන් බැංකුවේ ධර්ම ලිංගම් ප්‍රනාන්දු, සහ නේෂන් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් තිබුණේ ප්‍රධාන සැකකාර ජෙප්රි මොහොමඩ් නමැති අය විසින් පුද්ගලයින් අට දෙනෙකුගේ නම් භාවිතා කර ස්ථාපිත කළ ව්‍යාජ සමාගම් 36 හරහා අවස්ථා 199කදී (ටෙලි ග්‍රැෆික් ට්‍රාන්සර්) ඇමරිකන් ඩොලර් බිලියන එකකට අධික මුදලක් විදේශගත කර බැංකුවට හා රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සඳහන් කර සිටියේ මෙය මෙරට මහා මූල්‍යමය අපරාධයක කොටස්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක් බව යි. තමන් සේවය කරන බැංකුවේ විශ්වාසය කඩ කරමින් රටට මහා පරිමාණ වංචාවක් සිදු කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සංකීර්ණ හා සංවේදී පරීක්ෂණයක් සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේ ය.
සැකකරුවන් ගනුදෙනු කර ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවකු වන ජප්‍රී මොහොමඩ් නමැති අධි චෝදනා ලැබූවකු සමග බව ද, එම ජාවාරම්කරු සමග සම්බන්ධ වී ඇති සැකකරුවන් සෑම සිකුරාදා දිනක ම එම ජාවාරම්කරු හමු වී , ප්‍රතිලාභ ලබාගැනීම සහ පුද්ගලික ගිණුම් විවෘත කර ලක්ෂ තුන බැගින් මුදල් තැන්පත් කරගෙන ඇති බැවින් අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් පැවසීය.
සැම සිකුරාදාක ම ප්‍රතිලාබ බෙදාගෙන
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජේෂ්ඨ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් මෙසේ පැවසුවේ ය.
ඇමෙරිකන් ඩොලර් බිලියන 190ක් මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී මෙම මහා ජාවාරම අනාවරණය වුණා. මේ නඩුවේ පළවෙනි සැකකරු තමයි ජෙෆ්රි මොහොමඩ් ඔහු සමාගම් 36ක් පිහිටවනවා. ඔක්කොම ව්‍යාජ සමාගම්. මේ සමාගම්වල හිමිකරුයි ලේකම්වරයා ලෙසයි කටයුතු කරල තියෙන්නෙ පුද්ගලයින් අට දෙනෙක්. අද අධිකරණයට ඉදිරිපත් කරන මෙම සැකකරුවන් මෙම ජෙප්රි මොහොමඩ් සමග කටයුතු කරලා තියෙනවා. ඩොලර් පිටරට යවන්න ඉල්ලුම්පත් පුරවලා තිබෙන්නේ මෙම බැංකු නිලධාරීන්. සමාගම් හිමිකරුවකු හෝ ලේකම්වරයෙකු බැංකුවට ඇවිත් නැහැ. ජෙප්රි මොහොමඩ්ගේ ගෝලයෙක් ඇවිල්ලා තමයි ටී ටී ඕපන් කරලා (ඩොලර් පිටරට පටවන ඉල්ලුම්පත්) තියෙන්නේ . මෙම සැකකරුවන් බැංකුවේ නැත්නම් ටී ටී ඕපන් කරන්නේ නැහැ. ඒ තරමට ඔවුන් මේ ජාවාරම සමග සම්බන්ධ වී තිබෙනවා. සැකකරුවන් මෙහෙම කරලා සතියේ සෑම සිකුරාදා දිනකම ගිහිල්ලා ජෙෆ්ටි මොහොමඩ් හම්බවෙලා මුදල් ලබාගෙන තිබෙනවා. ලක්ෂ තුන, ලක්ෂ දහය, පනස්දාහක වැනි මුදල් මොවුන්ගේ බැංකු ගිණුම්වලට බැර වෙලා තිබෙනවා. ඒ අනුව ඔවුන් අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතුයි. අනික් අතින් බලනකොට රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර මෙලෙස පිටරට පටවන්නේ මේ රටේ දුප්පත් ජනතාවගේ මුදල්. මහා බැංකුවේ විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි කිසිවක් මෙම නිලධාරීන් විසින් අනුගමනය කර නැහැ. මහා මුල් අපරාධක කොටස්කරුවන් මෙලෙස බැංකුවේ ජනතාවගේ හා මේ රටේ විශ්වාසය කඩ කරලා. ඔවුන් අයතා ලෙස පෝෂණය වෙලා තියෙනවද කියලා තවදුරටත් විමර්ශන සිදු කළ යුතුයි.
සැකකාර ජෙෆ්‍රි මොහොමඩ් ට මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරලා තියෙනවා. ඒ තමයි මේ සමාගම් 36 හරහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවට මුදල් සැපයීම සම්බන්ධයෙන්. මෙම සැකකරුවන්ගේ විමර්ශන බොහෝ දුරට අවසන් බැවින් ඔවුන්ට ද යම් යම් කාරණා යටතේ අධි චෝදනා කඩිනමින් ගොනු කරනවා.
විත්තියේ නීතිඥයින් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප යි
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වමින් සිය සේවාදායකයින්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.
මහා පරිමාණ වංචාවක් බැංකු ශාඛාවක කළමනාකරුවන්ට තනිවම කළ හැකි ප්‍රවණතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද, ඔවුන්ට එම සමාගම් තිබෙනවා ද භාණ්ඩ ආනයනය කළේ ද යන්න පිළිබඳව සොයා බැලීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බව ද නීතිඥවරුන් පෙන්වා දුන්නේ ය.
රජයේ බැංකු මෙන් නොව වාණිජ බැංකු ගනුදෙනුකරු වෙතට ගොස් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සියලු ගනුදෙනු සිදුකිරීම ඇතුළු කාරණා මෙහි දී අයුතු ලෙස හුවා දක්වමින් තම සේවාදායකයින් බන්ධනාගාර ගත නොකරන ලෙස ද ඇප දිය හැකි වැරදි බැවින් ඇප පනතේ විවිධාන ප්‍රකාරව ඇප ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේ ය.
ජෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ උපදෙස් පරිදි නීතිඥ අන්ජන අධිකාරම්ගේ ඇතුළු නීතිඥවරුද අධිකරණයේදී කරුණු දැක්වීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබන විසිවන දා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

