පිළිකා සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ප්‍රාදේශීය මට්ටමෙන් මිලදී ගැනීමට අවසර

පිළිකා සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ප්‍රාදේශීය මට්ටමෙන් මිලදී ගැනීමට අවසර

පිළිකා සඳහා භාවිත කරන, සම්පාදනය කර ගැනීමට අසීරු  ඖෂධ ප්‍රාදේශීය මට්ටමෙන් මිලදී ගැනීම සඳහා රෝහල් වෙත බලය ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ජාතික රෝහල සඳහා රුපියල් මිලියන 250ක වියදමින්  එක් කරන ලද හෘද කැතීටකරණ ඒකකය,  රුපියල් මිලියන 190ක වියදමින් ස්ථාපති කරන ලද සී.ටී.යන්ත්‍රය මහජන අයිතියට පත්කිරීම නිමිත්තෙන් පසුගිය 15වන දා පැවති වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

පිළිකා සඳහා යොදාගන්නා ඇතැම් ඖෂධවල යම් හිඟයක් පවතින බවත්, එම හිඟය පවතින්නේ එම ඖෂධයට පවතින ඉල්ලුම අඩුවීම නිසා බැවින් එවැනි ඖෂධ විදේශ රටවලින් පරිත්‍යාග වශයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි කී අමාත්‍යවරයා බහුලව භාවිතා නොවන එවැනි ඖෂධ ජාතික ඖෂධ සැපයුම් ක්‍රියාවලියෙන් බැහැරව  ප්‍රාදේශීය රෝහල් සඳහා සෘජුව මිලදී ගැනීමට  හැකිවනු ඇතැයි පැවසී ය.

වත්මන් රජය, මෙම රටේ පාලනය භාරගන්නා අවස්ථාවේ දී මෙරට  සෞඛ්‍ය ක්ෂේත්‍රය බෙහෙවින් පහත මට්ටමකට වැටී තිබුණු බව කී අමාත්‍යවරයා අද වන විට සෞඛ්‍ය අංශය ඉතාමත්ම ඉහළ ගුණාත්මක තත්ත්වයකින් පසුවන බවත්, මහනුවර ජාතික රෝහල සඳහා පමණක් රුපියල් මිලියන 600 ක් පමණ වටිනා නවීන උපකරණ ලබා දුන්බවත්, ඒ අයුරින්ම දිවයිනේ සියලු රෝහල් සඳහා නවීන උපකරණ, නවීන තාක්ෂණය සහ මානව සම්පත එක් කරන බව අමාත්‍යවරයා කීවේ ය.

මහනුවර ජාතික රෝහල සඳහා භාරදුන් හෘද කැතීටකරණ ඒකකය බඳු නවීන ඒකක 16ක් මෙරට සමස්ත රෝහල් පද්ධතියට නුදුරේ දී ම එක් කිරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

 මහනුවර ජාතික රෝහල සඳහා නව ප්‍රතිකාර ඒකක ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නිහාල් වීරසූරිය  යන අය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, වෛද්‍යවරු සහ  රෝහල් කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක්  සහභාගී වූහ.

 නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න