සංවිධානාත්මක පිරිස් හඬ නැගුව ද වී සඳහා නියමිත මුදල වෙනස් කරන්නේ නෑ - අමාත්‍ය ලාල් කාන්ත

සංවිධානාත්මක පිරිස් හඬ නැගුව ද වී සඳහා නියමිත මුදල වෙනස් කරන්නේ නෑ - අමාත්‍ය ලාල් කාන්ත

වී සඳහා මිල තීරණය කර ඇත්තේ  විද්‍යාත්මක පදනමක් මත  බැවින් රුපියල් 120ක් වන රජයේ නිර්දේශීත මිල යළි ඉහළ නොදමන බව  කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග පසුගිය 14වන දා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇතැම් සංවිධානාත්මක පිරිස්  විරෝධතා දක්වමින් වී සඳහා ඉහළ මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටිය ද රජය ප්‍රකාශ කරන ලද මිල වෙනස් නොවන බව  අමාත්‍යවරයා පැවසී ය. වෙළඳ පොලේ සහල් මිල පහළ මට්ටමක ඇති බව කී අමාත්‍යවරයා එය පාරිභෝගිකයන්ට යහපත් තත්ත්වයක් වී ඇතැයි කීවේය. එමෙන්ම අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව යනාදි ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බව කී අමාත්‍යවරයා  මහවැලි සී බඳු මහා පරිමාණ වගා කලාපවල ලැබෙන වී අස්වැන්න ඉතා ඉහළ බැවින් ගොවියන්ට රජයේ නිර්දේශිය මුදල සාධාරණ මිලක් යැයි ද පැවසුවේ ය.

නමුත් ඇතැම් ප්‍රදේශවල ගොවියන් ලබස අස්වැන්න සාපේක්ෂ වශයෙන් අඩුවී තිබුණත් සමස්තයක් වශයෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන බැවින් රජයේ නිර්දේශිත මුදල මෙම යල කන්නය තුළදී ස්ථාවරව පවතින බව ලාල්කාන්ත කීවේය. සංවිධානාත්මක පිරිස් කොතරම් හඬ නැගුවත් රජයේ ප්‍රතිපත්තිය අනුව ප්‍රකාශ කොට ඇති වී සඳහා නිර්දේශිත මුදල කිසිසේත්ම වෙනස් නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දිවයිනේ ප්‍රධාන සහල් මෝල් හිමියන් රජයේ නිර්දේශිත මුදලට වී මිලදී ගැනීමට එකඟ වීම ගොවියන්ට සිදු වූ මහත් අස්වැසිල්ලක් යැයි පැවසූ අමාත්‍යවරයා නමුත් පසුගිය පාලන සමයෙහි දී නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා වී අස්වනු අලෙවි කිරීමේ දී ගොවියන් අසිරුතාවට පත් වන බව ද පැවසී ය.

මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක ද මෙම අවස්ථාවට එක් විය.

නදීක දයා බණ්ඩාර - මහනුවර 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න