ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ කලින් කලට මතු වන නව ප්‍රවණතා වලින් මිදීමට සියලු සැදැහැවතුන් කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසති.
පෙරහැර ආරම්භයත් සමඟ විසිල් හඩ, අත් පොළසන් දීම වැනි නොගැලපෙන ප්‍රවණතාවයන් පසුගිය ඇසළ පෙරහැර මංගල්‍යයේදී නිරීක්ෂණය වුණු බවත් ඒවා නතර කිරීමට රාජකාරි සිදුකළ පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු බවත් අනුනායක හිමියන් සදහන් කළහ.

ඇසළ පෙරහැර මංගල්‍ය සංවිධාන කටයුතු නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී ඊයේ (11) පැවැති සාකච්ඡාවේද අනුශාසනා කථාව සිදුකරමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් පමණක් නොව ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් ඇසළ පෙරහැර මංගල්‍ය විනෝදයක් බවට පත් කර ගන්නා ඇතමුන්ගේ මෙවැනි ක්‍රියාවන් හැකි ඉක්මණින් ඉවත් කිරීම සිදුවිය යුතු යැයි එහිදී පෙන්වා දුන් අනුනායක හිමියන් එවැනි ක්‍රියා දළදා පෙරහැර මංගල්‍යයට කිසිසේත්ම නොගැලපෙන බව පැවසුවේය.
දළදා පෙරහැර මංගල්‍ය නැරඹීමට පැමිණෙන සැදැහැවතුන් මහනුවර නගරයේ පවිත්‍රතාව රැක ගැනීමට ද අධිෂ්ඨාන කර ගත යුතු යැයි කී උන් වහන්සේ තමන් එළා ගන්නා ලද ඉටි කොළය පෙරහැර අවසානයේදී බිම දමා නොයන ලෙසත් එය රැගෙන ගොස් පරිසරය රැක ගැනීමට දායක වන ලෙසට තමන් ඉල්ලා සිටින බව ද අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් තව දුරටත් පැවසූහ.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, නාථ දේවාලයේ බස්නායක නිලමේ අසේල බණ්ඩාරනායක මහතා, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා, මහනුවර ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා ද පෙරහැර සංවිධාන කටයුතු සදහා සම්බන්ධ වන ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර

