කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශන පිළිබඳව සෑහිමකට පත්විය නොහැකියි - කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන

කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශන පිළිබඳව සෑහිමකට පත්විය නොහැකියි - කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශනවල ඇතැම් කරුණු පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන විවෘත අධිකරණයේ දී ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක තිබී කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සොයාගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණි.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි

නඩු විභාගය අතරතුර පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෘත ශරීරය අසල තිබී සොයාගත් නාඳුනන ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි. මෙම රස පරීක්ෂක වාර්තාව නොමැති වීම හේතුවෙන් මරණයට හේතුව සෙවීමට පත්කළ විශේෂ වෛද්‍ය මණ්ඩලයට ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීමට නොහැකි වී තිබේ. ඒ අනුව අදාළ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සිහි කැඳවීමක් යැවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. තවද කපිල චන්ද්‍රසේන භාවිතා කළ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය විවෘත කරගැනීමට නොහැකි වූ බැවින් එය විදේශීය නිෂ්පාදිත සමාගම වෙත යොමු කර විවෘත කිරීමට කටයුතු යොදමින් සිටින බව පොලීසිය අධිකරණයට ප‍්‍රකාශ කළේය. සිද්ධිය සිදුවී සති දෙකක් ගතවූ පසුවත් පොලීසිය එකම ප‍්‍රකාශය සිදු කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් අදාළ දුරකථන විමර්ශන කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට තරයේ අවධාරණය කළේ.

නිවසේ කාමර මුද්‍රා තබන්නැයි අධිකරණය නියෝග කර නැහැ

අරවින්ද ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ නිවසේ මුද්‍රා තබා ඇති කාමරයේ මුද්‍රා ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. නඩු ගොනුව පරීක්ෂා කළ මහේස්ත‍්‍රාත්වරයා අදාළ නිවසේ කිසිදු කාමරයක් මුද්‍රා තබන ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර නොමැති බවත් පොලීසිය ද එවැනි නියෝගයක් ඉල්ලා නොමැති බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව එම ගැටලූ‍ව පොලීසිය සමග සාකච්ඡා කර නිරාකරණය කරගන්නා ලෙස දැනුම් දී ඇත. මෙම මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප‍්‍රගතිය නැවත අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත.

මූලාශ්‍ර - Cyber News LK  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න