නිවැරදි රසායනාගාර වාර්තාවක් මගින් රෝග විනිශ්චය, සංකූලතා වැළැක්වීම, ප්‍රතිකාර නිරීක්ෂණය සහ ජීවිත බේරාගැනීම සිදු වන බැවින් සායනික රසායනාගාරය යනු සරල උපකාරක සේවාවක් නොව, රෝගී සත්කාරයේ ප්‍රධානතම කුලුනක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (10) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවති ශ්‍රී ලංකා රසායනික ව්‍යාධිවේදීන්ගේ විද්‍යායතනයේ (College of Chemical Pathologists of Sri Lanka - CCPSL) 11වන වාර්ෂික අධ්‍යයන සැසිය අමතමිනි.
“පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ යුගයේ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ අන්තර් විෂය සහයෝගීතාවය ” (Quality, Innovation and Interdisciplinary Collaboration in the Era of Personalised Medicine) යන තේමාව යටතේ මෙවර වාර්ෂික අධ්‍යයන සැසිය පැවැත්වුණු අතර, මෙම සැසියේ දී රෝගී සත්කාරය නංවාලීම සඳහා නවීන තාක්ෂණය, කාර්යක්ෂම රසායනාගාර කළමනාකරණය සහ වෘත්තීය කුසලතා වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

රෝගී ආරක්ෂාව තහවුරු කරන ප්‍රධාන පියවරක්
සැසියේ සමාරම්භක උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ නූතන සෞඛ්‍ය සේවාව තුළ රසායනික ව්‍යාධිවේදය (Chemical Pathology) නිහඬව වුව ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවයි. නිවැරදි රසායනාගාර වාර්තාවක් මගින් රෝග විනිශ්චය, සංකූලතා වැළැක්වීම, ප්‍රතිකාර නිරීක්ෂණය සහ ජීවිත බේරාගැනීම සිදු වන බැවින් සායනික රසායනාගාරය යනු සරල උපකාරක සේවාවක් නොව, රෝගී සත්කාරයේ ප්‍රධානතම කුලුනක් බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
රසායනාගාර සේවාවක පදනම ගුණාත්මකභාවය වන බවත්, අභ්‍යන්තර තත්ත්ව පාලනය, බාහිර තක්සේරුකරණය සහ නිවැරදි වාර්තාකරණය රෝගී ආරක්ෂාව තහවුරු කරන ප්‍රධාන පියවරක් බව ද මෙහි දී අමාත්‍යවරයා පැවැසී ය.
ඉහළ පිරිවැයක් නොදරා ම ජනතාවට වෛද්‍ය සේවා
ඩිජිටල් සෞඛ්‍ය, කෘතිම බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය (Automation) සහ අණුක රෝග විනිශ්චය (Molecular Diagnostics) හරහා ක්ෂේත්‍රය වේගයෙන් වෙනස් වෙමින් පවතින බව ද පැවසූ අමාත්‍යවරයා පවතින සම්පත් උපරිමයෙන් භාවිත කිරීම, වාර්තා ලබාදීමේ කාලය (Turnaround time) අඩු කිරීම සහ විද්‍යාගාර අතර ඩිජිටල් සබඳතා ගොඩනැගීම යනාදි නිර්මාණශීලී පියවර ඔස්සේ සේවා ශක්තිමත් කළ හැකි බවත්, ආර්ථික කම්පන සහ සැපයුම් දාම බිඳවැටීම් හමුවේ වුව ද අඛණ්ඩ ඔරොත්තු දෙන විද්‍යාගාර සේවාවක් පවත්වා ගැනීම රටේ උපායමාර්ගික ආයෝජනයක් බව ද පැවැසීය.
දියවැඩියාව, පිළිකා, වකුගඩු සහ හෘද රෝග යනාදි බෝ නොවන රෝග කළමනාකරණය සඳහා වෛද්‍යවරුන්, ව්‍යාධිවේදීන්, විද්‍යාගාර වෘත්තිකයින්, හෙද කාර්ය මණ්ඩලය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව කණ්ඩායමක් ලෙස වැඩ කළ යුතු බව ද මුල් අවධියේ දී ම රෝග හඳුනාගැනීම, ඉලක්කගත ප්‍රතිකාර, ඖෂධ ලබාදීම, නිරීක්ෂණය සහ අලුත උපන් බිළිඳුන්ගේ පරිවෘත්තීය පරීක්ෂණ (Newborn Screening) යනාදි ප්‍රායෝගික පියවර ඔස්සේ ඉහළ පිරිවැයක් නොදරා ම ජනතාවට වෛද්‍ය සේවාවන් සැපයිය හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසී ය.
ශ්‍රී ලංකාව තුළ වඩාත් දියුණු සහ සහකම්පනයෙන් යුතු සෞඛ්‍ය සේවාවක්
සෑම විද්‍යාගාර වාර්තාවක් පිටුපසම මිනිස් ජීවිතයක් වන බැවින්, තාක්ෂණයේ අවසන් ප්‍රතිලාභියා රෝගියා විය යුතු බව ද පැවැසූ අමාත්‍යවරයා CCPSL විද්‍යායතනය ලබාදෙන අධ්‍යයන නායකත්වය සහ මාර්ගෝපදේශන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇගයීමට ලක් කරන බවත්, ශ්‍රී ලංකාව තුළ වඩාත් දියුණු සහ සහකම්පනයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ ය.
මෙරට ප්‍රමුඛ පෙළේ පිළිකා පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් (Senior Consultant Oncologist) වන මහාචාර්ය ජයන්ත බලවර්ධන (Prof. Jayantha Balawardane) ද මෙහි දී විශේෂ ආරාධිත දේශනයක් පැවැත්වූ අතර, 2026 වසරේ ශ්‍රී ලංකා රසායනික ව්‍යාධිවේදීන්ගේ විද්‍යායතනයේ දේශණය වෛද්‍ය සැමුවෙල් වාසිකරන් විසින් සිදු කරන ලදි.
මෙහිදී CCPSL ශිෂ්‍යත්වයෙන් (Fellowship) මහාචාර්ය පීටර් එම්. ස්ටුවර්ට් (Associate Professor Peter M. Stewart) පිදුම් ලැබූ අතර, රසායනාගාර වෛද්‍ය විද්‍යාවට ඉමහත් සේවයක් සිදු කර අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එස්. ඩී. අතුකෝරල වෙනුවෙන් මරණින් පසු පිරිනමන CCPSL ශිෂ්‍යත්වය ද මෙහි දී පිරිනැමී ය.
ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යාලය රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් සඳහා වන විද්‍යාත්මක හා වෘත්තීය ආයතනයක් වන අතර, එය රෝගීන්ගේ රෝග පරීක්ෂාව, නිරීක්ෂණය සහ විනිශ්චය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මෙම සැසිවාරයට CCPSL හි සභාපති වෛද්‍ය ගංගා විතාන පතිරණ සහ ඒකාබද්ධ ලේකම්වරුන් වන වෛද්‍ය එස්.අයි මජිතා ඊබ්‍රාහිම් සහ වෛද්‍ය තත්සරණි විතාන පතිරණ ඇතුළු සාමාජිකයින්, ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය තුෂාර හේවාගීගන ඇතුළු හිටපු සභාපතිවරු, දේශීය හා විදේශීය රසායනික ව්‍යාධි විද්‍යා විශේෂඥයින්, රසායනික ව්‍යාධි විද්‍යා පශ්චාත් උපාධි අභ්‍යාසලාභීන්, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ වෘත්තීය විද්‍යායතනවල නියෝජිතවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

