මාරපන සිරි සුජාතවංස පොඩි හාමුදුරුවන් වහන්සේ ගේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා උත්සවය 11දා කළුතර දී..

මාරපන සිරි සුජාතවංස පොඩි හාමුදුරුවන් වහන්සේ ගේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා උත්සවය 11දා කළුතර දී..

කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන මාරපන සිරි සුජාතවංස පොඩි හාමුදුරුවන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ ශාසනික පුණ්‍ය මහෝත්සවය මෙම මස 11 වන දින ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයේ කළු ගඟෙහි සකසන ලද උදකුක්ඛේප සීමා මාලකයේ දී අභිමානවත් අන්දමින් පැවැත්වේ.

මෙම උතුම් ශාසනික කර්තව්‍යය සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ මහානායක, සද්ධම්මවංසපාල ඝණාචරිය මහා මහෝපාධ්‍යාය, අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ එම පාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ අනුනායක, රාජකීය පණ්ඩිත, ආචාර්ය දිමියාවේ අමරවංසාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ය.

උපසපන්වීමෙන් අනතුරුව උන්වහන්සේ ලබන 18වෙනි දා සවස 2.00ට මාලබේ මංසන්ධියේ සිට හේවිසි නාද මධ්‍යයේ අලංකාර පෙරහැරකින් මාලබේ සුසිතපුර අසෝකාරමයට වැඩමවීමට නියමිත ය. අනතුරුව එදින රාත්‍රී 7.00ට උන්වහන්සේ උපසපන්වීමෙන් පසු පවත්වනු ලබන මංගල ධර්ම දේශනාව සිදුකෙරේ.

සම්බුදු ශාසනයේ චිරස්ථිතිය උදෙසා දිවි පරදුවට තබා කැපවන සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් රටට දායාද වීම ශාසනාලෝකය විහිදුවන්නකි. එම උදාර මෙහෙවර තවදුරටත් අර්ථවත් කරමින්, සබරගමු පියසෙන් සම්බුදු සසුනට පූජා කළ පින්වත් කුලකුමරෙකුගේ පැවිදි දිවියේ සන්ධිස්ථාන පිළිබඳව මෙම සටහන තැබේ.

සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, නවදුන් කෝරළයේ මැදපත්තුවේ සුන්දර මාරපන ග්‍රාමයෙහි වසර 2006 දෙසැම්බර් මස 28වෙනි දින පින්වත් මවුපිය යුවළකට දාව පවුලේ දෙවන දරුවා ලෙස ගුරුබැවිල ලුවිස්සිංඤෝලාගේ දොන් චදීෂාන් දිනෙත්ම ගුරුබැවිල කුලකුමරු මෙලොව එළිය දුටුවේය. ගුරුබැවිල ලුවිස්සිංඤෝලාගේ දොන් නන්දන පරාක්‍රම ගුරුබැවිල  උපාසක මහතා සහ රාජපක්ෂ ආරාච්චිල්ලාගේ විරාජිනී පුෂ්ප ශ්‍රියා රණසිංහ උපාසිකා මාතාව එම පින්වත් දෙමව්පියෝ වූහ.

ගිහිකල රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ චදීෂාන් කුලකුමරු, සිය දහම් අධ්‍යාපනය සඳහා මාරපන ගංගාතිලක ශ්‍රී ශාස්ත්‍රෝදය පුරාණ විහාරස්ථ දහම් පාසල තෝරා ගත්තේය. කුඩා කල සිටම දහමට ලැදිව හැදී වැඩුණු මොහුගේ සිත නිරතුරුවම යොමු වූයේ සසර දුකින් එතෙර වීමේ උතුම් මග වෙතය.

වයස අවුරුදු 15 සම්පූර්ණවත්ම, එනම් 2021 වසරේ අප්‍රේල් මස 17 වැනි දින මාලබේ සුසිතපුර අසෝකාරාම විහාරස්ථාන පින් බිමට සපැමිණි මෙම කුලකුමරු, 2021 ජූලි මස 31 වැනි දින උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට පත් විය. ඒ අනුව, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ආචාර්ය දිමියාවේ අමරවංස අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සහ ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර ධර්ම කථික අතිපූජ්‍ය බොරැල්ලේ අතුල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් "මාරපන සිරි සුජාතවංස" නමින් උතුම් පැවිදි දිවියට ඇතුළත් විය.

පැවිදි දිවියට පත්වීමෙන් පසු වර්තමානය දක්වා කොළඹ මාලිගාකන්දේ ඓතිහාසික විද්‍යොදය පිරිවෙනෙහි  ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය හදාරන මාරපන සිරි සුජාතවංස හිමියෝ, සසුන් මග සාර්ථක කර ගැනීමට මහත් උනන්දුවෙන් කටයුතු කරති. උපසම්පදා අපේක්ෂිත මාරපන සිරි සුජාතවංස හිමියන් මේ වන විට උපසම්පදාව සඳහා අවශ්‍ය වන්නා වූ ධර්ම විනය හා වත්පිළිවෙත් නිසි ලෙස ප්‍රගුණ කර, නියමිත වයස් සම්පූර්ණ කර සිටිති.

උන්වහන්සේගේ පැවිදි දිවියේ උත්කෘෂ්ට අවස්ථාව‍ සනිටුහන් කරමින්,  ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රය අසල ගලා බසින කළු ගඟෙහි මනරම්ව සකසන ලද උදකුක්ඛේප සීමාමාලකයේදී උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටුවේ.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මෙවන් ගුණගරුක, විනයගරුක යතිවරයාණන් වහන්සේලා බිහිවීම බෞද්ධ ජනතාවගේ ඉමහත් ප්‍රීතියට හා ගෞරවයට හේතුවකි. මාරපන සිරි සුජාතවංස හිමියන්ට සසුන් මග සාර්ථක කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න