ඊයේ (05) දහවල් මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නමැති පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් යැයි පොලීසිය පවසයි.
වාර්තා වන අන්දමට මෙම ගැටුම හටගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් යැයි වාර්තා වේ. මෙම ගැටුම හේතුවෙන් රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මීගමුව මහ රෝහල සඳහන් කරයි. ඒ අතර බරපතළ තත්ත්වයේ පසුවන රැඳවියන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව ද පොලිසිය පැවසී ය.
සමස්ත රැඳවියන් ප්‍රමාණය 1800කට ආසන්නයි

ගැටුමෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රය වෙත මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි. මීගමුව බන්ධනාගාරයෙහි කෙටිකාලීන සිරකරුවන් මෙන් ම රිමාන්ඩ් සැකකරුවන් යන දෙපිරිසම රඳවා තැබෙන ස්ථානයකි. එහි සමස්ත රැඳවියන් ප්‍රමාණය 1800කට ආසන්න යැයි වාර්තා වේ.
විශේෂිත කුටිවල සිටි රැඳවියන්ට ද ප්‍රහාර
ඊයේ දහවල් මෙම ගැටුම හටගෙන ඇත්තේ බන්ධනාගාරය තුළ සිටින එකිනෙකට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර බවත්, ගැටුම දුරදිග යෑමත් හේතුවෙන් බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ඒම තත්ත්වය කෙතරම් බරපතළ ද යත්, බන්ධනාගාරයෙහි විශේෂිත කුටිවල පවා ඉබියතුරු කඩා ඇති කලහකාරී රැඳවියන් එම කුටිවල රඳවා සිටින විශේෂිත රැඳවියන්ට ද පහරදී ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. එමෙන් ම සිද්ධිය සිදුවන අතර තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ පවතින ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇති බවත් පොලීසිය පවසයි.
කාන්තා රැඳවියන් පිරිසක් ද විරෝධතාවක

මෙම සිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ද එහි වහලය මත නැගී ගැටුමට මැදිවූ පාර්ශ්වවලට සහාය දක්වමින් විරෝධතාවක නිරත වී ඇති බවයි.
රැඳවියන් ගේ ඥාතීන් බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතා
මේ අතර මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි රැඳවියන් ගේ ඥාතීන් පිරිසක් ද රැඳවියන් පිළිබඳව තොරතුරු ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බවට චෝදනා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවත්, අනතුරුව පොලීසිය මැදිහත්ව රෝහල්ගතකළ රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසකට අවස්ථාව ලබාදී ඇත.
මේ වනවිටත් තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන ඒකකය, විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාරය අභ්‍යන්තරයට සහ අවට පරිශ්‍රයේ ස්ථානගතකර ඇති බව පොලිසිය පැවසී ය.

