බයිඩ්න් කොරෝනා එන්නත් දන්සැලක !

බයිඩ්න් කොරෝනා එන්නත් දන්සැලක !

අමෙරිකා එක්සත් ජනපදය තමන් සතු AstraZeneca කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 60ක් කඩිනමින් එම එන්නත හදිසි භාවිතයට අවසර ඇති අනෙකුත් රටවල් වෙත බෙදා හැරීමට තීරණය කර තිබේ.

ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ, එරට ආහාර සහ ඖෂධ පරිපාලනය එන්නත්වල තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි සති කිහිපය තුළ එන්නත් මාත්‍රා මිලියන 10ක් අපනයනය සඳහා සූදානම් කර ඇති බවයි.

තවත් එන්නත් මාත්‍රා මිලියන 50 ක් එළැඹෙන මැයි සහ ජුනි මාස වනවිට අපනයනය කිරීමට හැකි වනු ඇතැයි, ධවල මන්දිර මාධ්‍ය හමුව අමතමින් එහි ප්‍රකාශිකා ජෙන් සාකි පැවසුවා ය.

කෙසේ වෙතත් මෙම එන්නත් තොගය බෙදා හරින්නේ කුමන රටවලට ද? සහ එය බෙදා හරින්නේ කුමන පදනමකින් ද? යන්න තවදුරටත් පවතින්නේ, සාකච්ඡා මට්ටමේ ය.

බයිඩ්න් පරිපාලනය පසුගිය මාර්තු මාසයේදී AstraZeneca එන්නත් මාත්‍රා මිලියන 4ක් කැනඩාවට සහ මෙක්සිකෝවට ලබා දෙන බවට ප්‍රකාශ කළ ද මේ වනවිට උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන්දියාවට සහ අනෙකුත් රටවලට ද එන්නත්වල අවශ්‍යතාව මතු වී තිබීම තුළ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් බයිඩ්න් පරිපාලනය යම් කිසි පීඩනයකට ලක්ව ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට ඉන්දියාව කොරෝනා වංසගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර එරට සෞඛ්‍ය පද්ධතිය ද කඩා වැටෙමින් තිබේ.

මෙවන් වටපිටාවක් තුළදී ඉන්දියාවට ඔක්සිජන්, ඔක්සිජන් ආශ්‍රිත සැපයුම් උපකරණ , එන්නත් උපකරණ, කොරෝනා පරීක්ෂණ උපකරණ , පෞද්ගලික ආරක්ෂණ කට්ටල ආදී සෞඛ්‍ය ආධාර සැපයීමට අමෙරිකානු ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

ඒ පසුගිය දා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකතන සංවාදයකදි ය.

මේ අතර AstraZeneca එන්නත අමෙරිකාව තුළ හදිසි භාවිතය සඳහා එරට ආහාර සහ ඖෂධ පරිපාලනය විසින් තවමත් අවසර ලබා දී නොමැති අතර චිචාරකයින් චෝදනා කරන්නේ, වෙනත් රටවලට දැඩි අවශ්‍යතාවක් තිබියදී භාවිත නොකර අමෙරිකාව අදාළ එන්නත් තොග ගබඩා කරගෙන සිටින බවටයි.

කොරෝනා වෛරස මර්දනය සඳහා අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය එරට හදිසි භාවිතය සඳහා දැනට අවසර දී ඇත්තේ, Pfizer BioNTech, Moderna සහ Johnson & Johnson එන්නත් සඳහා පමණි.

මේ අතර විශේෂඥයින් පවසන්නේ, මෙම එන්නත් වර්ග 3 රටේ අවශ්‍ය තතාව සපුරාලීමට ප්‍රමාණවත් වනු ඇති බැවින් AstraZeneca එන්නතෙහි අවශ්‍යතාවක් පැන නොනගිනු ඇති බවයි.

නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, අමෙරිකානු වැඩිහිටියන්ගෙන් 53% කට වඩා වැඩි පිරිසක් මේ වනවිට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න