Language Switcher

V2025

අන්තරේ නව කැඳවුම්කරු කවුද ?

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය තුළ කාලයක් තිස්සේ බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස සිය දේශපාලන කටයුතුවල නිරතවන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය පසුගිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති කාලසීමාවේ දී මෑත ඉතිහාසයේ දී අන් කවරදාටත් වඩා සාකච්ඡාවට බඳුන් වූ සංවිධානයකි.

එවකට එහි කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස හයකට ආසන්න කාලයක් රඳවා තබා ගැනුණි.

මේ වනවිට නැවතත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැඟී ඇත්තේ එහි නව කැඳවුම්කරුවෙකු පත් වීමත් සමග යි.

මැයි 14 දින වසන්ත මුදලිගේ සිය නිල ධුර කාලය අවසන් වීම හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමග නිලවරණයක් කැඳවා තිබූ අතර, මැයි 20 දින නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මධුෂාන් චන්ද්‍රජිත් පත් වූ බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිවේදනය කර තිබුණි.

නව කැඳවුම්කරු මධුෂාන් යනු කවු ද?

මධුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ අවසන් වසර සිසුවෙකු වන අතර, ඔහු විශ්විද්‍යාලයයට ඇතුළත් ව තිබෙන්නේ 2019 වසරේ දී යි.

ඔහු ඇඹිලිපිටිය, තෝරකොළයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වීරකැටිය ජාතික පාසලෙන් පාසල් අධ්‍යාපනය ලබා තිබේ.

තමා විශ්වවිද්‍යාලයයේ පළමු වසරේ සිට ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට සම්බන්ධ වී ක්‍රියාකළ බව ඔහු බීබීසී සිංහල සමග පැවසුවේ ය.

"අවසන් ජයග්‍රහණය තෙක් අරගලය ඉදිරියට ගෙන යනවා"

ශිෂ්‍යයන්ගේ අධ්‍යයන, සුබසාධන ගැටලු හා වර්තමානය වනවිට ජනතාව මුහුණ දෙන ගැටලුවලට එරෙහි ව ගෙන ආ අරගලය අඛණ්ඩව සිදු කරන බවට නව කැඳවුම්කරු මධුෂාන් පැවසුවේ ය.

"මේ තියෙන අර්බුද පරාජය කරමින් වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් ජනතාවට කළ හැකි එකම දේ අරගලය විතරයි. කැමති වුණත් අකමැති වුණත් අර්බුදයට උත්තර හොයන වෙන පාරවල් ජනතාවට ඉතිරි වෙලා නෑ," ඔහු පැවසුවේ ය.

"වඩාත් හොඳින් ශක්තිමත් ව ජනතාව සංවිධානය කරමින් අවසන් ජයග්‍රහණය තෙක් අරගලය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා."

ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූ වසන්ත මුදලිගේ වැනි ශිෂ්‍ය නායකයෙකුගෙන් පසු ව එම තත්ත්වය කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව අපි ඔහුගෙන් විමසුවෙමු.

එහි දී ඔහු පැවසුවේ කැඳවුම්කරු යනු වගකීමක් මිස තනතුරක් නොවන බව යි.

"වසන්ත සහෝදරයා ඔහුට පුළුවන් උපරිම සාධාරණය ඒ වගකීමට ඉටු කළා. දැන් ඒ වගකීම අපේ උරමතට ඇවිල්ලා. පැවරුණු වගකීම ඒ විදිහට ඉටු කරද්දි අලුත් වටිනාකම් එකතු වේවි."

"නවක වදය තුරන් කරන්න අභ්‍යන්තර සංස්කෘතික අරගලයක් කරනවා"

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට එල්ල වී ඇති එක් චෝදනාවක් වන්නේ නවකවද චෝදනාව යි.

සෑම වසරක ම මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් වාර්තාවන අතර, ඇතැම්විට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන්ට පවා නවකවද චෝදනා එල්ල වී සිරගතවන්නට, පන්ති තහනම් වීමට සිදු ව තිබේ.

එම චෝදනාව සෘජුව ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට ද එල්ල වන බැවින්, නවකවදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරන් කිරීමට සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳව නව කැඳවුම්කරුගෙන් බීබීසී සිංහල විමසීමක් සිදු කරන ලදී.

එහි දී ඔහු පැවසුවේ නවක වදය යනු ශිෂ්‍ය ව්‍යාපාරවලින් සිසුන් ඈත් කරන්නක් බව යි.

"නවකවද සිදුවීම් වැනි විශ්වවිද්‍යාල තුළ තවමත් ශේෂ වෙලා තියෙන පසුගාමී සංස්කෘතික අවශේෂයන් ශිෂ්‍ය ව්‍යාපාරයට බරපතල අභියෝගයක්ව තියෙනවා," මධුෂාන් පවසයි.

"ඉදිරිගාමී නව සංස්කෘතික ප්‍රවේශයක් සඳහා වන සංවාදයක්, අභ්‍යන්තර සංස්කෘතික අරගලයක් ක්‍රියාත්මක කළ යුතු යි."

නව කැඳවුම්කරු පත් කිරීම ගැන විවාදයක්

කෙසේ වෙතත්, මේ වන විට නව කැඳවුම්කරු පත් කිරීම විනිවිදභාවයකින් තොර ව සිදු වූ බවට ඇතැම් අය සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබෙන අතර, විවිධ වෙබ් අඩවි ද එවැනි ප්‍රවෘත්ති පළකර තිබේ. එම පත් කිරීම සඳහා සියලු විශ්වවිද්‍යාල එදින සම්බන්ධ නොවූ බවට බොහෝ වාර්තා පළවී තිබේ.

කෙසේ වෙතත් මධුෂාන් පවසන්නේ එය හුදෙක් මඩ ගැසීමේ අරමුණින් සිදු කරන ප්‍රචාරයක් පමණක් බව යි.

"ඉතා ම පැහැදිලිව කියන්නෙ, අන්තරේ නිලවරණය සඳහා, අඛණ්ඩව අන්තරේ නියෝජනය කරන සියලු ශිෂ්‍ය සංගම් සම්බන්ධ වුණා," ඔහු පවසයි.

කොළඹ, යාපනය වැනි විශ්වවිද්‍යාල කිහිපයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ව්‍යූහය තුළ නොමැති නිසා එවැනි විශ්වවිද්‍යාල නිලවරණයට සම්බන්ධ නොවූ බව ඔහු පැවසුවේ ය.

"අන්තරේ නිල ව්‍යූහයේ නැති කිසිඳු ශිෂ්‍ය සංගමයක් අන්තරේ කැඳවුම්කරු පත් කරන්න එන්නෙ නෑ. ඒක අලුත් දෙයක් නොවෙයි." ඔහු කියා සිටියේය.

මූලාශ්‍රය - බීබීසී

50d584f0 f886 11ed 92cc b3a9bf1f67e9