Language Switcher

V2025

රනිල්ගේ පාලනයට මාසයයි : සජිත් ඔයා too late !

🎯 වැරදි වෙලාවේ පණ ලැබූ සජිත්ගේ ඩයිනමෝව !

දඩයමේ ගිය දඩයක්කරු නිවැරදි වෙලාවේ ගොදුරට නිවැරදි වෙලාවේ , නිවැරදි ඉලක්කය නොගත්තොත් වෙන්නේ මොකක්ද ? වෙන්න පුළුවන් නරකම දේ ගොදුරේ ඉලක්කය වීමය. ඒ කියන්නේ දඩයක්කරුගේ සහ ගොදුරේ භූමිකාව මාරු වීමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී මාසයකට පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඩයිනමෝව යළිත් පණ ලබා ඇත.

කොළඹින් පැරදී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් වෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.

රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් යයි සමහරුන් පවසන බවත් ඊට හේතු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පැරදී ගෙදර ගිය ඔහු අද වන විට ජනාධිපතිවරයා බවට පත්ව තිබීම බවත් සජිත් කියා ඇත .

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට වූ හේතුව ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එය සිදුවී ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවත් ඔහු කියයි.

මේ කතාව ඇසූ විට හිනා වෙන්නද අඬන්නද කියා එකවර හිතා ගන්නට අපහසුය. බොහෝ විට ඒ දෙකම එකවර සිදුවෙයි.

කෙසේ වෙතත් සජිත් නොදැන සිටින්නේ රනිල් වික්‍රමසිංහ ව දඩයම් කරන්න ගිය සජිත් දැන් ගොදුර බවට පත්ව ඇති බවය.

🎯 සජබ ආර්ථික ඔස්තාර්ලා කතා කරන්නේ රනිල්ගේ වැඩපිළිවෙළ ගැන !

සජිත් ප්‍රමුඛ කරගෙන සමගි ජනබලවේගය පක්ෂය හදන්න මුල් වූ මුල්ගල් සජිත්ගෙන් ගැලවී ගොස් හමාරය. ඉතිරිව තිබූ උළුහවු, බිත්ති ටිකත් දැන් කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ වැඩපිළිවෙළ ගැනය. ඔවුන් එක හඬින් කියන්නේ , " ඒ හැර කවුරුත් "රනිල්ගේ නෙවෙයි , නිවැරදි, දැක්ම, වැඩපිළිවෙළ, ඇත්තේ සජිත්‍ට බව කියන්නේ නැත.

වැරදි වෙලාවේ බලගැන්වී ඇති සජිත්ගේ ඩයිනමෝව ගැන කවුරුත් කතා නොකරයි. දැන් රටම කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගෙවෙන තැන ප්‍රගති වාර්තාව ගැනය.

සජිත්ගේ පක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා රනිල්ගේ සර්ව පාක්ෂික පාලනයේ, මුදල් , කෝප්, කෝපා වැනි තීරණාත්මක පාර්ලිමේන්තු කමිටු වල මුල් පුටු ගෙන ඇත . පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු ශක්තිමත් කිරීම , ඒවායේ සභාපති ධූර වලට කැබිනට් අමාත්‍ය බලතල දීම, අවශ්‍ය අවස්ථාවේ ඔවුන් කැබිනට් මණ්ඩල හමු වලට පවා කැඳවීමට ජනාධිපති රනිල් සූදානම් කෙරෙමින් ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්ව මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සෘජු සාකච්ඡා පවත්වා ඇත . එයින් සාතිශය බහුතරයක් යෝජනා ජනාධිපති වික්‍රමසිංහ පිළිගෙන ඇත. දැන් ඇත්තේ පාලනය වෙනුවෙන් එකී පාර්ශ්ව සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න ගැන අවසන් තීන්දු ගැනීමය.

මේ පසුබිම කියාපාන්නේ සාමාන්‍ය ආණ්ඩුකරණයක් ගැන නොවන බව පැහැදිලිය. මේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය විසඳීමට දරන ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහයකි.

🎯 අර්බුදය සුළුපටු නැත : හුදු රාජපක්ෂ විරෝධයෙන් එහා ගිය දේශපාලනයක් අවශ්‍යය !

මේ බව හරියට තේරුම් ගන්න නම් වත්මන් අර්බුදයේ අක්මුල් හරියට තේරුම් ගතයුතුය .

ලංකා ආර්ථිකයේ මේ අර්බුදය ඇතමුන් නොදැනුම නිසාත් තවත් පාර්ශ්ව දේශපාලන තක්කඩිකම නිසාත් විදෙස් විනිමය අර්බුදයක් වෙත ලඝු කරන බවක් පෙන්වයි.

එහෙත් එය අර්ධ සත්‍යකි. ගෝඨාභය පාලනය ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක සිටියා නම් විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වන බව තේරුම් ගන්නේ 2020 දී හෝ 2021 දීය.

ගෙවීමට ඇති විදෙස් ණය කන්ද , කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය , ගෝලීය ආර්ථික කඩා වැටීම ගැන නිවැරදි පුරෝකථනයක් ඔවුන් සතුව තිබුණේ නැත. ඒ නිසා විනිමය අර්බුදය ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට බලපෑම් කරන තැනට පත්විය.

වත්මන් ආර්ථික අර්බුදය දරුණු වීමට 2019දී කළ බදු කප්පාදුවත් තීරණාත්මක ලෙස බලපෑම් කළේය. ඒ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් අහිමිවූ පංගුව" 50% කි. එනම් රුපියල් ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා පල්ලම් බැස්සේ ඒ බදු කප්පාදුව නිසාය.

ඒ හේතු 2 ප්‍රමුඛව තවත් හේතු මත මෙරට ණය ගෙවීමේ හැකියාවද අඩු විය. මේ සම්බන්ධයෙන් ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන දිගින් දිගටම අනතුරු ඇඟවීය. ඒ ණය ගෙවීමට ලංකාවට තිබූ හැකියාව අඩු බවට රතු එළි දක්වමින් ය .

තත්ත්වය කළමනාකරණය කර නොගතහොත් , යළි ණය ලබා ගැනීමට නොහැකි බවත්, ඒ ආයතන පෙන්වා දුන්නේය. දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන්ද ඒ බව සඳහන් කළ නමුත් , ඊට කන්දීමක් සිදුවුණේ නැත.

දේශපාලනඥයින් ලෙස මංගල සමරවීර , රනිල් වික්‍රමසිංහ , රවී කරුණානායක , හර්ෂ ද සිල්වා , එරාන් වික්‍රමරත්න , රුවන් විජයවර්ධන , ප්‍රමුඛ ආර්ථික විෂය සම්බන්ධයෙන් උනන්දුවන් මේ ගැන අවධාරණය කළත් වැඩක් වුණේ නැත.

🎯 IMF බිල්ලා අතුරුදහන් කර ඇත !

සැබවින්ම එදා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග සාකච්ඡා කළා නම් , අද ඇති වී තිබෙන අර්බුදය මෙතරම් දරුණු වන්නේ නැත.

කෙසේ වුවත් මේ මාසයක කාලයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ IMF සාකච්ඡා ඉදිරියට ගෙන ඇත . සාර්ථක සාකච්ඡා වට ඉදිරියට යමින් ඇත . ඉස්සර IMF ගැන බිල්ලන් මැවූවන් අතුරුදහන් වී ඇත.

IMF සමග සාර්ථක ගමනක් යන්න නම් , ඊට අවශ්‍ය හාත්පස සකස් කළ යුතුව ඇත.

🎯 අයවැය පරතරයේ අර්බුදය !

ඒ සම්බන්ධයෙන් කතා කරන විට, රටේ ආදායමට වඩා වියදම දෙගුණයකින් වැඩිකම අතපසු කළ නොහැකිය. ණය ගෙවීමට නොහැකිවීම තවත් ප්‍රශ්නයකි. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවූයේ ලංකා ඉතිහාසයේ පළමුවැනි වරටය. එසේම ඒ ගැන වත්මන් මහ බැංකු අධිපති ප්‍රසිද්ධියේ පිළිගෙන බුන්වත් බව පිළිගැනීමත් තීරණාත්මකය. එය එක් පසෙකින් උගත් මෝඩකමක් වුවත් , දැන් ඉස්සරහට යන්න ඇත්තේ ඒ සමගය.

එපමණක් නොව , ඇස්තමේන්තු ආකාරයට 2022 දී රජයේ උපරිම බදු ආදායම ට්‍රිලියන 1.5ක් පමණ විය හැකිය. එහෙත් රටේ වියදම අවම වශයෙන් ට්‍රිලියන 3.5කි. ඒ අනුව හිඟය ට්‍රිලියන දෙකකි. එය පියවන්නේ කොහොමද? එක්කෝ ආදායම වැඩි කළ යුතුය. නැතිනම් වියදම් අඩු කළ යුතුය. ඒ දෙකම බැරිනම් සල්ලි අච්චු ගැසීමට සිදුවෙයි. එවිට උද්ධමනයක් ඇති වෙයි.

එහෙනම් සිදුවන්නේ ණයට ගන්නය. ඒකත් බංකොලොත් බව නිල වශයෙන් පිළිගත් රටකට කොහොම කරන්නද යන ප්‍රශ්නය පැමිණ ඇත.

දැන් ණය පොලිය 30%කි. රජයේ වියදම් සඳහා ණය ගැනීමෙන් මූල්‍ය වෙළෙඳපොළෙහි සල්ලි හිඟයක් පවතී. ණය පොලිය ඉහළ අගයක පැවැතීම නිසා ආයෝජන අඩුවී ඇත. ඒ මත ආර්ථිකය එක තැන හිරවී ඇත.

රාජ්‍ය ආදායම් මෙන් දෙගුණයක් වියදම් ඇති මේ රටේ, ඒ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

පාඩු ලබන තෙල් සංස්ථාව හා ලංවිම වැනි රාජ්‍ය ආයතනවලට දෙන මුදල් සේම විශ්‍රාම වැටුප් හා සමෘද්ධි හා පොහොර යනාදියට දෙන සහන ඒ සහනාධාර අතරට එකතු වෙයි.

🎯 සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය මොකටද ?

ඒ නිසා ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමට රාජ්‍ය අංශයෙහි බරපතළ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවෙයි. සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය ඒ ටික කරන්නය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ මාසයක් තිස්සේ කැපවුණේම ඒකටය.

එපමණක් නොව රජයේ වියදම් කප්පාදු කිරීම සහ නාස්තිය හා දූෂණය අවම කිරීම තවත් අවශ්‍යතා දෙකකි. ඒ සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මාර්ගය විවෘත කරගෙන ඇත. මේ වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති 22 සංශෝධන කෙටුම්පත ද ඒ අනුව ආර්ථික අර්බුදය විසඳීමට වික්‍රමසිංහ ජනාධිපති කර ඇති මැදිහත්වීමක් බව සිහිපත් කළ යුතුව ඇත

මේ සියල්ල කරන අතර , විදෙස් විනිමය අර්බුදයක් තිබෙනවා කියා හෝ, ඒ සමග බැඳුනු සාර්ව ආර්ථික ගැටලු රැසක් හමුවේ , එකක් විසඳා එකක් විසඳන මනෝ විකාර ප්‍රතිපත්ති යාදෙන්නේ නැත.

🎯 අහිමිවූ ජීවන රටාව යළිත් ජනතාව වෙත අත්කර දිය යුතුය !

කවදාවත් නොමැති ආකාරයට ලංකාවේ මධ්‍යම පංතිය පාරට බැස, රාජපක්ෂවරුන් ගෙදර යැව්වේ මේ නිසාය. එනම් මතුවූ ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ පරිභෝජන රටාව අර්බුදයට ගිය නිසාය. ඊට පෙර ගොවීන් පාරට බැස්ස අතර , මරිමෝඩ කාබනික වගා සංකල්පය නිසා උද්ගතවූ ආහාර අහේනියත් ජනාධිපති ධූරය ලබන මොහොතේ රනිල් වික්‍රමසිංහ හමුවේ අභියෝගයක් ලෙස පැවතිණ.

ඉතිං , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගතවූ මාසය තුළ ,

🔴 ගොවි ප්‍රශ්නය විසඳීමට පොහොර ආනයනය කඩිනම් කළේය. රුපියල් 50000ට ගිය යූරියා පොහොර මිටිය මාසයක් තුළ රුපියල් 10000 ට ගෙනවිත් ඇත. ග්ලයිෆොසේට් වල සිට ව්‍යාපාරික කෘෂිකර්මය සඳහා අවශ්‍ය කෘෂි රසායන නැවත වෙළඳ පොළ වෙත ගෙන්වා ඇත.

🔴 ලෝක ආහාර වැඩසටහන සහය ගැනීම ඇතුළු ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත. දැන් තවදුරටත් ආර්ථික අර්බුදය කියා ලංකාවට සාගත අවධානමක් නැත. ගැබිනි මව්වරුන්ට ත්‍රීපෝෂ ටික පවා ලබාදීමට හැකි පසුබිම මාසයක් ඉක්ම යන තැන සම්පූර්ණ කර ඇත .

🔴 ඉන්ධන හිඟය එකවර අවසන් කිරීමට නොහැකි නමුත් , අති මූලික ජීවන කොන්දේසි අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන සැපයීම සක්‍රීය කර ඇත . දැන් ඉන්ධන පෝලිම් පමණක් නොව , ඉන්ධන මාෆියාව අවසන් කර ඇත . මිල සූත්‍රයේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයීම විධිමත් කර ඇත (QR කේත ක්‍රමය ) .

🔴 දෛනිකව පැය 12 ක විදුලි කප්පාදුව , පැයක් දක්වා අඩු කර ඇත .

🔴 මධ්‍යම පංතිය පෙළුණු ගෑස් හිඟය පියවීමට සැලකිය යුතු මැදිහත්වීමක් සිදුකර ඇත . එපමණක් නොව දෛනිකව ඉහළ ගිය ගෑස් මිල පහත දැමෙන තත්ත්වයක් නිර්මාණය කර ඇත .

🔴 පාසල් අධ්‍යාපනය , රාජ්‍ය සේවය ප්‍රමුඛ දෛනික ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් ඇත .

🔴 කොළඹ කොටස් වෙළෙඳ පොළ අගෝස්තු මුල් සතියේ සිට දින 11ක් අඛණ්ඩව ඉහළ ගොස් ඇත.

🔴 අර්තාපල් , ලොකු ලූණු , පරිප්පු , සහල් මිල අඛණ්ඩව පහත වැටීමක් පෙන්නන්න කරන්න ගෙන ඇත .
මේ වනවිට පිටකොටුවේ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 180 කි. ලොකු ලූණු 150කි. එසේම මේ වන විට අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය ජනතාව වෙත යැවීම නිසි ලෙස සිදුවීම සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය වෙත බලය පවරා ඇත .

🔴 මාසයකට පෙර රටේම ඖෂධ හිඟයක් ගැන කතා කළත්, දැන් පුවත් මැවෙන්නේ රෝහල් කිහිපයක ඇති ඖෂධ කිහිපයක හිඟයක් ගැන විතරය. මේ වන විටත් හිඟ ඖෂධ ආනයනය මෙන්ම ඇතැම් ඖෂධ තවදුරටත් දේශීයව නිෂ්පාදනය අරඹා ඇත.

අගෝස්තු 09 අවසන් සටන කියා ජනතාව අන්දලා බලය ගන්න ප්‍රයත්න දැරූ බලවේග , අරගලය සමග ගෙදර යැවුණේ, මේ ආර්ථික ප්‍රතිලාභ ක්‍රමයෙන් ජනතාව වෙත කාන්දු වෙමින් තිබුන නිසාය. ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් මිනිසුන් අතර අවිඥානික ලෙස ඇතිව තිබූ නිසාය .

මාධ්‍ය සංදර්ශන නිසා හෝ බොරු කියන දේශපාලනඥයින් නිසා තවමත් ඇතමුන් රනිල්ට බැන්නත්, එය අරගලය තුළ පවා විලාසිතාවක් වුවත් , ඇත්ත ජීවිත කොන්දේසි ඇතුලේ මාසයක් තුළ රනිල් කරපු දේ, ප්‍රතිඵල ලබා ඇත.

පාට පක්ෂ කණ්නාඩි පැළඳි ඇතමුන් මේ ඇත්ත නොදන්නවා වුණාට, ලංකා දේශපාලනයේ නිරත ඕනෑම දේශපාලනඥයෙක් මේ කතාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. වමේ දකුණේ කියා වෙනසකුත් ඊට නැත. තනි ආසනෙන් පාර්ලිමේන්තු පැමිණි වික්‍රමසිංහට ජනාධිපති වෙන්න හැකිවූයේ රාජපක්ෂ කඳවුර හරහා වන්න පුළුවන . ඒ තුළ "රාජපක්ෂවරුන්ගේ අංගාරක්ෂකයා" ලෙස ජනතාව අන්දවා ජාමේ බේරගන්න කෙටි කාලයක් අවස්ථාවාදී දේශපාලනයට තවදුරටත් ඉඩක් ඇත.

එහෙත් මේ මල් විතරය. පළතුරු එන්නේ මල් වලට පස්සේ ය. මාසයක් තුළ මෙහෙම නම්, රනිල් වැඩ්ඩෙක්ද කියා අසන සජිත්‍ට කියන්න ඇත්තේ , මේ වෙලාවේ ඔයාගේ හිත කියන්නේ මොකක්ද ? අන්න ඒක තමයි ඇත්ත කියාය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී මාසයකට පසුව ශේෂ පත්‍රය එසේය.

මේ මගේ ඉස්සරහට යනවද ආපසු හැරෙනවාද යන්න මිලියන 22 ක ජනතාව තීන්දු කළ යුතුය.

S.L. ශ්‍යාම් !