Language Switcher

V2025

අරගලය ඕන රනිල්ට !

69 ලක්ෂයේ ජනවරම වෙනුවට මිලියන 21ක් වූ ජනතාවගේ සාතිශය බහුතරයක විරෝධය හමුවේ මහා බලගතු ගෝඨාභය රටින් පළා ගියේය. දැන් ව්‍යවස්ථානුකුලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.
 
කවුරු කැමති වුණත් , කවුරු අකමැති වුණත් ඉස්සරහට යන්න සිදුවෙන්නේ ඒ බව පිළිගෙනය.
 
 69 ලක්ෂයක ජනවරම සමග විපක්ෂය වචන වලින් මිස වැඩ වලින් හැපෙන්න ගියේ නැත. වැඩක් හැටියට gota go home ලෙස වැඩක් හැටියට හැපුණේ, අරගලකරුවන් ය. ඔබට මතක නම් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය පුද්ගලික ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියේ,  වගකීමක් නැති , අසංවිධානාත්මක අරගල වලට  තමන් නෑ කියාය.
 
🎯 මධ්‍යම පංතියේ නැගිටීම !
 
එහෙත් අරගලය වටා ජනතාව රොද බඳින විට ජවිපෙ පමණක් නොව , අරගලය අවිශ්වාස කළ බොහෝ දෙනෙකු ඒ වෙත පැමිණියා පමණක් නොව , තම තමන්ගේ න්‍යායපත්‍ර මත අරගලය යළි යළිත් සංවිධානය කරනවාද දකින්නට ලැබිණ .
 
සැබවින්ම ලංකා ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට දියත් වූ මේ අරගලය වෛවර්ණ ය. ඊට විචිත්‍ර බව එක්කළේ සිය පරිභෝජන අවස්ථා අහිමිව ජීවිතය පවා තර්ජනයට ලක්වූ මධ්‍යම පංතිය යි.
 
මේ ගැන කෙනෙකුට වාද කළ හැකිය. එහෙත්  gota go home සටන් පාඨය යථාර්ථයක් වීමෙන්  පසුව , අරගල භූමියට වෙච්ච දේ තේරුම් ගන්නට හැකි ඕන අයෙකුට වෙච්ච සන්තෑසිය තේරුම් ගන්න දුෂ්කර නැත.
 
🎯 මධ්‍යම පංතියේ හැසිරීම !
 
සැබවින්ම අරගලය හුදෙකලා වීම ඇතමුන් රාජ්‍ය මර්දනයට , පාවාදීම්, වලට සහ පියවරක් පස්සට ආදී ලෙස හඳුන්වමින් හිත හදාගන්න , උත්සාහ කළත් , සිදුවූයේ රනිල් වික්‍රමසිංහ ආගමනය  සහ අර්බුදය විසඳීමට ඔහු ඉදිරිපත් කළ අදහස් මෙරට මධ්‍යම පංතිය පිළිගැනීමය.
 
එසේ වුවත් ඒ පිළිගැනීම ආගමික භක්තිමත් බවක් හෝ, මාරම විශ්වාසයක් තුළ සිදුවුවක් යැයි සිතා අපි කවුරුත් වරද්දා ගතයුතු නැත. ඔවුන් කළේ, " ඉවසීමෙන් ඉඩදීමක්" ය. රනිල් කියන දේ කරන්න කාලය දෙන්න ඕන යන්න, ඔවුන් ප්‍රසිද්ධියේ  නොකීවාට, සම්මුතිය ඒකය.
 
🎯 System Change ?
 
 ඒ ගෝල්ෆේස් අරගල බිමේ සිට රටේ බොහෝ දිස්ත්‍රික්ක, මංසන්ධි, වල පැවති විරෝධතා වල ප්‍රමුඛ සටන් පාඨයක් ලෙස  , system change ඉල්ලූ මිනිස්සුය.
 
හැබැයි එතන  system change කිව්වට , ඊට  පොදු නිර්වචනයක් තිබුණේ නැත. කෙසේ වුවත් සමහර වාමාංශිකයන් සහ අරගලයට බට  ළදරු වල්ලිපුකාරයන්  system change ඉල්ලුවේ , "රට උස්සා පොළවේ ගසන්න"ය. මන්දිර අස්සට පැන මෝල් කෙළින්න තරුණයන් පෙළඹවූයේ ඒ ළදරු වල්ලිපුකාරයන් ය. අරගල වලදී මන්දිර අල්ලන්නේ ආය දෙන්න නොවන බව මේ ළදරු වල්ලිපුකාරයන් දැන සිටියේ නැත. ඒ රාජ්‍ය යනු කුමක්ද නොදැනීම මිස වෙන මොකක්ද ? දැන් සමහරු නඩු කන්නේ අරගල කරන්න  ළදරු වල්ලිපුකාරයන්ගෙන් ඉගෙනීම නිසාය .
 
එහෙත් සාතිශය බහුතරයක් ජනතාව ඉල්ලුවේ ඒ අටමගලක් නොවේය. කොටින්ම අරගල බිමෙන් නිකුත්කළ පොදු ලියවිලි කිසිවක, "අර්බුදය අස්සේ පරිපීඩිත ජනතාව සමග රට උස්සා පොළොවේ ගසන" යෝජනා නැත. එයින් ඉල්ලන්නේ සමාජ - ආර්ථික - දේශපාලන ක්ශේත්‍ර වල රැඩිකල් ප්‍රතිසංස්කරණ ය.
 
🎯 කොච්චර ගැහුවත් රනිල් කියපු දේ ?
 
වැඩේ කියන්නේ , රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස ඉන්න අතර පමණක් නොව , පසුගිය ආණ්ඩුකරණ අවස්ථා වලත් කිව්වේ, සමාජ ආර්ථික දේශපාලන දේහය කාළීනව නව්‍යකරණය නොකළොත් රටින් ගන්න දෙයක් නැති වෙන බවය.
 
කෙසේ වුවත් රනිල්ට වැඩිම විවේචන එල්ල කළ, රනිල්ට වැඩියෙන් චෝදනා කළ, රනිල්ව දේශපාලන පෙතෙන් ඉවත් කරන්න යෝජනා කළ සියලු දෙනාට අද රනිල් දිහා බලාගෙන ඉන්නට සිදුව ඇත.
 
🎯   ranil go home කියලා  : සාකච්ඡා මේසයට ඇවිල්ලා !
 
පසුගිය සමයේ ranil go home කියූ විපක්ෂයේ දේශපාලනඥයින් පවා , ප්‍රාතිහාර්‍ය දැකීමට සූදානමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් , ශ්‍රීලනිප යේ සාතිශය බහුතරයක් , සමගි ජනබලවේගයේ පිරිසක් , TNA , කම්කරු කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ දැන් රනිල් වික්‍රමසිංහ දිගටම යෝජනා කළ සර්ව පාක්ෂික ආණ්ඩුව සාකච්ඡා මේසය පිළිගෙන ඇත.
 
🎯 හොර නිදි වානා !
 
සැබවින්ම හොරට නිදාසිටි වුන් පවා, නැගිටින්න බල කෙරුණු , සියලු  දෙනා දෑස් විවර කළ මොහොත , ඊයේ (03) ජනාධිපති රනිල්ගේ රාජාසන කතාවය.
 
සුපුරුදු පරිදි ජවිපෙ විරුද්ධ වුණත් , කොයි දේත් දොස් දකින රාජිතට මෙන්ම , රනිල් දැක්කත් පළු දාන විපක්ෂ නායක සජිත්‍ට පවා ඒ කතාව ඉස්සරහ දන නමන්නට සිදුවිය. ඒ අන් කිසිවක් නිසා නොව, මිලියන 21ක් ජනතාව සක්‍රීයව හෝ අක්‍රීයව අනුමැතිය ලැබ, උස් හඬින් අරගලයේ අරගලකරුවන් ඉල්ලූ system change එකේ මූලික පදනම් සියල්ල රනිල් සිය රාජාසන කතාව තුළ ගොනුකර ගෙන තිබූ නිසාය.
 
නැත්නම් මැතිවරණයක් ඉල්ලූ පම්පෝරිජනක දේශපාලනඥයින් පවා ගැස්සුනු, අපේක්ෂාවේ කතාවක්, කාටවත් පැනයා නොහැකි සැලසුම්ගත රාමුවක් ඒ තුළ අඩංගුවූ නිසාය. කොටින්ම කියනවා නම් දැන් අරගලකරුවන්ට පවා ඒ සැලැස්මෙන් ගැලවීමක් නැත.
 
🎯 ගෝල්ෆේස් ප්‍රමුඛ අරගලකරුවන්ගෙ ඉල්ලීම !
 
ගෝල්ෆේස් ප්‍රමුඛ අරගලකරුවන් ඉල්ලා සිටියේ මොනවද ? 
 
රාජපක්ෂ රෙජීමය ඉවත් කිරීමේ සිට, සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක්, අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සහ සංශෝධනය කිරීම , අර්බුදය කඩිනමින් කළමනාකරණය කිරීම , වත්කම් විමර්ශනය ඇතුළු දූෂණය වලක්වාලීම, නීතියේ සාධාරණත්වය , නිදහස් හා සාධාරණ මැතිවරණ, ජාතිවාදී ආගම්වාදී ප්‍රවණතා පිටුදැකීම, ඇතුළු කරුණු ය. 
 
🎯 සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම !
 
අරගලයට ජීවය දුන් සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම් වූයේ , ඉන්ධන , ගෑස්, ආහාර , ඖෂධ සහ විදුලි කප්පාදුව නැවැත්වීම , උද්ධමනය පාලනය කර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමය.
 
🎯 අර්බුදයේ මුල !
 
රනිල්ගේ රාජාසන කතාවේ තිබුණේ මොනවද ? එහි එන ආර්ථිකය නවීකරණය කිරීමට අදාළ මේ උපුටා ගැනීම බලන්න .
 

"අපේ ආර්ථික ක්‍රමවේදයන් කෙසේ විය යුතු දැයි යන්න ගැන අපි දැන් දශක දෙක තුනක් තිස්සේ වාද විවාද කර ගන්නවා.  1977 දි අප රටට නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා.  නමුත් කාලයට ගැළපෙන ලෙස එය නවිකරණය කර ගන්නට අප අසමත් වුණා.  ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරඟකාරී, අදූරදර්ශී සහ විනාශකාරී පටු දේශපාලනයක නිතර වුණා.  යුක්රේන යුද්ධය, කොවිඩ් වසංගතය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් කඩා වැටීම වැනි ජාත්‍යන්තරයේ සිදුවු අවාසිදායක ආර්ථික සාධක අපේ අර්බුදය තවත් සංකීර්ණ තත්ත්වයකට ඇද දැම්මා. මේ ප්‍රධාන හේතු සාධක නිසා අපේ රට පහළටම ඇද වැටුණා.  ජනතාව අති මහත් දුෂ්කරතාවයන්ට ලක්වුණා."

🎯 ලෙඩේ දැනගෙන බෙහෙත් දෙන්න !

 ප්‍රතිකාර‍ය නිවැරදි වෙන්න නම් මුලින්ම රෝග නිධානය හරියට තක්සේරු කළ යුතුය. ඒ අර්ථයෙන් ගෝලීය ආර්ථිකය තුළ දූපත් මනසින් පිස්සු කෙළියා මිස ආර්ථිකය නවීකරණය කිරීමට හිතුවේවත් නැත. එනිසා දැන් රෝග නිධානය හරියට හඳුනා ගත්තා නම් අවශ්‍යව ඇත්තේ ප්‍රතිකාර කිරීමය.

🎯 හදිසි ප්‍රතිකාර කිහිපයක් !
දැනටත් හදිසි ප්‍රතිකාර ලෙස විදුලි කප්පාදුව අවම කර ඇත. වගා කටයුතු සඳහා පොහොර ආනයනය අරඹා ඇත. ආහාර හිඟයක් ඇති නොවීමට ආරක්ෂක පියවර ගෙන ඇත . එසේම ගෑස් පෝලිම් අවසන් වෙමින් පවතී. රෝහල් වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමට පියවර ගෙන ඇත. පාසල් , කාර්‍යාල සුපුරුදු කාර්‍ය කටයුතු අරඹා ඇත. කර්මාන්ත සහ අපනයන අංශයන්ට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇත.
 
🎯 ඉන්ධන සම්බන්ධ තීන්දුව වැදගත් !
 
මේ සියල්ල කීමට හැකියාව ඇත්තේ සැබවින්ම මේවා ඉටුකර ඇති නිසාය . එසේම ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ද ජනතාව වෙත ඇත්ත පැවසීම වැදගත් බවත් මෙහිලා සටහන් කළ යුතුව ඇත.
ජනාධිපති රනිල් සිය රාජාසන කතාව තුළ සඳහන් කර සිටියේ , "ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙන තුරු බලා සිටීමේ ක්‍රමය  අවසන් කළයුතු බවය. දැනට  රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක්  ආරම්භ කරන බවය. 
මෙහිදි ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට සිදුවන බවත්  අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවන බවත් ඒ, මේ වසර අවසන් වන තුරු පමණක් බවය.
 
🎯 මිනිසුන්ට ඇත්ත කියන්න !
 
අර්බුදය විසඳීමට පමණක් නොව අවස්ථාව අනුව එය ඔඩුදිවීම පාලනය කිරීමට මේ යෝජනාව වැදගත් ය. මෙහෙම ඇත්ත කියන්න නායකයන් බිය විය යුතුද නැත. මෙවැනි කාලයක කොහොමටත් මිනිස්සු බොරු අහන්න සූදානම් නැති අතර , ඇත්ත ඇති සැටියෙන් කියූ විට තර්ක බුද්ධියෙන් විමසා වැඩ කරන්න මිනිසුන් සූදානම් ය.
එන එන නායකයන්ට ගෝ ගෝ කියූ වෘත්තීය අරගලකරුවන් ජනතාව විසින් හුදෙකලා කර දමමින් ඉන්නේද ඒ අනුවය. 
ඒ කියන්නේ මෙතෙක් රනිල්ට එරෙහිව අමෝරාගත් ඊනියා අවි වාෂ්ප කර සිහින ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ අවස්ථාව රනිල්ට උදාවී ඇති බවය. 
 
🎯 ආර්ථිකය ස්ථාවර කරන්න !

 එසේම IMF සමග සිව් වසරක වැඩසටහනක් වෙනුවෙන් යොමුවීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම, අපනයන ආර්ථිකය වර්ධනය කිරීමට පියවර ගැනීම, හැකිලෙමින් ඇති මධ්‍යම පංතිය පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම , ඉඩම් නිවාස බලපත්‍ර ,පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම, වසර 25 ක ජාතික ආර්ථික සැලැස්ම , සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ කොමිසමක්,ඇතුළු මේ කිසිවක් නරක නැත. 

🎯 දේශපාලන ප්‍රතිසංස්කරණ කවුද එපා කියන්නේ ?
එසේම විධායකය සතු අත්තනෝමතික බලය ඉවත් කිරීම , ස්වාධීන කොමිෂන් සභා යළිත් බලාත්මක කිරීම , 22 ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ ද කිසිවෙකු නරකයි කියන්නේ නැත. ඔය ටික තිබුනා නම් 69 ලක්ෂයක ජනවරමක් ගත් ගෝඨාභයට රටින් පැන යන්න වෙන්නේ ද නැත. ප්‍රශ්නය ඇත්තේ , ඔය ටික කරන්න 17, 18, 19, 20 යන සියලු ව්‍යවස්ථා සංශෝධන වලට උස්සපු අත් කොහොම මොනවා කරයිද යන්නය. 
දැනටමත් ඇතමුන් හදිසියේ රාජපක්ෂ විරෝධයක් මවා විපක්ෂයට පැන , ප්‍රභූ දේශපාලනය රස කතා සාප්පු පටන් ගෙන ඇත. 
 එසේම කිවයුතු තවත් දෙයක් ඇත. ඒ මේ රට 2048 දී 100 වන නිදහස් සැමරුම අවස්ථාව වන විට සංවර්ධිත රටක් කිරීමේ අපේක්ෂාව ගැනය. මේ රට එහෙම තැනකට ගන්න නම් 2000 මුල මග වැටුණු "රිගේනිං ශ්‍රී ලංකා " පන්නයේ වැඩක්, අදට ගැලපෙන ලෙස ගේන්න ඕනය.
🎯 සිස්ටම් චේන්ජ් කරන්න : අරගල කාර්‍යංශයක් !
එහිදී ඊනියා ජනමතය වෙනුවට හරි දේ කරන්න මේ තියෙන ධෛර්යය දිගටම අවශ්‍ය වනු ඇත. 
 ඒ කියන්නේ , ඊනියා ජනමතය කියමින් පිස්සු නටන නාඩගම්කාරයන්ට එරෙහිවත් අරගල කිරීමට කාලයක් ඉස්සරහට එන්න පුළුවන් බවය. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමට, ජනාධිපති රනිල් හඳුන්වා දෙන අරගලකරුවන්ගෙ ආරක්ෂාව සහතික කෙරෙන  කාර්‍යංශය ඒ වෙනුවෙද අප දන්නේ නැත. 
 
එහෙත් සිස්ටම් චේන්ජ් එක අරගලකරුවන්ටත් වඩා රනිල්ට අවශ්‍ය බවත්, හැදෑරීම , සාමකාමී බව, ඉවසීම,  සහ අවශ්‍ය මොහොතේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම එහි අරගල මාදිලිය බවත්, ඔහු මෙතෙක් පැමිණි දේශපාලන මග විසින් තහවුරු කර ඇත. ඒ හැර පක්ෂ , සන්ධාන හරහා ගමනේදී රනිල් පැරදුණේද ඔහුගේ දැක්ම , වැඩපිළිවෙළ වෙනුවෙන් අරගල කිරීමට ප්‍රමාණවත් පිරිසක් නොසිටි නිසාය . 
සටහන : M.L. සහීර්