Language Switcher

V2025

බැසිල් 21 අවුල් කරන ගේමක : මෙන්න හේතුව !

21 වන සංශෝධනය ඉවත්කර ගැනීම වෙනුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් කඩාකප්පල් කාරී ලෙස බාධා කිරීමට ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඊට හේතුව වී ඇත්තේ ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබීම සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ස්වාධීන කොමිෂන් සභා යළිත් බලාත්මක වීමය.

වාර්තා වන ආකාරයට 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 91 (1)(xiii) වන උප ඡේදයේ මෙම සංශෝධනය ඇතුළත් කර ඇත.

21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට 19 වැනි සංශෝධනයේ ආකෘතිය ගෙන ඒමෙන් ස්වාධීන කොමිෂන් සභාවලට යළි ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකි සංශෝධන ද මීට ඇතුලත් කර තිබෙි.

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අක්‍රීය කර තිබු ප්‍රසම්පාදන සහ විගණන සේවා කොමිෂන් සභා යළි ක්‍රියාත්මක කිරිමටත් බලය හීන කර තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම සහ පොලිස් කොමිසම, නැවතත් ස්වාධීනව පවත්වා ගෙන යාමට හැකි වන ආකාරයේ සංශෝධනත් 21 වන සංශෝධනයට ඇතුළත් කර තිබේ.

ජනාධිපතිවරයා සතු බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වාධීන කොමිෂන් සභා වලටත් ව්‍යවස්ථාදායක සභාවට සහ කැබිනට් මණ්ඩලයටත් පැවරීම මගින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමෙි සංශෝධන ද 21වන සංශෝධනයට ඇතුලත් ය.

කැබිනට් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බවට වන සංශෝධනයක් ද ඇතුළත් වෙයි.

21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් ඇතුළත් නොවේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව යළි පිහිටුවීම සම්බන්ධයෙන්ද 21 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධන කෙටුම්පතේ සඳහන් වේ.

එහි සාමාජිකයින් වශයෙන් අගමැති, කතානායක,විපක්ෂ නායක සහ අගමැතිවරයා සහ විපක්ෂ නායක යන දෙදෙනා නම් කරන ජනාධිපතිවරයා විසින් පත් කරන ලබන පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එම පස් දෙනාගෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය. අනෙක් තිදෙනා පොදු හෝ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන කීර්තිමත් සහ අවංකභාවයක් ඇති කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයින් නොවන පුද්ගලයන් විය යුතුය.

ව්‍යවස්ථා දායක සභාවට පත් කරන එම සාමාජිකයින් පස් දෙනාගේ ධුර කාලය වසර තුනකි.

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ මෙම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පමණි.

ස්වාධීන කොමිෂන් සභා වල සභාපති ධුරය සඳහා ව්‍යවස්ථා දායක සභාව තිදෙනකු නිර්දේශ කළ යුතු අතර ඒ අතරින් එක් අයකු පත් කිරීමෙි බලය ජනාධිපතිවරයා සතු වෙි.

මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම මෙලෙස බලාත්මක කෙරෙන කොමිෂන් සභාවේ.

නීතිපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) සහ පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පත්විම් සිදු කළ යුතුය.

අගමැති ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා අස්වන්නේ නම් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන කාලය පුරාවටම අග්‍රාමාත්‍යවරයාට දිගටම ධූරයේ කටයුතු කළ හැකි බවද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙයි.