Language Switcher

V2025

චැනල් 4 වීඩියෝව මට වැදගත් වෙන්නේ ඇයි? 

කම්පනයකට අමතරව චැනල් 4 වීඩියෝව ගැන මට හිතෙන දේ මෙච්චරයි. වෙනත් විදියකට කිව්වොත් ඒක මට වැදගත් වෙන්නේ ඇයි?

පාස්කු ඉරිදා මියගිය සහ මියනොගිය (එහෙත් සංකේතීයව මියගිය) මිනිස්සු දහස් ගණනක්ගේ ලේ කඳුළුවලට මේ පොළොවේ සාධාරණයක් ඉටු නොවෙන්න තියන ඉඩකඩ බොහොමයි. ඒක බ්‍රිතාන්‍ය භූමියේ පවා නොවෙන්න තියන ඉඩකඩ වැඩියි. සමහර විට මේ පෘතුවි තලයේ කොහේවත් එහෙම නොවී, ඇත්ත නොදැක අපිට මියයන්න සිදුවේවි. ඒ වගේම ලසන්ත, ප්‍රගීත්, නිමලරාජන්, සිවරාම් අපේ මතකය ඇතුලේ මමිකරණය වේවි. ඝනීභවනය වේවි.

චැනල් 4 වීඩියෝවේ එක තැනක හන්සීර් මවුලානා කියනවා ''මට මේ අඳුරු සත්‍යය දරාගෙන තවදුරටත් ඉන්න බැරි නිසයි එහෙම කිව්වේ'' කියල. සමහර විට ඒකත් ඇත්ත නොවෙන්න පුළුවන්. රංගනයක් වෙන්නත් පුළුවන්.

ඒක රංගනයක් උණත් නැතත් ඒ වාක්‍යයෙන් විවර කරන ඉඩ පරතරය (gap) ඇතුලේ කියවෙන දේ තමයි එහෙම අඳුරු බරක් ඒකට සම්බන්ද වෙච්ච හැමෝටම ඇති කියන එක. එහෙම තියාගෙන මියයන එක ලේසි නැහැ. මොන ආගමකට අයිති උණත්. අනාගමික උණත්.

පාස්කුවෙන් මියගිය ඥාතීන් ඉන්න හැමෝටමත්, ප්‍රගීත්, ලසන්ත, සිවරාම් ඇතුළු හැමෝගෙම කවුරු හරි ජීවත්වෙලා ඉන්නවානම් එයාලටත් මේ මරණ ගැන යම් සත්‍යයක් දැනගන්න ඕනි ඇති. මොකද සිද්ද වුණේ මේකයි කියල හිත හදාගෙන යම් සැනසීමකින් මේ ඉතුරුකාලේ ජීවත්වෙන්න හරි, හුස්ම ටික පිටකරන්න හරි ඒ ''දැනුම'' අවශ්‍යයි. නොවිසඳුනු මරණයක් තියන හැමෝගෙම ජීවතුන් අතර ඉන්න අයට ඒ ක්ෂිතියෙන් එළියට යන්න පිටවීමේ පොයින්ට් එකක් ඕනි (exit point). ඒක යම් සුවපත් වීමක්.

හැමෝම චැනල් 4 දිහා බලන් හිටියේ ඒ අර්ථයෙන් කියල මට හිතෙනවා. විශේෂයෙන් කාදිනල්තුමා වගේ කෙනෙක්ට එයාගේ භක්තිකයින්ගේ අර්ථයෙන් මේක කොච්චර දැනෙනවා ඇත්ද? එයාටත් බැහැ මේකෙන් එළියට යන්න.

චැනල් 4 වාර්තා වැඩසටහන මට වැදගත් උණේ ඒ අර්ථයෙන්. චැනල් 4 එකට මේ මරණ වැදගත් වෙන්නේ මොන අර්ථයෙන්ද මම දන්නේ නැහැ.

අනෙකාට දඬුවම් කරන එකට වඩා වැදගත් දෙයක් තමයි තමන් තමන්ගේ පැවැත්මේ ''පිටවුම් ස්ථානයක්'' සලකුණු කරන එක. හෝ එහෙම කරන්න බැරුව අරගල කරමින් ඉන්න කෙනෙක්ට උදව්කරන එක. මේ වීඩියෝවෙන් ඒ සඳහා ආලෝකයක් ලැබුණ ද කියන එක ඉදිරියේ සිද්ද වෙන දේවල් විසින් තීරණය කරයි.

මේක සෙල්ලමක් නෙවෙයි.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි