Language Switcher

V2025

පැය පහකට අඩු නින්දෙන් සෞඛ්‍යයට හානි !

වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් රාත්‍රියකට අවම වශයෙන් පැය පහක නින්දක් ලබා ගන්නේ නම්, නිධන්ගත සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

අයහපත් සෞඛ්‍යය හේතුවෙන් නින්දට බාධාවිය හැකි නමුත්, දිගටම පවතින නින්දේ දුර්වලතා පූර්ව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් හෝ අවදානමක් විය හැකි බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

නින්ද හා විවේකය මඟින් ශරීරය සහ මනස යථා තත්ත්වයට පත් කිරීමට සහ පුනර්ජීවනය කිරීමට උපකාරී වන බවට සාක්ෂි ඇති නමුත්, නිදාගැනීමේ 'පැය ගණන' වැදගත් වන්නේ ඇයි ද යන්න අපැහැදිලි ය.

PLoS වෛද්‍ය අධ්‍යයන ආයතනය විසින්, එක්සත් රාජධානියේ සිවිල් සේවකයින්ගේ සෞඛ්‍යය සහ නින්ද නිරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ අතර, එයට සහභාගීවූවන් 8,000ක් පමණ දෙනාගෙන් "සාමාන්‍යයෙන් සතියේ දිනක රාත්‍රියක දී ඔබ පැය කීයක් නිදාගන්නේ ද?" යන්න විමසා තිබුණි.

මේ අතරින් ඇතැමෙක් නින්ද නිරීක්ෂණය කරන අත් ඔරලෝසු පැළඳ සිටිය හ.

පසුගිය දශක දෙකක කාලයක් පුරාවට ඔවුනට දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග ඇතුළු නිධන්ගත තත්ත්වයන් වැළඳී තිබුණේ ද යන්න පිළිබඳව ද පරීක්ෂා කර තිබුණි.

වයස අවුරුදු පනහක් පමණ වන පිරිසෙන්, පැය පහක් හෝ ඊට අඩුවෙන් නිදාගත් අය විවිධ රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානම, පැය හතක් නිදාගත් අයට වඩා 30%කින් වැඩි ය
වයස පනස් ගණන්වල දී කෙටි නින්දක් පමණක් ලබන්නන්, මෙම අධ්‍යයනය සිදුකළ කාලය තුළ මරණ අවදානමට ද ලක්වූ අතර, එය ප්‍රධාන වශයෙන් ඔවුන් තුළ නිධන්ගත රෝග ඇතිවීමේ වැඩි අවදානම හා බැඳී තිබුණි

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් සහ පැරිස් සයිටේ විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පවසන්නේ, විශේෂඥයින් සාමාන්‍යයෙන් පැය හතක් හෝ අටක් පමණ නින්දක් නිර්දේශ කරන බව යි.

අප නිදන්නේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුර විද්‍යාඥයන් නිශ්චිතවම නොදන්නාමුත්, නින්ද මොළයේ මතකයන් පෙළගැස්වීමට උපකාරී වන අතර මනෝභාවයන්, අවධානය යොමු කිරීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා යහපත් කාර්යයක් ඉටුකරන බව පැහැදිලි ය.

එමෙන් ම නින්ද, මොළයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට යොදාගන්නා අවස්ථාවක් ලෙස ද හැඳින්වේ.

හොඳ නින්දක් සඳහා උදව්වනු ඇති කාරණා කීපයක්

දහවල් කාලය පුරා ක්‍රියාශීලීව සිටීමෙන් සිරුර වෙහෙස කරවන්න. නින්දට යන වෙලාව ආසන්නවත්ම කෙමෙ කෙමෙන් ඔබේ වැඩ කිරීමේ වේගය අඩු කරන්න.

දිවා කාලයේ නින්දෙන් වළකින්න.

අඳුරු කළ හැකි ආකාරයේ ඝනකම තිර, සුවපහසුව දනවන කාමර උෂ්ණත්වයක් සහ ඇඳ ඇතිරිලි භාවිතා කරන්න. ඇඳේ දී ස්මාට් ජංගම දුරකතන භාවිත නොකිරීම වැනි යහපත් රාත්‍රී චර්යාවන් අනුගමනය කිරීම ද, ඔබේ නිදන කාමරය තුළ විවේක ගැනීමට සහ නින්දට අනුබල දෙන ස්වභාවයක් ඇතැ යි වගබලා ගැනීම ද සිදුකළ යුතු ය

නින්දට ආසන්න කාලයේ දී කැෆේන් සහ මධ්‍යසාර භාවිතාව අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම නැවත්වීම

ඔබට නින්ද ළඟා නොවන්නේ නම් එය බලහත්කාරයෙන් ළඟාකර ගැනීමට උත්සාහ නොකර, පොතක් කියවීම වැනි ඔබ සැහැල්ලු කරවන ක්‍රියාවක නියැලී, නිදිමත ඇතිවන විට යළි නින්දට යෑමට උත්සාහ කරන්න

ඔබ වැඩමුර මාරුවන රැකියාවක යෙදෙන්නේ නම්, රාත්‍රී මුරයට පෙර කෙටි නින්දක් ලබාගැනීමට උත්සාහ කරන්න. ඔබ රාත්‍රී මුරවල රැකියාව නිමවී පැමිණෙන්නේ නම්, කෙටි නින්දකට උත්සාහ කර, එදින සවස වේලාසනින් නින්දට යන්න

එංගලන්තයේ සරේහි නින්ද පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඩර්ක්-ජෑන් ඩික් BBC ප්‍රවෘත්ති සේවයට මෙසේ පැවසුවේ ය: "මෙයින් තහවුරු වන්නේ කෙටි නින්දක් පමණක් ලබාගැනීම අපට ප්‍රමාණවත් නො වන බව යි. ඇතැමෙකුට එය ප්‍රමාණවත් වුවත්, සාමාන්‍යයෙන් එය සෞඛ්‍ය සම්පන්නවන්නේ නැත."

"මෙහි ප්‍රධානතම ප්‍රශ්නය නම් ඇතැම් පුද්ගලයන් අඩුවෙන් නිදාගන්නේ ඇයි ද යන්න යි. නින්ද යනු එක්තරා දුරකට වෙනස් කළ හැකි ජීවන රටාවකි. ඒ නිසා එයට හේතුව කුමක්ද සහ ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි යමක් තිබේද යන්න සොයාබැලිය යුතු ය."

දිගුකාලීනව පවතින දුර්වල නින්ද සෞඛ්‍යයේ යහපැවැත්මට දැඩි ලෙස බලපෑ හැකි ය.

සාමාන්‍ය වෛද්‍යවරුන් නිදිපෙති නියම කිරීම මේ වනවිට දැඩි සේ සීමාකර තිබේ. ඒවා බරපතල අතුරු ආබාධ ඇති කළ හැකි අතර යමෙකු නින්ද සඳහා ඒ මත යැපීමට ද පොළඹව යි.

නමුත් නින්දේ ගැටළු බොහෝ විට විශේෂඥ සහාය ලබාගෙන විසඳාගත හැකි ය.

බීබීසී -සිංහල