Language Switcher

V2025

ජයග්‍රාහී ස්වයං ඉවත්වීමක් වෙනුවට : රාජ්‍යයේ ප්‍රචණ්ඩ බලය රසබලාම පිටව යනු!

රනිල් සාමකාමී අරගලකරුවන්ට එරෙහිව මෙබඳු ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකළේ ඇයි?

මේ වූකලී, බොහෝ දෙනෙකුට තාර්කික උත්තරයක් නැති ප්‍රශ්නයකි. එබැවින් ඊට ලැබෙන පිළිතුරු බොහොමයක් දේශපාලන සන්දර්භයකට ගැටගැසෙනවා වෙනුවට රනිල් මත පුද්ගලිකව ගැටගැසූ ඒවා වී තිබේ.
“ගෝල්ෆේස් විරෝධතාබිම එහෙම්මම තියෙන්න ඕනෑ.” ගෝඨා අතින් අගමැතිකම ලබාගත් විගස රනිල් කීවේ ය.

ඒ ගෝඨාභය යටතේ අගමැති තනතුරේ සිටි රනිල් ය. අර්බුදය එවකට තිබුණේ දිනෙන් දින මෝරන තැනක ය. ‘අගමැති රනිල්’ ඒ කාල අන්තරය තුළ කළ මහලොකු දෙයකුත් නැත. තෙල් නැවක් දෙකක් ආවේ ය. එහෙත් සමහරුන් හිතාගෙන හිටි හැටියට ඔහු විශ්වකර්මයෙක් මෙන් ලෝකය වටා ගොස් ඩොලර් නැවුගණන් ගෙනවිත් භාණ්ඩාගාරය පිරෙව්වේ නැත.

ඒ වෙනුවට ඔහු කළේ සතියකට හමාරකට සැරයක් ඇවිත් “අමාරුම කාලය එන්නේ ඉස්සරහටයි,” ආදී වශයෙන් ඉදිරි සතිය දෙක ගැන අඬෝවැඩි අනාවැකි කියමින් සිටීම ය.
රනිල්‌ගේ ඇසින් බැලුවත්, ගෝල්ෆේස් විරෝධතාවේ මුඛ්‍ය සටන්පාඨය වූ ‘ගොඨා ගෙදර යැවීම’ සාක්ෂාත් වන්නට නම් අරගලය දිගටම පැවතිය යුතු විය. අගමැති වශයෙන් ඉන්නා තමන්ට කිසියම්ම හෝ දේශපාලන ඉඩක් නිර්මාණය වනවානම්, එය සිදුවන්නේ විරෝධතා ව්‍යාපාරය මගිනි. ඉතින්, ගෝඨා පලවාහරින තුරු රනිල්ටත් අරගලය අවශ්‍ය වී තිබීම තාර්කික ය.
එහෙත් තමන් ජනාධිපති වූවාට පසු තවදුරටත් ජයග්‍රාහී තත්ත්වයෙන් පවත්නා අරගලයක් ඔහුට අවශ්‍ය නොවී ය‍.

පෙර සූදානම පිළිබඳ නොතකාහල ඉඟි !

පැහැදිළි ජනවරමකින් නොපැමිණෙන හෙයින් ද, එන්නට සිදුවන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ, ජනතා වෛරයට පවා පාත්‍රවූ දූෂිත දේශපාලකයන් රැලකගේ විකෘති ‘ඡන්දයකින්’ බව දැනසිටි හෙයින්ද, රනිල් මේ මිලිටරි පාලන උපක්‍රමයට කල්තියා ම සූදානම් වූ බව, සිදුවීම් දෙස කල්පනාකාරී පසු ආවර්ජනයක යෙදෙනවිට පෙනී යයි.

අගමැති වූ විගස ඔහු කළේ ආබාධිත සන්නද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් බලන්නට ගොස් ඔවුන්ගේ සුවදුක් විචාරන බව දැක්වෙන ඡායාරූප හා වීඩියෝ සහිත කතාවක් ප්‍රසිද්ධ කිරීම ය.
ජනාධිපති ඡන්දය දිනා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණෙන අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි සන්නද්ධ හමුදා සහ පොලිස් භටසේනා ඉදිරියේ සිය රියෙන් බට රනිල් කළේ, “පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔවුන් කළ කැපකිරීමට ස්තුතිය” පලකිරීම ය.
ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් ඔහු රාජ්‍ය ආයතනයකට කළ පළමු සංචාරය සඳහා තෝරාගත්තේ බත්තරමුල්ලේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය යි.

මේ හැම අවස්ථාවකටම ඔහු ඡායාරූප හා වීඩියෝ සහිත ප්‍රබල ප්‍රචාරයක් ද ලබාගත්තේ ය.

විශේෂත්වය වන්නේ, රාජපක්ෂලා විසින් සාදන ලද ‘රනිල් සන්නද්ධ හමුදා දුර්වල කරනවා,’ ‘රනිල්ට හමුදා ඇතුළේ ප්‍රසාදයක් නැහැ,’ වැනි කතාවලට බඳුන්වී සිටින රනිල් මෙසේ විශේෂයෙන් හමුදා කණ්ඩායම් හා මර්මස්ථාන බැහැදකින්නට යාම ය. එය විරෝධතාකරුවන් හා සන්නද්ධ හමුදා අතර යම් ආතතියක් වැඩෙමින් තිබූ අවස්ථාවක් වීම ද අමතක නොකළ යුතුය.

අරගලකරුවන්ට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරය මේ සියලු ඉඟිකිරීම්වල සමීපතම කූටප්‍රාප්තිය යි.

ජයග්‍රාහී ස්වයං ඉවත්වීමක් වෙනුවට..!

විරෝධතාකරුවන් තමන් අල්ලාගත් මර්මස්ථානවලින් පසුදා සාමකාමීව ඉවත්වූයේ නම් එය ද අරගලයේ ජයග්‍රහණයක් ලෙස සටහන් වෙයි. ඔවුන් ඒ තැන්වලින් ඉවත්වන්නේ මහත් වූ ජයග්‍රාහී ලීලාවකිනි‍‍. ඇතැම්විට මාධ්‍ය සාකච්ඡා තබා ලෝකයටම සිය ජයග්‍රාහී ස්වයං ඉවත්වීම ප්‍රකාශ කර මහත් වූ සැණකෙලි ද පවත්වා ය.

රනිල් නම් අලුත් ජනාධිපතිවරයා ද තමන්ගේ තියුණු නිරීක්ෂණයට හසුවන බව සහ අවශ්‍ය වුවහොත් ඔහු ගෙදර යැවීමට ද තමන් කඳවුරු බඳින බව ඔවුන් ඒ ජයග්‍රාහී ස්වරයෙන්ම කියාසිටිනවා ඇත.

මේ ජයග්‍රාහී තත්ත්වය විරෝධතාකරුවන්ට ලබාදෙන්ට රනිල්ට අවශ්‍ය නොවීය.

ඔහුට අවශ්‍ය වූයේ, තමන් විධායක ජනාධිපතිකම අතටගත් වහාම, කිසිවකුත් බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත මොහොතක, මතක හිටින ප්‍රහාරයක් එල්ලකර අරගලකරුවන් පලවාහැරීමට ය.

ඒ සඳහා ඔහු තෝරාගත්තේ රාජ්‍ය පාලනයේ මර්මස්ථාන වන නිල ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ය. ඒවා ඔහුගේ සන්නද්ධ මෙහෙයුමට සාධාරණීකරණයක් ලබාගතහැකි තැන් ය.

ඔහු එමගින් තමන්ගේ විධායක බලය යටතේ පවත්නා රාජ්‍යයේ අධිකාරී බලය ගැන ඍජු පණිවිඩයක් විරෝධතාකරුවන්ටත් සමස්ත රටවැසියාටත් ලබාදෙයි.

‘රාජ්‍යයේ ප්‍රචණ්ඩ බලය රසබලා ම පිටව යනු…!’

නීත්‍යානුකූල සන්නද්ධ බලය, ප්‍රහාරක බලය හා එනයින් උපරිම ප්‍රචණ්ඩත්ව බලය ඇත්තේ රාජ්‍යය සතුව ය. එයට අභියෝග කරන්නට පැමිණෙන්නවුන්ට එරෙහිව ඒ නීත්‍යානුකූල බලය උපරිමයෙන් යොදන්නට තමන් කිසිවිටෙකත් පසුබට නොවන බව ඔහු මේ ප්‍රහාරය ඔස්සේ අධිපතිවාදී, හිතුවක්කාර ස්වරයකින් කියාසිටී.
.
බලය නොමැතිව සිටින විට ‘පූර්ණ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්’ වන රනිල් බලය අතට ආ ගමන් කිසියම් දරදඬු ඒකාධිපතිත්වයකට අඳී‍. ඔහුගේ හැසිරීම හා කතා විලාසය පවා ඒ අනුව වෙනස් වෙයි. (ඔහුට එසේ වන්නේ ඇයිද යන්න ගැන අපගේ නිරීක්ෂණය ඉදිරියේ දී සලකා බලන්නට අදහස් කරමු.)
එහෙත් තමන් විරෝධතාකරුවන් පහරදී පලවාහල මේ හේතුව ඔහුට එළිපිට කියන්නට බැරි ය. ඒ හේතුව ගැන අන්දෝ සංසාරයක් නොදන්නා, නිදහස් මතධාරීන් ලෙස පෙනීඉන්නා රනිල්වාදීන්ටම පවා ඒ ප්‍රහාරය සාධාරණ නොවන බව කනින් කොනින් හෝ එළිපිට පිළිගන්නට සිදුව ඇත‍.
එනමුත් තමන්ගේ ක්‍රියාකලාපය ජාත්‍යන්තරය ඉදිරියේ රහසිගතව සාධාරණීකරණය කිරීමට රනිල් අත බලවත් හේතු දැක්වීමක් තිබෙන බව අපේ විශ්වාසය යි.

ඒ කුමක්දැයි යන්න ගැන අපේ උපකල්පනය ඉදිරියේ දී සටහන් කරමු.

සනත් බාලසූරිය ගේ ෆේස්බුක් ගිනුමෙනි