දකුණේ ව්‍යාපාරිකයින් මුහුණ දෙන මුදල් සහ පරිපාලන ගැටලු ඇතුළු තවත් ගැටලු ගණනාවකට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇත.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදයේ විශේෂ ඉල්ලීමකට අනුව එහි නියෝජිතයින් සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර ප්‍රමුඛ මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ය. මෙහි දී ව්‍යාපාරික නියෝජිතයන් විසින් වත්මන් ආර්ථික වටපිටාව තුළ තමන් මුහුණ දෙන අභියෝග සවිස්තරාත්මකව ඉදිරිපත් කළහ. එම බාධා ඉවත් කර ගැනීම සඳහා වූ යෝජනා පිළිබඳව ද රජයේ අවධානය යොමු කර ඇත.

මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් වර්තමානයේ මුහුණ දෙන විවිධ මූල්‍ය දුෂ්කරතා සහ පරිපාලනමය ක්‍රියාවල පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීම මෙහි දී සිදුකළේ ය. විසඳුම් සඳහා වන යෝජනා, ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දෙන මෙම අර්බුදකාරී තත්ත්ව ජය ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව සතු විකල්ප ක්‍රියාමාර්ග සහ විසඳුම් රජය වෙත ඉදිරිපත් කළේ ය.ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ව්‍යාපාරිකයන් පෙන්වා දුන් බොහෝ කරුණු සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය මට්ටමේ එකඟතාවක් පවතින බව අවධාරණය කළේ ය.
මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ගතවන කාල රාමුව පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර තීරණ ගැනීමට රජය සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

මෙම සාකච්ඡාවට එක්වෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ, ව්‍යාපාරික ක්ෂේත්‍රය විසින් මතු කරන ලද ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් රජය මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි. ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ඇතිව ආර්ථිකය ස්ථාවර කිරීම රජයේ අරමුණ බවද මෙහිදී පැහැදිලි කළේ ය.
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මීට අමතරව දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදය නියෝජනය කරමින් විවිධ ව්‍යාපාරික සංගම් රාශියක නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදය විසින් සාකච්ඡාවක් සඳහා කරන ලද ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත සිය ස්තූතිය පළ කළහ.
ජේ.මුණසිංහ

