ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා - 160වන පොලිස් දින සැමරුමේ දී ජනපති කියයි

ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා - 160වන පොලිස්  දින සැමරුමේ දී ජනපති කියයි

ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට  පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක්  සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන  අතර, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම  අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත  බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ (03) පැවති 160 වෙනි පොලිස් දින සැමරුම් උත්සවයට එක් වෙමිනි.

WhatsApp Image 2026 09 04 at 10.16.21 AM

 

ගෙවී ගිය වසර 160ක කාලය තුළ රටේ ඇති වූ විවිධ ගැටුම්කාරි අවස්ථා, වසංගත ආදී පොදු ජනතාව ව්‍යසනයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා පොලීසිය පොදු ජනතාව වෙනුවෙන් සහ මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉටු කළ භාරදූර කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා විවිධ යුගවල විවිධ කාර්යයන් වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා පොලීසිය වෙත මේ වන විට පැවරී ඇති ප්‍රමුඛතම වගකීම වන්නේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ ජාතික වගකීම බව පෙන්වා දුන්නේය.  ඒ වෙනුවෙන් වෘත්තීය වගකීමෙන් එහා ගිය සමාජ වගකීමක් ලෙස සලකා කැපවන ලෙසද ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කළේ ය.

පසුගිය වසර දෙක තුළ මෙරට වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණය සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම සහ විදෙස්ගතව සැඟවී සිටි සන්නද්ධ අපරාධකරුවන් 74 දෙනෙකු ජාත්‍යන්තර රාජ්‍යයන්ගේ සහාය ඇතිව මෙරටට ගෙන ඒමත් මෙහිදී  ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා,මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය  සහ යටිතල පහසුකම් උපරිමයෙන් සලසා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේ ය.

160 වෙනි පොලිස් දින සැමරුම් උත්සවයට එක් වූ ජනාධිපතිවරයාව පොලිස් උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගනු ලැබිණි.

WhatsApp Image 2026 09 04 at 10.16.22 AM

ජනතා සේවාවන් කාර්යක්ෂම සහ කඩිනම් කිරීමට පොලිසිය සහ ජනතාව අතර තොරතුරු හුවමාරු කර ගැනීම විධිමත් කිරීමේ අරමුණින්  SRI LANKA POLICE MOBILE APP හඳුන්වා දීම සහ නවීකරණය කළ www.police.lk වෙබ් අඩවිය විවෘත කිරීම ද එම අවස්ථාවේ දී සිදුකළේ ය.

ශ්‍රී ලංකා පොලීසියේ 160 වන සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු කළේ ය. 

WhatsApp Image 2026 09 04 at 10.16.25 AM

2026 ජනවරි 01 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සේවා පදනම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් පහළ පොලිස් නිලධාරීන් 1489 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 153 දෙනෙකුට උසස්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කළේ ය.

160 වන පොලිස් දින සැමරුම සඳහා සහභාගිවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ උත්තමාචාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක …

 

පැහැදිලි විශ්වාසයක් තිබෙන අතර ම විවේචන ද නොමැතිවා නොවේ

''ආයතනයකට වසර 160ක් සම්පූර්ණ වීම කියන්නේ දිගු ඉතිහාසයක්. එම දිගු ඉතිහාසය තුළ අපේ රටේ ඇති වූ විවිධ ගැටුම් සහ ස්වභාවික විපත්, වසංගත මේ ආදී අපේ රටේ පොදු ජනයා ව්‍යසනයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා පොලීසිය පොදු ජනතාව වෙනුවෙනුත්, මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙනුත් ඉතා භාරදූර වගේම අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

ඒ නිසා මේ වසර 160 පුරාවට ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳ අපේ රටේ පුරවැසියන් තුළ ඔබ කෙරෙහි ගෞරවයක්, ඇගයීමක් සහ විශ්වාසයක් තිබෙනවා. ඔබට මේ හිමිවී තිබෙන ගෞරවය, ආදරය, විශ්වාසය රැක ගෙන ඉදිරියට යන්නේ කොහොමද. මේ වසර 160ක ඉතිහාසය දෙස බැලූ විට පොලීසිය පිළිබඳ ඉතා පැහැදිලි විශ්වාසයක් තිබෙන අතරම විවේචනද නොමැතිවා නොවේ. ඒ නිසා මේ අවස්ථාවේ පොලීසිය සතුව තිබෙන ප්‍රධාන වගකීම වන්නේ, විශ්වාසය තහවුරු කර ගනිමින් විවේචන, දෝෂාරෝපණ බැහැර කරමින් ඉදිරියට යාමයි.

කුමන විවේචනයක්, දෝෂාරෝපණයක් ජනතාව තුළ තිබුණත් අදත් ජනතාව අපේ ප්‍රදේශයට පොලීසියක් දෙන්න කියා ඉල්ලනවා. ජනතාවගේ සාමය, ආරක්ෂාව ඔබ සතුව තිබෙන බව මෙයින් පෙනී යනවා. පසුගිය වසර 160 පුරාවට ශ්‍රී ලංකා පොලීසියට ගෞරවය සහ විශ්වාසය කැඳවාගෙන ආපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටින බව මා දන්නවා. ඒ සඳහා නායකත්වය දුන් නිලධාරීන් සිටිනවා. එහෙත් ඒ හා සමාන ලෙසම පොලීසිය දෝෂාරෝපණයට පත්වීම සඳහා තනතුර හෙබවූ නිලධාරින් හේතු වූ බව රහසක් නොවෙයි. ශ්‍රී ලංකා පොලීසිය පිළිබද ජනතාවගේ අවිශ්වාසය ගොඩනැගීම සඳහා හේතු වූ කරුණු අද අපි ඉදිරියේ දිගහැරෙමින් තිබෙනවා. ඒ නිසා වර්තමාන ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන සියලු නිලධාරීන්ගේ වගකීම වන්නේ ඔබගේ වෘත්තියේ තිබෙන ගෞරවය සහ විශ්වාසය ශක්තිමත්ව ආරක්ෂා කරගෙන ඉදිරියට යාමයි.

ඉකුත් වසර 160 පුරා ඔබගේ කාර්යභාරයේ ප්‍රමුඛතාව කාලය සමග වෙනස් වී තිබෙනවා. අද අපේ සමාජය වෙළාගෙන තිබෙන මහා ව්‍යසනය දෙස බැලූ විට වර්තමාන පොලීසිය සතුව තිබෙන ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ මේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම බව අපි විශ්වාස කරනවා. එය ඔබට රාජකාරීමය වශයෙන්ම පැවරී තිබෙනවා. එහෙත් අපේ හදවතේ තෙතමනයක් තිබෙන මිනිසුන් ලෙස රාජකාරියෙන් ඔබ්බට යන සමාජ වගකීමක් ලෙසද සලකා  ඒ වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා.

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන  නිලධාරීන්ද ඉතා අතළොස්සක් සිටින බව අපිට වාර්තා වී තිබෙනවා

මේ සමාජ දේහය පුරා පැතිර යමින් තිබෙන විෂ මත්ද්‍රව්‍ය නම් මහා බිහිසුණු රකුසා සහ සන්නද්ධ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා දායකවන ලෙස, මම මෙම විශේෂ දිනයේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ වගකීම දෙවුර දරාගත් පිරිස අතර  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන  නිලධාරීන්ද ඉතා අතළොස්සක් සිටින බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ වගේම බිය නිසා මේ ජාලයේ ගොදුරු බවට පත්වි සිටින නිලධාරීන් සිටිනවා. තවත් පිරිසක් මිලදි ගෙන සිටිනවා. ඔබ වහාම බිය අත්හැර මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන්න කියලා මම මේ දෙපිරිසටම ආරාධනා කරනවා. එසේ නොමැති නම් ඔබ නිල ඇඳුම අත් හරින්න. එසේ නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිල ඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. මහා ගෞරවයක් සහිත පොලීසිය මේ අතළොස්සක් නිසා අපකීර්තියට ලක් නොවිය යුතුයි.

අපිට ඔබ කෙරෙහි විශාල ඇගයීමක් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ ලංකාවේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණය සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට ඔබ සමත් වී තිබෙනවා. ඒ අනුව හෙරෝයින් කිලෝ ග්‍රෑම් 5255ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9966ක්, කේරළ ගංජා කිලෝ 44,684ක්, මත්පෙති, කරල් මිලියන 16.2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපේ තරුණ පරපුර, පාසල් යන දරුවන් කොතරම් ප්‍රමාණයක් මේ ව්‍යසනයට ගොදුරු වීමට තිබුණාද, ඒ නිසා ඒ පිළිබඳ ඔබ කෙරෙහි අප තුළ ඇගයීමක් තිබෙනවා. එම ගෞරවය ඔබට හිමිවෙනවා.

ඒ වගේම විදෙස්ගතව සැඟවී සිටී සන්නද්ධ අපරාධකරුවන් 74 දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ බුද්ධි අංශවල සහාය  ඇතිව සහ ජාත්‍යන්තර රාජ්‍යයන්ගේ සහාය ඇතිව මේ වන විට ලංකාවට ගෙනවිත් තිබෙනවා. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත තවත් කිහිප දෙනෙකු ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් සතුව තිබෙන දියුණු තාක්ෂණික ගිණි අවි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා මේ ව්‍යසනය විනාශ කිරීමට ඔබ විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. ඒ වෙනුවෙන් නැවතත් ඔබට අපේ ගෞරවය, ප්‍රණාමය පුද කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුයි

ජීවිත පරදුවට තබා ඔබ මේ විමර්ශන රාජකාරී සිදු කරනවා. එම විමර්ශන සිදු කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත පරීක්ෂණ  වාර්තා යොමු කර අදාළ අධිකරණ ක්‍රියාවලිය අවසන් වන විට බොහෝ විට විමර්ශන නිලධාරින් විශ්‍රාම යනවා. ඒ නිසා අත්අඩංගුවට ගන්නවා හා සමාන ලෙස වේගවත්ව නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගවලට, පුද්ගලයින්ට මොකද වෙන්නේ කියලා ජනතාව තුළ සැකයක් මතු වෙනවා. නිසි නඩු ගොනු කිරීමකින් පසු අධිකරණය මගින් නිසි දඬුවම් ලැබෙයි කියා ඔවුන් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ ක්‍රියාදාමයේ විශාල ප්‍රමාදයක් තිබෙනවා.

ඒ නිසා මෙය මැඩ පැවැත්වීමට නම් විමර්ශන වේගවත් විය යුතුයි වගේම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතුයි. ඒ නිසා මීට අදාළ සෑම ආයතනයක්ම ශක්තිමත් විය යුතුයි. අපරාධයට නිසි දඬුවම නිසි වේලාවේදී ලබා නොදීම අපරාධයට උත්තේජනයක් වෙනවා. ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාදාමයන් කාර්යක්ෂම කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු ජනතාවගේ සහ රටේ සුබ සිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කරනවා. මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කිරීමට කිසිසේත් පැකිළෙන්නේ නැති බව ඔබට සහතික වෙනවා.

 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිල්ලක්

විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියට 10,000ක් අලුතින් බඳවා ගැනීමට අපි දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. ඔබ ඉතා අසීරු රාජකාරියක නිරත වෙනවා. රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලැබෙනවා. ඊට අමතරව පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට තම උසස්වීම් පිළිබඳ විශාල පසුතැවීමක් තිබෙනවා. මා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා “පොලීසියට බැදෙනකොටත් කොස්තාපල්, බඳිනකොටත් කොස්තාපල්, විශ්‍රාම යන විටත් කොස්තාපල්” කියලා. මම දැන් ජනාධිපතිවරයා. ඒ නිසා නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කොට අවශ්‍ය මානව සම්පත දිරි ගැන්වීම සහ ඇගයීමක් සිදු කිරීම මගේ වගකීමයි.

අද ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් ලබා දෙනවා වගේම කුසලතා සහ විභාග මත උසස්වීම් ලබා දිය යුතුයි. අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. උසස්වීම් ලබා දීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබා දීම සඳහාත්, උසස්වීම් නොලැබී සිටින අය එම තනතුරේ ම අතිරේක ලෙස පිහිටුවීම සඳහාත් අපි කටයුතු කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ මානව සම්පතක් අවශ්‍යයි. ඒ වගේම හොඳ යටිතල පහසුකම් අවශ්‍යයි. ඒ අනුව රාජකාරී සඳහා යතුරුපැදි 700කට ආසන්න ප්‍රමාණයක්, සිංගල් කැබ් රථ  200ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. ඉන්දියානු ආධාර මත කැබ් රථ 138ක් මේ වන විටත් ලැබී තිබෙනවා.

ඒ වගේම  නවීකරණය වූ පොලිස් මූලස්ථානයක් ගොඩනැගීමට එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා පැරණි ගොඩනැගිල්ලක තිබෙන්නේ. ඒ නිසා ඉදිරි අයවැයෙන් නව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය වන ගොඩනැගිල්ලක් ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පොලිස් රෝහල නවීකරණය කිරීම සහ නවාතැන් පහසුකම් ලබා දීම,  කුලී ගොඩනැගිලිවල පවතින පොලිස් ස්ථාන රජයේ ගොඩනැගිලිවල ස්ථාපිත කිරීම, නිලධාරීන්ට අවශ්‍ය නිල නිවාස ඉදිකිරීම සඳහා යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය මානව සම්පත සහ යටිතල පහසුකම් අපි සංවර්ධනය කරනවා. ඒ වගේ නවීන තාක්ෂණය ඒකාබද්ධ කරනවා.

 

නූතන යුගයට ගැළපෙන පොලිස් නිලධාරියකු නිර්මාණය කරනවා

අදත් ශ්‍රී ලංකා පොලීසිය සහ පෞද්ගලික සමාගමක් විසින් නිර්මාණය කරන ලද ඉතා වැදගත් යෙදවුම් කිහිපයක් දියත් කළා. ඒ වගේම විමර්ශන සඳහා පුහුණුවීම් සහ දැනුම අවශ්‍යයි. ඒ නිසා පුහුණු කිරීම් සඳහා අයවැය ලේඛනයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.  ශ්‍රී ලංකා පොලීසිය සඳහා ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. නූතන යුගයට ගැළපෙන පොලිස් නිලධාරියෙකු නිර්මාණය කළ යුතුයි. ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට අපේ පොලීසිය පරිවර්තනය කළ යුතුයි. ඔබ නිරන්තරයෙන් මහජනයා සමග ගැටෙනවා. මිත්‍රශීලි පොලිස් සේවාවක් වෙනුවෙන් ඔබේ මානසික තත්ත්වය සුවපත් කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගා දීමට අපි කැප වී සිටිනවා. ඒ අනුව මහජනතාවට පොලීසිය සමග සමීප සබඳතාවක් ඇතිකරගත හැකි, නව ශ්‍රී ලංකා පොලීසියක් අපි නිර්මාණය කරමු.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර,  බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුද, මහකොමසාරිස්වරු සහ තානාපතිවරුන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සංජීව ධර්මරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ශ්‍රී ලංකා පොලීසියේ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2026 09 04 at 10.16.17 AM

WhatsApp Image 2026 09 04 at 10.16.18 AM

WhatsApp Image 2026 09 04 at 10.16.16 AM

WhatsApp Image 2026 09 04 at 10.16.40 AM

WhatsApp Image 2026 09 04 at 10.16.0 AM

WhatsApp Image 2026 09 04 at 10.16.42 AM

WhatsApp Image 2026 09 04 at 10.16. AM

 

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න