ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය, විශාරද නන්දා මාලිනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී නන්දා මාලිනිය උපත ලැබූවාය. 

දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා වූ ඇය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.

ඇගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි නන්දා මාලිනී ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය.

1956 දී බොරැල්ල YMBA ශාලාවේදී පැවති 'පද්‍ය ගායනා' තරගයට ඇය සහභාගී වූ අතර, එහිදී ඇය රන් පදක්කමක් දිනා ගත්තා ය.

එම පද්‍ය ගායනා තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 'රේඩියෝ සිලෝන්'හි (Radio Ceylon) විකාශය වූ කරුණාරත්න අබේසේකරගේ ජනප්‍රිය වැඩසටහනක් වන 'ළමා මණ්ඩපය' සඳහා ගීතයක් ගායනා කිරීමට ඩබ්ලිව්.ඩී. අමරදේව විසින් ඇයට ආරාධනා කරන ලදී.

එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

1963 වසරේදී, ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගායනය සඳහා පණ්ඩිත් අමරදේවයන් විසින් මාලිනී තෝරා ගන්නා ලදී.

එම චිත්‍රපටය වෙනුවෙන් චන්ද්‍රරත්න මානවසිංහ විසින් රචනා කරන ලද 'ගලන ගඟකි ජීවිතේ' ගීතය, නාරද දිසාසේකර සමග එක්ව ඇය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

එම වසරේ සංගීත අංශයේ සියලු ම සරසවි සම්මාන එම චිත්‍රපටය දිනාගත් අතර, එහිදී හොඳ ම ගායිකාවට හිමි සම්මානය මාලිනී විසින් දිනා ගන්නා ලදී.

එය ඇය ලැබූ ප්‍රථම ප්‍රධාන පෙළේ සම්මානය විය. එතැන් පටන් ඇය චිත්‍රපට රැසක ගායනයෙන් දායක වී ඇති අතර, සරසවි සම්මාන 11ක් සහ ජනාධිපති සම්මාන 8ක් දිනාගෙන තිබේ.

නන්දා මාලිනිය විසින් ගීත අති විශාල ප්‍රමාණයක් ගායනා කර ඇති අතර එම ගීත වර්තමානයේ පවා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.

"පෙරදා මහ රෑ", අම්මාවරුනේ "පහන් කන්ද", "කඩමණ්ඩියේ", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් ඒ අතර වේ.

දශක ගණනාවක් පුරා සිංහල ගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස ඇය අද්විතීය ගායන මෙහෙවරක නිරත වූවාය.

නන්දා මාලිනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) සිදු කිරිමට නියමිතයි.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න