පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03, ගාමිණී ගුණරත්න මාවතේ පිහිටි “ටියාන් යෙෆා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම” (Tian Yefa Traders Private Limited) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ නඩු පවරන ලදී.
පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමක දී, මෙම සුපිරි වෙළඳසැල තුළ විකිණීමට තිබූ පහත සඳහන් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අද (08) දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
- ආනයනකරු ගේ/වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ නම, ලිපිනය, කාණ්ඩ අංකය හෝ රට සඳහන් නොකළ කුකුළු මස් නිෂ්පාදන ඇසුරුම්.
- ආනයනකරු ගේ/නිෂ්පාදකයා ගේ තොරතුරු රහිත පාන් වර්ග ඇසුරුම්.
- සැපයුම්කරු විසින් නිකුත් කරන ලද බිල්පත් හෝ කුවිතාන්සි නොමැති ඇසුරුම් කළ ආහාර.
- SLS ප්‍රමිති ලාංඡනය රහිත දුඹුරු සීනි ඇසුරුම්.
- කල් ඉකුත් වූ ආහාර ඇසුරුම්.
අධිකරණය හමුවේ ඉදිරිපත් කළ චෝදනා 6කට අදාළව විත්තිකාර සමාගමට රුපියල් 100,000 බැගින් රුපියල් 600,000ක (ලක්ෂ හයක) දඩයක් නියම කළ අතර, අත්අඩංගුවට ගත් සියලුම නඩු භාණ්ඩ වහාම විනාශ කිරීමට ද නියෝග කළේ ය.
පාරිභෝගිකයින් රවටමින් පාලන මිල ඉක්මවා, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

