එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ජාතික කෘෂිකර්ම හා ජල කළමනාකරණ සැලසුමක් කරා යා යුතුයි
'' මූල්‍ය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තියට දැවැන්ත බලපෑමක් සිදු කරනවා. එහි දී මහබැංකුවට මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳවත් භාණ්ඩාගාරයට මුදල් ප්‍රතිපත්තිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ ඒ අදාළ දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගැනත් අවධානයෙන් සිටිය යුතු යි. මධ්‍යම ආණ්ඩුව සතු ආයතන සේම පළාත් සභා සතු ආයතන විශාල ප්‍රමාණයක් සේම මේ යටතේ විශාල නිලධාරී මණ්ඩලයක් පවා සිටිනවා. එම නිසා මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර ඒකාබද්ධ වී මේ ඵලදායිතාව වර්ධනය කරමින් මේ සඳහා මුහුණ දිය යුතුයි.
එන්න එන්නම කෘෂිකර්මාන්තයේ දායකත්වය පිරිහෙමින් පවතින නිසා මේ ආයතන සියල්ල එකට සම්බන්ධ කර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් කරා යා යුතු යි. මහවැලි ප්‍රදේශ, විශාල ජලාශ්‍ර හා කුඩා ජලාශ්‍ර ඒකාබද්ධ කර ජාතික ජල කළමනාකරණ සැලසුමක් කරා යා යුතු යි.
එල්නීනෝ නිසා අප රටේ සංචිතවලට වන බලපෑම් ගැනත් තක්සේරුවක් කළ යුතුයි
එසේම මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා යනු සමාජයේ ඇති මුදල් සැපයුම පාලනය කිරීමත් පොලි අනුපාත කළමනාකරණය කිරීම මෙන්ම විනිමය අනුපාත ස්ථායීකරණය කිරීමයි. මේ ප්‍රතිපත්ති මාලා තුළ එල්නීනෝ ලානීනා තත්ත්වය අප රටට බලපෑමක් සිදු නොවුවත් වෙනත් රටවලට බලපෑමක් සිදුවී ඒ යටතේ වක්‍ර බලපෑමක් ද අප රටට සිදුවිය හැකි බැවින් ඒ සිදුවන බලපෑම ආදිය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුවිය යුතු යි. ආහාර, තෙල්, ගෑස් ආදියේ පසුගිය කාලයේ සේ මිල වැඩි වුවහොත් අපේ සංචිතවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ද අප ඇගයීමක් සිදු කළ යුතු යි.
ආපදාවලදී මූල්‍ය ආධාර ලබා ගැනීමේදී Re-purpose fund ගැන දෙවරක් සිතිය යුතුයි
දිට්වා වැනි ඛේදවාචකයක් මේ තුළින් නිර්මාණය වුවහොත් ඒවාට විසදුම් ලබා දෙන්නට මූල්‍ය ශක්තිය ලබා ගන්න මූල්‍ය ක්‍රමවේද ගණනාවක් ඇති නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනුගමනය කරන ප්‍රතිපත්තිවල දුබලතා රැසක් තිබෙනවා. පවතින සංවර්ධන වැඩසටහනක ඉතිරි මුදල් හදිසි අවශ්‍යතා ලෙස යොදා ගැනීම නිසා එතෙක් කර ගෙන ආ ව්‍යාපෘති අඩපණ වෙනවා. එම නිසා මෙසේ හදිසි අවශ්‍යතා ලෙස පවතින ව්‍යාපෘතිවලින් මුදල් ගන්නේ නම් ඒ මුදල් නැවත වරක් පියවිය යුතු යි. ඒ ගැන සාකච්ඡා කර මූල්‍ය ආයතන සමග එකඟතාවලට යා යුතු යි.
ආපදාවක දී අපි ලබා ගත යුත්තේ ආධාර මිස ණය නොවේ
එසේම ආපදාවක් යනු ඛේදවාචකයක් නිසා ඛේදවාචකයක් තුළ දී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත යුත්තේ ආධාර මිස ණය නොවෙයි. ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී අවධානය යොමු කළ යුතු යි. එසේම දිට්වා නිසා සිදු වූ සාර්ව ලෙස බලන මූල්‍ය තත්ත්වය ගණනය කිරීමේ දී පාරිසරික හානිය ගණනය කර නොමැති බවත් පරිසර අමාත්‍යාංශය සමග සාකච්ඡා කර වනජීවී වෘක්ෂලතාවලට සිදුවන හානිය ගැන ගණනය කිරීම අතිශය වැදගත්.''
මෙම අවස්ථාවට මහබැංකුව, මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් ඇතුළු විශේෂඥයින් රැසක් එක්වී සිටියහ.
මෙම අදහස් දැක්වීමට අදාළ වීඩියෝව නරඹන්න පහළින්>>

