ඉන්දුනීසියාවේ අත්දැකීම් ශ්‍රී ලංකාවට කෙතරම් අදාළ ද යන්න පිළිබඳව සලකා බැලීමේ දී, දෙරටට එකිනෙකට වෙනස් සංවර්ධන ගමන් පථ තිබුණ ද, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ නැගී එන අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සම්බන්ධයෙන් දෙරටටම පොදු අභිලාෂ පවතින බව ඉන්දුනීසියානු තානාපතිනි සහ රාජ්‍ය තාන්ත්‍රික බලකායේ ප්‍රධානී දේවි ගුස්ටිනා ටොබින්ග් සඳහන් කළා ය.
ඇය මෙම අදහස් දැක්වීම සිදු කළේ පසුගියදා ටාජ් සමුද්‍රා හෝටලයේ පිහිටි 'කොළඹ ක්ලබ්' (Colombo Club)හි දී පැවැත්වුණු පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ලද තානාපතිවරුන් ගේ වටමේස සාකච්ඡාවේ දී සිය අදහස් දක්වමිනි.

ටොබින්ග්, ඇගේ දේශනයේ දී මූලික වශයෙන් ඉන්දුනීසියාවේ දිගුකාලීන ජාතික සංවර්ධන උපායමාර්ගය වන "ඉන්දුනීසියාවේ රන්වන් දැක්ම 2045" (Indonesia's Golden Vision 2045) පිළිබඳව කරුණු ඉදිරිපත් කළා ය.
පසුගිය රජයන් විසින් අනුගමනය කරන ලද දිගුකාලීන සංවර්ධන න්‍යාය පත්‍රය මත පදනම්ව, වත්මන් ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ (Prabowo Subianto) ගේ නායකත්වය යටතේ මෙම දැක්ම ක්‍රියාවට නංවන බව ඇය පැහැදිලි කළා ය.
ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ වුව ද 5% ක පමණ ස්ථාවර ආර්ථික වර්ධනයක්
වර්තමානය වන විට මිලියන 280 ඉක්මවන ජනගහනයක් සහ දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක දළ දේශීය නිෂ්පාදිතයක් (GDP) සහිත ඉන්දුනීසියාව, අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය ලෙස අඛණ්ඩව රැඳී සිටින බව තානාපතිනිය පෙන්වා දුන්නා ය. ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ වුව ද, කාර්මික සංවර්ධනය සහ යටිතල පහසුකම් ආයෝජනවල සහාය ඇතිව, මෑත වසරවලදී රට 5% ක පමණ ස්ථාවර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට සමත් වී ඇති බව ඇය අවධාරණය කළා ය.
'රන්වන් දැක්ම 2045' (Indonesia’s Golden Vision) ප්‍රධාන කුලුනු හතර
ඉන්දුනීසියාවේ 'රන්වන් දැක්ම 2045' (Indonesia’s Golden Vision) ප්‍රධාන කුලුනු හතරක් මත පදනම් වී ඇති බව තානාපතිනිය විසින් පෙන්වා දෙන ලදී. එනම්:
- මානව සංවර්ධනය සහ විද්‍යා හා තාක්ෂණ ප්‍රවීණතාව: සෞඛ්‍ය සම්පන්න, උගත්, නව්‍යකරණවලින් පිරි සහ තාක්ෂණික වශයෙන් දක්ෂ ජනගහනයක් ගොඩනැඟීම.
- තිරසාර ආර්ථික සංවර්ධනය: පාරිසරික තිරසාරභාවය සුරකිමින් ඉන්දුනීසියාව ඵලදායී, තරගකාරී සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම.
- සාධාරණ සංවර්ධනය: වැඩිදියුණු කළ සන්නිවේදනය, පොදු සේවා සහ සමාජ සහයෝගීතාවය තුළින් සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු කලාප සහ ප්‍රජාව අතර බෙදී යෑම තහවුරු කිරීම.
- ජාතික ඔරොත්තු දීමේ හැකියාව සහ යහපාලනය: ආයතන ශක්තිමත් කිරීම, පාලනය, නීති ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී පියවර සහ ආහාර, බලශක්තිය, ජලය, දේශගුණය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල ජාතික ඔරොත්තු දීමේ හැකියාව නැංවීම.
එමෙන්ම ඉන්දුනීසියාවේ උපායමාර්ගයේ ප්‍රධාන අංගයක් වන්නේ අගය එකතු කළ කාර්මිකරණය (downstream industrialization). බව ඇය පෙන්වා දුන්නා ය. එමගින් අමුද්‍රව්‍ය පිටරට පැටවීම වෙනුවට දේශීය වශයෙන් ඒවා සැකසීම සහ අගය එකතු කිරීම දිරිමත් කරනු ලබයි.
ඉන්දුනීසියාවේ අත්දැකීම් ශ්‍රී ලංකාවට ඇති අදාළත්වය
මේ සඳහා රටේ නිකල් (Nickel) කර්මාන්තය කැපී පෙනෙන උදාහරණයක් ලෙස ඇය සඳහන් කළා ය. එහි දී ලෝහ උණු කිරීම, බැටරි නිෂ්පාදනය සහ විද්‍යුත් වාහන (EV) සැපයුම් දාම ඇතුළත් ඒකාබද්ධ පරිසර පද්ධතියක් බවට එය පරිවර්තනය වී ඇති ආකාරය ඇය පෙන්වා දුන්නා ය. විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, කාර්මිකරණයට සහාය වීමට සහ ඉහළ වටිනාකමකින් යුත් ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට ඉන්දුනීසියාව සතු බහුල නිකල්, පාම් තෙල්, ගල්අඟුරු සහ රන් සංචිත උපයෝගී කර ගනිමින් පවතී.
ඉන්දුනීසියාවේ අත්දැකීම් ශ්‍රී ලංකාවට ඇති අදාළත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, දෙරටට වෙනස් සංවර්ධන ගමන් මඟක් තිබුණද, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ නැගී එන අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම යන කරුණුවලදී පොදු අභිලාෂයන් බෙදාහදා ගන්නා බවයි.
එනම්, ඉන්දියන් සාගරයේ පිහිටි රාජ්‍යයන් ලෙස, දෙරටම සන්නිවේදනය/සම්බන්ධතාව (connectivity) නැංවීම, වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම සහ කලාපීය ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි උනන්දුවක් දක්වන අතරම, ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවයක් සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අවස්ථා නිර්මාණය කරයි.
අප ගේ හවුල්කාරිත්වය ඉදිරි වසරවල දී තවදුරටත් ශක්තිමත් කරමු
ඇයගේ සමාප්ති අදහස් දැක්වීමේ දී, තානාපතිනි ටොබින්ග් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාවේ ඇති කැපවීම නැවතත් තහවුරු කළා ය.
"ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවේ හොඳ හවුල්කරුවෙක්," ඇය පැවසුවා ය. "ඉන්දුනීසියාව ලබා ඇති ප්‍රගතිය සහ අවස්ථා සහයෝගීතාව තුළින් බෙදා ගැනීමට අප කැමතියි. අප ගේ හවුල්කාරිත්වය ඉතා වැදගත් වන අතර ඉදිරි වසරවල දී එය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු."
මෙම සැසිය ආරම්භ කරමින්, පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දයාරත්න සිල්වා, ඉන්දුනීසියාවේ කැපී පෙනෙන සංවර්ධන ගමනේ වැදගත්කම සහ ගෝලීය දකුණේ රටවලට ඉන් ලබා දෙන වටිනා පාඩම් පෙන්වා දුන්නේ ය.
G20 සාමාජිකයෙකු ලෙස ඉන්දුනීසියාවේ නැගී සිටීම සහ කලාපීය හා ගෝලීය කටයුතුවලදී එහි වර්ධනය වන බලපෑම, එහි දිගුකාලීන සංවර්ධන සැලසුම්කරණයේ සාර්ථකත්වය පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය. ඔහු තවදුරටත් අවධාරණය කළේ (ASEAN) කලාපය තුළ ඉන්දුනීසියාවේ නායකත්ව භූමිකාව සහ ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) පිහිටුවීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වයයි.

