Language Switcher

V2025

ලංකාවට උදව් කරන්න : ජපානයෙන් සැලැස්මක් !

ජපානය ශ්‍රී ලංකා ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව මූලාශ්‍ර ත්‍රිත්වයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම පුවත් සේවය වාර්තා කළේ, එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

එසේ වුව ද අනෙක් සෑම සාකච්ඡාවකදී මෙන් මෙම සාකච්ඡාව පිළිබඳව ද අවිනිශ්චිතතාවන් ඇතැයි අදාළ මූලාශ්‍ර සඳහන් කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

නිදහසින් පසු මුහුණ පා සිටින දරුණුතම ණය අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදාගැනීමේ අරමුණින් ජපානය සියලු ණය හිමි රටවල් අතර සාකච්ඡා පැවැත්වීමට විවෘතව සිටින නමුත් ශ්‍රී ලංකාවේ ඉහළ ම ණය හිමියා වන චීනය ඊට සම්බන්ධ වන්නේ ද යන්න පැහැදිලි නැති බව එක් මූලාශ්‍රයක් සඳහන් කර තිබේ.

එම මූලාශ්‍රය සඳහන් කර ඇත්තේ, 2020 වසර අවසානය වන විට ද්විපාර්ශ්වික පදනම මත ලබා ගත් අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලංකාවේ ණය පියවීමේ ක්‍රියාවලිය වේගවත් කළහොත් චීනය සමග එවැනි රැස්වීමක මුලසුන දැරීමට ජපානය කැමැත්තෙන් සිටින බව ය.

ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ප්‍රධාන ණය හිමි රටවල්වලට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි.

ඔහු ප්‍රකාශ කර තිබුණේ, ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට ලබන මාසයේ ටෝකියෝ නුවරට ගිය විට අගමැති ෆුමියෝ කිෂිඩා සමග මෙම ගැටලුව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් බදාදා (අගෝ. 24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූයේ, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3ක IMF ආධාර වැඩසටහනක් අපේක්ෂා කරන බැවින්, ඩොලර් බිලියන 29ක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු මූල්‍යාධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා එදින ම ජපාන තානාපතිවරයා ද හමු වී තිබිණි.

රෝයිටස් පුවත් සේවය වාර්තා කළේ, ජපානය විශ්වාස කරන්නේ ණය දෙන්නන් පොදු මතයකට ගෙන ඒම සඳහා නව “වේදිකාවක්” අවශ්‍ය බව මූලාශ්‍රයක් ප්‍රකාශ කළ බව ය.

“ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම පැහැර හැර ඇති බැවින් කාලය අවසන් වෙමින් තියෙන්නේ. ප්‍රමුඛතාව වෙන්නේ ණය හිමි රටවල් ඵලදායි යෝජනා ක්‍රමයක් සඳහා එකඟ වීම යි,” තවත් මූලාශ්‍රයක් සඳහන් කර ඇත.

ජපානය සමුළුව පිළිබඳ අදහස ඉදිරියට ගෙන යාමට සූදානම් වුව ද එය ජපානයට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බව ත් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සහයෝගය එයට අත්‍යවශ්‍ය බව ත් අදාළ මූලාශ්‍රය පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයෙන්, ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විමසීමක් කර ඇතත් ඊට ප්‍රතිචාර නොලැබුණු බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරට ත් වාර්තා කර ඇත.

- mawbima