Language Switcher

V2025

43 වන සේනාංකයෙන් ළමා සංරක්ෂණ අධිකාරියට ඉල්ලීමක්

දිනෙන් දින වැඩි වන ළමා අපචාර හා ළමයින්ට එරෙහිව සිදුවන විවිධ හිංසන සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා 43 සේනාංකය විසින් අද දිනයේදී ළමා රක්ෂණ අධිකාරිය වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ දක්වන ලද අදහස් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා පොලීසිය විසින් තහවුරු කරන ලද කරුණු අනුව ශ්‍රී ලංකාව තුළ සෑම පැය 2කට වරක් ළමා අපචාරයක් සිදු වන බවට වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ලමයින්ගේ අනාරක්ෂිතභාවය වැඩිම රටවල් දහය ඇතුළත සිටිනවා. මෙම තත්ත්වය සදාචාර සම්පන්න රටක් විදිහට අපි ලැජ්ජා විය යුතු කාරණයක්. විශේෂයෙන්ම ළමා මෙහෙකාර සේවයේ යෙදවීම අපි හෙළා දකිනවා.

ශ්‍රි ලංකාව තුළ රැකියා 51 ළමුන් සඳහා නුසුදුසු යැයි නීති සම්පාදනය වී තිබුණත් ඒ තුළට මෙහෙකාර සේවය ඇතුළත්ව නැහැ. මෙම නීති සංශෝධනය විය යුතු බවට අපි යෝජනා කර සිටිනවා.

විශේෂයෙන්ම වතුකරයේ ජීවත් වන දරුවන්ගෙන් සියයට විස්සක් අධ්‍යාපනය නොලබන බවට වාර්තා වී තිබෙනවා. රට තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපිතව තිබුනත් එය ලබන්නට අවස්ථාවක් නොලැබෙන තවත් කොටසක් අප රට තුළ ජීවත් වන බව අපිට පේන්න තියෙනවා.

වතුකරයේ සහ පීඩිත පන්තියේ දරුවන්ට නිදහස අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නැද්ද? ඒ දරුවන්ගේ දෙමාපියන් ඔවුන්ට උගන්වන්න අකමැතිද? තමන්ගෙ දරුවන් ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන් නීතිඥවරුන් කරන්න ඒ අම්මල තාත්තල අකමැතිද?

වතුකරයේ සහ පීඩිත පන්තියේ අනෙක් දරුවන් ඉගෙන ගන්නවට වඩා ජීවත්වීමේ අර්බුදයේ නිරත වෙනවා. ඉංජිනේරු දොස්තර හීන පැත්තකින් තියලා තුන්වේල කන්න ක්‍රමයක් හොයන්න ඔවුන් වෙහෙසෙනවා. බුදුහාමුදුරුවෝ බඩගින්නේ හිටපු කිසි කෙනෙක්ට බණ කිව්වේ නැහැ.ඒ නිසා ඒ දරුවන්ට කුසට ආහාරයක් හොයාගන්න ක්‍රමයක් මුලින්ම හදන්න ඕනි.

ඊළඟට ඒ දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න තියෙන එකම ක්‍රමය වන අධ්‍යාපනයේ අයිතිය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දිය යුතුයි .

වතුකරයේ ජනතාවගේ ඡන්දය පමණක් බලාපොරොත්තු වන දේශපාලඥයින් ඡන්දයෙන් පස්සේ ඔවුන් ව අමතක කර දමනවා.

පාර්ලිමේන්තුවට පත් වූ පසු ඔවුන් සුඛෝපභෝගී ජීවිත කොළඹ ඉඳන් ගත කරන ගමන් ඡන්දය ගන්න විතරක් වතුකරයට යනවා. අපි දැක්කා පහුගිය දවස් වල ඉශාලිනි මියගිය පසු පක්ෂ පාට භේදයකින් තොරව ඒ සියලූ මහජන නියෝජිතයො බෝඩ් උස්සගෙන පාරට බැහැලා ඒ මලගම දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් කරගන්නවා.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනත මගින් ආරක්ෂක අධිකාරිය පිහිටුවීමේ අරමුණු වන්නේ ළමයින්ට එරෙහිව සිදුවන සියලූ ආකාරයේ අපරාධ නැවැත්වීම හා නියාමනය කිරීමයි.

එනිසා අපි අද ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලිපියක් බාර දී මෙම නීති සංශෝධනය විය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා දිනයක් වෙන්කර ගත් දෙන ලෙස ඉල්ලා සිටියා.

ළමයින් ආරක්ෂා කර ගැනීම ජාතික අර්බුදයක් වනවාසේම එම අර්බුදය ජයගත හැක්කේ සාමූහික සමාජ වගකීමකින් යුතුව ක්‍රියා කිරීමෙන් පමණක් බව අපි විශ්වාස කරනවා. 43වන සේනාංකය ලෙස අපි දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදත් හෙටත් ඉන් මතුවට කැපවී ක්‍රියා කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.

ඒවගේම දරුවන්ගේ අයිතිවාසිකම් පමණක් වෙනුවෙන් පෙනී සිටීමෙන් නොනැවතී මේ රටේ ලෙයින් කඳුළින් පන්නරය ලබන මිනිස්සුන්ට මේ රටේ ඉන්න හිතෙන රටක් කරන්න අපි කැප වෙනවා යැයි කියලා මේ වෙලාවේ ස්ථාන අධිෂ්ඨාන පූර්වකව ප්‍රකාශ කරනවා' යැයි 43 වන සේනාංකයේ නීතිඥ කණ්ඩායම වෙනුවෙන් නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මෙසේ අදහස් දැක්වීය.

07 i 1