Language Switcher

V2025

රටේ නිෂ්පාදනයට යොදවන්න තිබෙන මුදල් ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් අරගෙන - ජවිපෙ

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට නියමිත ඇති පසුබිමක රටේ නිෂ්පාදනය සඳහා යෙදවිය යුතු මුදල් ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් යොදවමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද (09) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජිකයින් වන වසන්ත සමරසිංහ සහ නලීන් හේවගේ යන අයද සහභාගී වූ අතර මාධ්‍ය හමුවේදී ඔවුන් පළකළ සම්පූර්ණ අදහස් මෙසේය.

“ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපේ රටේ ආර්ථිකය පිළිබඳව මේ වාර්තාවෙන් ඉදිරිපත් වෙන කරුණු ගණනාවක් තිබෙනවා. රටක් හැටියට අද වෙනකොට මුහුණ දීලා තියෙන බරපතළම තත්වය කොවිඩ්-19 වසංගතය. මේ හමුවේ ජනතාව බරපතළ පීඩාවකට ලක්වෙලා. වාර්තා වෙන ආකාරයට ආසියාවේ දෙවැනි තැනට වර්ධනය වීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා. නමුත් මේ තත්වය තුළත් ආර්ථිකය ඉදිරියට ගෙනයන්න සිදුවෙලා තිබෙනවා. අපි පහුගිය කාලයේ දිගින් දිගටම අවධාරණය කළේ අපේ ආර්ථික මට්ටම බරපතළ ලෙස පහත වැටෙමින් තියෙන්නේ කියලා. කොවිඩ් වසංගතය එන්න කලින් 2020 පළවැනි කාර්තුවේදීම -1.6ක මට්ටමට වැටුණා. දෙවැනි කාර්තුව වනවිට ඒක තවත් බරපතළ වුණා.

ආණ්ඩුව දිගින් දිගටම මතු කරන්නේ 2020 ආර්ථිකය වැටීමට ප්‍රධානම හේතුව කොවිඩ් වසංගය බවයි. මහබැංකු වාර්තාව එහෙම් පිටින්ම දක්වා තිබෙන්නෙත් ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතය බවයි. නමුත් ඇත්තටම කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටින්නේ දැන්. මහබැංකුව ඉදිරිපත් කරලා තියෙන තොරතුරු හා දත්ත විශ්ලේෂණය කරලා බැලුවම කොවිඩ් වසංගයට මුහුණ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. අවුරුදු 73ක් පාලකයන් මේ රට ගෙනැල්ල තියෙන තැන ආර්ථිකයක් ඉතිරි වෙලා තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. ලංකා ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් ඉන්නේ. ඒ වගේම බරපතළම වසංගත තත්වයකටත් මුහුණ දෙමින් ඉන්නේ. මහ බැංකු වාර්තාවෙන් කරුණු කාරණා සළකා බලන්න වෙන්නේ මේ පසුබිම තුළ.

සාමාන්‍යයෙන් අපේ රටේ ආර්ථික වර්ධනය දිගටම තිබුණා. නමුත් 1950න් පස්සේ 2020 වනවිට සෘණ ආර්ථිකයේ වැඩිම පංගුව වෙච්ච 3.6ක ප්‍රමාණය වාර්තා වෙනවා. 2019ත් එක්ක සැසඳීමේදී ඉතාමත් බරපතළ කඩා වැටීමක්. දැන් මේ තියෙන තත්වයත් එක්ක 2021 අවසානයේදී ඊටත් වඩා බරපතළ තත්වයකට පත්වීමේ ඉඩකඩ තියෙනවා. රජයේ ආදායම බරපතළ විදිහට අඩු වෙලා. ප්‍රදානයන් සහිතව රු. බිලියන 1373ක් ලැබිලා තියෙන්නේ. නමුත් රජය බිලියන 1588ක් බලාපොරොත්තු වුණා. මේ ආණ්ඩුව බලයට ආ ගමන්ම ලැබෙමින් තිබුණු බදු ආදායම් ගණනාවක් අයින් කර ගැනීම රජයේ ආදායම් අහිමි වීමට ප්‍රධානම හේතුව. රු. බිලියන 450ක පමණ බදු ආදායමක් ආණ්ඩුව අහිමි කරගත්තා. උපයන විට ගෙවීම් බද්ද, රඳවා ගැනීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, වැට් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද ආදී බදු අයින් කර දැමීමේ වාසිය ජනතාවට ලැබුණාද කියන ප්‍රශ්නය තියෙනවා. එහෙම ලැබුණා නම් 2020දී බඩුමිල අඩුවීමෙන්, සෞඛ්‍ය සේවය පැත්තෙන්, දුප්පත්කම තුරන් කිරීමේ පැත්තෙන් ජනතාවට ලැබිලා තියෙන්න ඕනෑ. නමුත් ජනතාවට ඒ සහනය ලැබිලා නැහැ.

ආණ්ඩුව හැමදාම කරපු ආකාරයට ගජමිතුරන් කිහිප දෙනෙකුට ඒ සහනය ලබාදීලා රජයේ ආදායමත් අහිමි කරගෙන. අවසානයේ ආණ්ඩුව බරපතළම වැරැද්දක් වියදම් සම්බන්ධයෙන් කර තිබෙනවා. මහබැංකු වාර්තාවේ වියදම බිලියන 3040ක් හැටියට සඳහන් කර තිබෙනවා. නමුත් 2019න් 2020ට අදාළ වියදම් ප්‍රමාණය අඩුවෙන් පෙන්වන්නේ. බිලියන 422ක වියදම් අඩුවෙන් පෙන්වා තිබෙනවා. ඒ ප්‍රමාණයත් එකතු වුණාම අයවැය පරතරය විශාල වෙනවා. මෙතෙක් ගිණුම්ගත කළ පදනම් වංචනික විදියට වෙනස් කරලා වියදම් පෙන්වලා. ඒ වගේම 2020න් ඉදිරි අවුරුද්දට යන වියදම් පෙන්වලා නැහැ. 2020 ඇත්ත වියදම් අඩුවෙන් පෙන්වපු නිසා අයවැය හිඟය -11.1කට සීමා කරලා තියෙනවා. නමුත් ඇත්ත ප්‍රමාණය අයවැය හිඟය -14 දක්වා ඉහළ යනවා. එහෙම බැලුවාම ලංකා ඉතිහාසයේ අවුරුදු 38කට පස්සේ වැඩිම අයවැය හිඟය 2020දී පෙන්වනවා. එක පැත්තකින් අඩුම ආදායම් ලබන, අනික් පැත්තෙන් වැඩිම අයවැය පරතරයක් තියෙන, ඉතිහාසයේ වැඩිම සෘණ ආර්ථික වර්ධනය ආදී වශයෙන් 2020දී ආර්ථිකය පත්වී තිබෙනවා. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%යි. මෙතෙක් ඉතිහාසයේ අඩුම ආදායම් පෙන්වන්නේ මේ සංඛ්‍යාවෙන්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සෞභාග්‍යයේ දැක්ම ගෙනැල්ලා කීවේ වියත් මග වගේ අයගෙන් උදව් අරගෙන දැනුමේ ආර්ථිකයක් හදනවා කියලා. කෘෂි ආර්ථිකය ශක්තිමත් කරනවා, නිෂ්පාදනය වැඩි කරනවා කියලා. නමුත් ඒ හැම අංශයක්ම කඩා වැටිලා. ඊට හේතුව වසංගතය පෙන්නුවාට මෙතෙක් ගෙනියපු ආර්ථික උපාය මාර්ගයේ වැරැද්ද. ආණ්ඩුව 2020ට අදාළ අයවැය ඉදිරිපත් කරද්දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9ක් අපේක්‍ෂා කළා. නමුත් 2020දී 11.1 දක්වා වැඩිවීම ගැනවත් දකින්න හැකියාවක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා මහ බැංකුවටම ඔප්පු කරන්න සිද්ධ වෙලා තිබෙනවා ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වගේම ඉදිරි දැක්මත් නිවැරදි නැහැ කියලා. අපි දිගින් දිගටම රට ණය උගුලක හිර කරන බව පෙන්වා දුන්නා. මේ මහබැංකු වාර්තාව එය තව දුරටත් ඔප්පු කරලා තියෙනවා.

රජයේ සමස්ත නොපියවූ ණය 2019දී බිලියන 14,155යි. 2020 වනවිට බිලියන 16,427ක් බවට පත්වෙලා. මධ්‍යම රජයේ ණය පමණක් බිලියන 15,000ක්. රජයේ අනෙකුත් ආයතනවල ණය සහ ඇපකරත් එක්ක බිලියන 16,427ක් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත පමණක් බිලියන 2272කින් රටේ ණය පංගුව වැඩි කරලා තියෙනවා. 1948 ඉඳලා 2005 දක්වා දිගටම ගත් ණයවල එකතුව බිලියන 2226යි. ඛේදවාචකයේ තරම පැහැදිළි වෙන්නේ 2020දී පමණක් බිලියන 2272ක ණය ගැනීමෙන් පැහැදිළි වෙනවා. රටේ ජනතාව පැයකට රු. කෝටි 25ක් ණයකරුවන් බවට පත්කරන ආණ්ඩුවක් තියෙන්නේ. රජයේ ආදායමට වඩා අවුරුද්දකදී ලබා ගන්නා ණය වැඩි වෙලා. ආණ්ඩුව විශාල වශයෙන් ණය අරගෙන තියෙන්නේ වානිජ බැංකුවලින්. රටේ නිෂ්පාදනය සඳහා යොදවන්න තිබෙන මුදල් ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව අරගෙන තිබෙන්නේ මොන සංවර්ධන උපායමාර්ගයක්ද? මහ බැංකු වාර්තාව 194වැනි පිටුවේ මේ බවට හොඳ උදාහරණයක් තියෙනවා.

2020 වසර තුළදී රජය වෙත සපයන ලද ශුද්ධ ණය රු. බිලියන 1752කින් ඉහළ ගියේය. මහබැංකුව සහ වානිජ බැංකු පමණක් රජයට දී තිබෙන මුදල 2019දී බිලියන 2795ක් ගන්නකොට 2020දී බිලියන 4548ක් අරන් තියෙනවා. බිලියන 1700කින් ශුද්ධ ප්‍රමාණයේ ණය වැඩිවෙලා තියෙන්නේ මේ විදිහට. ඒකෙන් බිලියන 654ක්ම සල්ලි අච්චු ගහලා. රටේ ජනතාවට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන්න තියෙන මුදල් රජයේ කටයුතු සඳහා ලබාගෙන. දේශීය වශයෙන් ණය පංගුව වැඩිකරගන්න අතර විදේශ සංචිතයත් අඩුකරගෙන. විදේශ රටවල්, විදේශ ණය දෙන ආයතන අප රට සම්බන්ධයෙන් තීරණ ගන්නේ විදේශ සංචිත ප්‍රමාණය මත. අපි බරපතළ ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව අපි දිගින් දිගටම අනතුරු ඇඟවූවා. විදේශ සංචිතය 2019දී ඩොලර් මිලියන 7642ක් තිබිලා 2020 අවසන් වනවිට ඩොලර් මිලියන 5674ක් දක්වා අඩුවෙලා. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස 04 තුළදී මේ තත්වය ඩොලර් බිලියන 04ක් දක්වා අඩුවෙලා.

ආණ්ඩුව ඉදිරි අවුරුද්ද සඳහා ඩොලර් බිලියන 6.9ක විදේශ ණය ගෙවන්න ඕනෑ. ලබන ජූලි මාසයේ 27වැනිදාට ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවන්න ඕනෑ. මේ ණය ගෙවන්නේ කොහොමද? රට ඉතාම බරපතළ ආර්ථික ඛේදවාචකයකට ලක් කරලා තියෙන්නේ. ආණ්ඩුව ආර්ථිකය හදන්න හිතලවත් තියෙන බවක් අපිට පෙන්නේ නැහැ. ජනතාවත් එක්ක, නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක, කර්මාන්තත් එක්ක බද්ද වෙච්ච වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මෙතෙක් කරගෙන ආ ආකාරයටම රටේ සම්පත් විකිණීමේ ගමන ඇරෙන්න වෙන මාර්ගයක් පෙන්වලා නැහැ. ඒ නිසයි පෝට් සිටිය සම්බන්ධ මාතෘකාව ඉස්සරහට අරගෙන තියෙන්නේ. වානිජ බැංකුවල වත්කම් ආණ්ඩුවට ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් මේ රට ගොඩගන්න බැහැ කියන එක මේ මහ බැංකු වාර්තාවෙනුත් පැහැදිලි වෙනවා. අපි පහුගිය කාලයේම රටට ඉදිරිපත් කළ තොරතුරු මහ බැංකු වාර්තාවේ දත්තවලින් පවා තහවුරු කර තිබෙනවා. “

“අධිවේගයෙන් ජනතාව කනත්තට යවන ආර්ථිකයක් - වසන්ත සමරසිංහ

Wasantha Samarasingha 1ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත් වහාම ක්‍රියාත්මක කළ ආර්ථික තීන්දු-තීරණ ක්‍ෂේත්‍ර ගණනාවකින්ම අර්බුදය උග්‍ර කර තිබෙනවා. ආදායම් අහිමිවීම, ණය පංගුව වැඩිවීම, මූලික කරගෙන විවිධ දත්ත දැන් ඉදිරිපත් වෙනවා. ලෝකයක් එක්ක අපි ගනුදෙනු කරද්දී දැනට පවතින තත්වය විශේෂයෙන් වැදගත් වෙනවා. කොවිඩ් තත්වය තුළ දේශීය නිෂ්පාදන ඉහළ දාන්න කහ ටික ගෙන්වන එක නවත්වපු ආණ්ඩුව වරාය 85%ක් ඉන්දියාවට දෙන්න කැබිනට් පේපර් දානවා. මහබැංකු වාර්තාවලට අනුව කර්මාන්ත ක්‍ෂේත්‍රය 6%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටිලා. මේ සමග අපේ අපනයන අඩුවෙනවා. අපනයන අඩු වෙනවාත් සමගම ආනයන සීමා කිරීම සඳහා ආණ්ඩුව විවිධ තහංචි පැනෙව්වා. වෙළඳ ගිණුමට තහංචි පනවන ආණ්ඩුව සේවා ගිණුමට තහංචි පැනෙව්වේ නැහැ. මේ නිසා කොටස් වෙළඳපොළ ඇතුළේ තිබුණු විදේශ ආයෝජකයෝ කොටස් විකුණලා මුදල් අරගෙන ගියා. විදේශ සංචිත ගලා යාමටත් මේක හේතු වුණා.

විශේෂයනේ 2019 සමග සන්සන්දනය කරද්දී 2020දී ආනයන පහත වැටිලා. ඒ වගේම අපනයනත් පහත වැටිලා. 2019දී ආනයන වියදම ඩොලර් මිලියන 19,937යි. ඒ අවුරු්දදේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,900කට ආසන්න ප්‍රමාණයක්. 2020දී ආනයන වියදම ඩොලර් මිලියන 16,055ක් දක්වා පහත බැහැලා. අපනයන ආදායම ඩොලර් මිලියන 10,047 දක්වා පහත බැහැලා. වෙළඳ ගිණුමේ පරතරය ඩොලර් මිලියන 6.048ක්. මේ ඩොලර් මිලියන 6,048 විදේශ රැකියා කරන අය එවන සල්ලිත් සේවා ගිණුමේ කොටසක් එකතු වෙලත් පියවා ගන්නවා. ආනයන අඩු කරන්න ගත් ක්‍රියාමාර්ගයෙන් වැඩිම ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ තෙල් ආනයන වියදම අඩුවීමෙන්. කොවිඩ් නිසා රටේ නිෂ්පාදන බිඳ වැටෙද්දී ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටිලා මේ වියදම අඩුවුණා. තෙල් බැරල් එක ඩොලර් 17කට වගේ පහත බැස්සා. ආනයන වියදම අඩු වීමට තෙල් මිල පහත යාමේ වාසිය විශාල වශයෙන් බලපෑවා. වාහන ගෙන්වීම නැවැත්වීමෙන් ඩොලර් මිලියන 533ක් ඉතිරි කරගෙන තිබෙනවා.

හැබැයි මේ ඉතිරිකරගත් සල්ලි රටට ඉතිරි වුණාද? ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? ආණ්ඩුවේ ගජ මිතුරන් එක්ක ජාවාරම් කරගෙන යනවා. මහ බැංකු වාර්තා අනුව පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම් 8.9%කින් වැඩිවෙලා. ඩොලර් මිලියන 1554කින් වැඩිවෙලා. තෙල් සහ මේද වර්ග, සීනි සහ කිටිපිටි වියදම් වැඩිවෙලා. පොල් තෙල්, සීනි, මෙතැනට ඇවිල්ලා තියෙනවා. 2019 හා සන්සන්දනය කරද්දී සීනි ගෙන්වීම 37.7%කින් වැඩි කරලා. බදු සහන අරගෙන සීනිවලින් ගහපු ගැහිල්ල මහ බැංකු වාර්තාවෙනුත් හෙළි වෙනවා. 2020 විතරක් සීනි ගේන ප්‍රමාණය 38%කින් වැඩි වෙන්නේ කොහොමද? මහා භාණ්ඩාගාරය ඉතිරි වෙන්න තියෙන සල්ලි ටික ජාවාරම්කාරයෝ කොල්ල කාලා තියෙන්නේ මෙහෙම. අපි අපනයන ආදායම් වැඩි කරගන්න ගත්තු උත්සාහයන් මොනවාද? අපි වැඩිපුරම භාණ්ඩ ගේන්නේ චීනයෙන්. 2020දී ඩොලර් මිලියන 3569ක බඩු ගෙන්වලා අපනයනය කරලා තියෙන්නේ ඩොලර් මිලියන 225ක. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 3500කට ආසන්න ආනයන වියදමක් දරලා ඩොලර් මිලියන 606ක භාණ්ඩ අපනයනය කරලා. අද ආර්ථිකමය ලෙස වෙළඳ ශේෂයේ සැලකිය යුතු බලපෑමක් ඉන්දියාව සහ චීනය සිදු කරනවා. මේ නිසා චීනය සහ ඉන්දියාව පෝට් සිටියට, හම්බන්තොට වරායට, ත්‍රිකුණාමල තෙල් ටැංකි ටිකට ආදී සියල්ල ආර්ථික සහ දේශපාලනය එක්ක ගැට ගැසී තිබෙනවා. චීනය සෘජු බලපෑම් කරන්න සමත් වෙලා තියෙන්නේ මේ නිසා. අපි අවුරුද්දකට ඩොලර් මිලියන 300ක විතර පොල් තෙල් ගේනවා. මේ අනුව අපි විදේශ වෙළඳාමේදී යහපත් තැනක නෙවෙයි ඉන්නේ.

කර්මාන්ත ක්‍ෂේත්‍රය 6%කින් බිඳ වැටීම හරහා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ නිසා විශාල පිරිසකට යැපුම් මාර්ග අහිමි වෙලා. රැකියා අහිමි වෙන අයට ජීවත් වෙන්න වැඩපිළිවෙළක් ආණ්ඩුව හදලා නැහැ. කෝකටත් තෛලය විදිහට කොවිඩ් තත්වය පාවිච්චි කළාට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහ ආණ්ඩුව කීවේ “අපි තමයි හොඳටම කළේ” කියලා. අද වෙනකොට 789 දෙනෙක් කනත්තට අරන් යන තැනට හොඳටම කළමණාකරණය කරලා. දවසට 2,000කට ආසන්න පිරිසක් ආසාධිතයෝ වාර්තා වෙනවා. බොහොම අමාරුවෙන් 2,000 පන්නන්නේ නැතිව ඉන්න කළමනාකරණය කරනවා කියලත් අපිට දැනෙනවා. ඉස්පිරිතාලවල ඇඳන් ටික හදාගන්නේ නැතිව අධිවේගී මාර්ගවලට මුල්ගල් තියනවා. රටේ මූලික වශයෙන් ජනතාව ජීවත් කරවන අධිවේගයෙන් රෝහල් හදන්න ඕනෑ. හැබැයි අධිවේගයෙන් පාරවල් හදන්නේ ජනතාවත් කනත්තට යවන්න. හොඳම කළමනාකරණය ඒක.

මේ නිසා සීනි වංචාව ගැන, විෂ පොල්තෙල් ගැන දැවැන්ත පරිසර විනාශය ගැන, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හැංගූ වාර්තාව ගැන, හොරු නිදහස් කරන කොමිෂන් ගැන ආදී වශයෙන් සාකච්ඡා ගණනාවක් සමාජයේ තිබුණා. මේ සියල්ල අද කළමනාකරණය කරලා අද මිනිස්සු ජීවිතය බේරා ගැනීමේ සාකච්ඡාව ඉස්සරහට ගෙනත් තිබෙනවා. රෝගය පැතිරීමේ වේගය හා සමානවම ආර්ථිකය අර්බුදයට වැටීමේ මාර්ගයේ ඉන්නවා. ත්‍රිපෝෂ පැකට් එක නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව වහලා මාසයක් වෙනවා. හැබැයි හොඳටම කළමනාකරණය කලාලු. අද අපේ රටේ මිනිස්සු ජීවත් වීමේ තීරණය ගැනීම දක්වා තල්ලු කරලා තියෙන්නේ. මේ බරපතල ව්‍යසනය ගැන මාස 2කට කලින් දැකලත් රෝගය පැතිරෙන්න දීලා ආණ්ඩුව බලා හිටියා. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෝ ගැන දැනගෙන ආණ්ඩුව බලා හිටියා වගේ අද කොවිඩ් පැතිරෙනවා කියලා මාස දෙකකට කලින් දැනගෙන ඉඳලත් වළක්වන්න ක්‍රියා කළේ නැහැ. මිනිස්සු කනත්තට දක්කලා ආණ්ඩුව බලා ඉන්නවා.

දෙවන එන්නත ගන්න නොහැකිව ලක්‍ෂ 06ක් බයේ ඉන්නවා. මේ අයගේ මූලික අයිතිවාසිකම් ආණ්ඩුවෙන් කඩ කරලා. මේ අය ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න කල්පනා කරමින් ඉන්නවා. තමන්ට ලැබෙන්න ඕන එන්නත ලැබෙන්නෙත් නැහැ. වෙන එකක් විදගන්නත් බැහැ. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයත් කොවිඩ් කලමනාකරණයත් දෙකම එක වගේ. ආර්ථිකයත් විනාශ කරලා කොවිඩ් රට ඇතුළේ පතුරුවලා මිනිස් ජීවිත අධිවේගයෙන් කනත්තට දක්කන ආණ්ඩුවක් බවට පත් වෙලා ඉන්නේ. අධිවේගී මාර්ගවලට මුල් ගල් තියලා සාක්කුවට කොමිස් වැටුණාට රෝහල්වලට මුල්ගල් තියලා මිනිස් ජීවිත ඉතිරිකර ගන්න පුළුවන්. නමුත් සාක්කුවට කොමිස් දාගන්න අධිවේගී මාර්ග කල් දාලා රෝහල්වල ඇඳන් වැඩිකරලා සෞඛ්‍ය පහසුකම් වැඩි කරන්න ආණ්ඩුවට බල කරනවා. එන්නත විදගන්න බැරිවූ නර්ස්ලා කොවිඩ් වාට්ටුවල වැඩ කරනවා. අලුතින් පත්වීම් ලැබුණු අය මේ අතර ඉන්නවා. ආර්ථික කලමනාකරණය ඇතුළේ සියල්ල බිඳ වැටුණු ආණ්ඩුව මිනිස්සුන්ගේ ජීවිත වේගයෙන් කනත්තට යන්න ඇරලා. අපි ජනතාවට කියන්නෙ ඔබ පරිස්සම් වෙන්න. කොවිඩ් අවදානම රට පුරා පැතිරිලා තියෙන්නේ ආණ්ඩුව සංවිධානාත්මකව ක්‍රියා නොකිරීමෙන්. ඒ නිසා ජන ඝාතක ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙන්නේ.

“ධනවාදය තව දුරටත් ගැසට්වලින් පාලනය කරන්න බැහැ…” නලින් හේවගේ

ජනතා විමුක්ති පෙරමුණ අපේ ආර්ථිකයේ අර්බුද පහක් හඳුනාගෙන තිබෙනවා. ණය අර්බුදය, වෙළඳ හිගය, නිෂ්පාදනය කඩාගෙන වැටීම, රාජ්‍ය ආදායම අඩුවීම සහ ආදායම් බෙදී යාමේ දැවැන්තNalin Hewage 2 විෂමතාවය වශයෙන්. මහබැංකුව වාර්තාව ඇසුරෙන් මේ අර්බුද පහ තහවුරු කරන්න ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මහ බැංකුවටත් ආණ්ඩුවටත් අපි ස්තුතිවන්ත වෙනවා.

රටේ නිෂ්පාදනය දීර්ඝ කාලයක් කඩා වැටීමක තියෙන්නේ. ආණ්ඩු බලයට එන්නේ නිෂ්පාදනය ඉහළ දමන බව කියලා. රට වගේ අට ගුණයක් විශාල මහ මුහුදක් තියාගෙන 2020දී විතරක් රු මිලියන 34,650ක මාළු ආනයනය කර තිබෙනවා. හදපු නිෂ්පාදනය කොහෙද කියලා අපි අහනවා. 2010දී රටේ අවශ්‍යතාවයෙන් 27%ක් ලූනු නිෂ්පාදනය කළා. දැන් හදන්නේ 8%යි. 92%ක් පිට රටින් ගෙන්වන්න සිද්ධ වෙලා. කෝටි 2761ක ලුනු ගෙනැල්ලා. කිරි හා කිරි නිෂ්පාදන රු. කෝටි 6193ක ගෙනැල්ලා. 2010දී මිලියන 1.5ක ගවයන් ඉඳලා තියෙනවා. හැබැයි 2019 අවසාන වනවිට මිලියන 1.4කට අඩු වෙලා. ගව සම්පත වැඩි කරලා නැහැ. එද පෙරදිග ධානයාගාරය කියපු අපේ රටට පහුගිය අවුරුදු පහේදී කෝටි 6,876ක හාල් ගෙනල්ලා. රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් අත්‍යාවශ්‍යම ආහාර ද්‍රව්‍ය ටිකට විතරක් කෝටි 15,000ක් විතර වියදම් කරලා.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අනුරාධපුරයේදී ඡන්ද පොරොන්දුවක් දුන්නේ නොමිලයේ පොහොර දෙනවා කියලා. නමුත් 2020දී ලංකාවට එළවලු විතරක් මෙ.ටොන් 716,694ක් ගෙනල්ලා. ඒ ටිකට විතරක් කෝට් 6528ක් වියදම් කරලා. රත්නපුර අධිවේගී මාර්ගයට වියදම් වෙන්නේ කෝටි 5.000යි. හැබැයි ලංකාවට එළවලු ගේන්න විතරක් කෝටි 6528ක් වියදම් කරනවා. අඩුම ගානේ රටට අවශ්‍ය එළවලු ටික නිෂ්පාදනය කරන්න ගොවියාව යොමු කරවන්නේ නැහැ. රටින් ආනයනය කරනකොට ඇමතිවරුන්ගේ සාක්කුවලට සල්ලි එනවා. ඒ නිසා දේශීය නිෂ්පාදන කඩා වැටෙන්න ඇරලා. 2020දී එළවලු සහ මාලු ගෙන්වන්න විතරක් කෝටි 9,993ක් වියදම් කරලා. මේ සල්ලි ඉතිරි කරගන්න පුළුවන්නම් ලංකාවේ සෑම පාසැලකටම අවුරුද්දකට රු. කෝටිය ගානේ වියදම් කිරීමේ හැකියාව තියෙනවා.

ආර්ථිකයේ කඩා වැටීම කොවිඩ් නිසා වුණා කියලා ආණ්ඩුව කියනවා. නමුත් ධනවාදී ලිබරල් ආර්ථිකය දැන් තියෙන්නේ මරණ වංචකයේ. පහුගිය ආණ්ඩු දෙකම අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මේ තත්වය ඇතිවී තිබෙනවා. දිගටම ආර්ථික වර්ධන වේගය පහත වැටී දැන් සෘණ වෙලා තියෙනවා. ප්‍රධාන ආර්ථික දර්ශක 30ක් ගත්තොත් එයින් 25ක් විතර තියෙන්නේ දැවැන්ත කඩාවැටීමක. උදාහරණයක් හැටියට රටේ ණයබර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 2019දී 80%යි. 2020දී 101%යි. රුපියලක් හොයනකොට රුපියල් 1.10ක ණයක් තියෙනවා. විරැකියාව වැඩිවෙලා. ආදායම් බෙදී යාමේ විෂමතාවය වැඩිවෙලා. ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩිවෙලා. රුපියල් අවප්‍රමාණය වීමෙන් විතරක් 2017දී කෝටි 103,000කින් ණය බර වැඩිවෙලා. මේ මුදල වැඩිවුණේ ණය ගැනීමෙන් නෙවෙයි. රුපියල අවප්‍රමාණයෙන් විතරයි. කියුබාවේ ආර්ථිකය ගොඩනගලා පෙසෝ එක ඩොලර් එකට සාපේක්‍ෂව ශක්තිමත් කරගත්තා.

තව පැත්තකින් දැවැන්ත ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තිබෙනවා. 2020දී එක් පුද්ගල ආදායම රු. 61,000කට ආසන්න මුදලක් වෙන්න ඕනෑ. පවුලේ පස් දෙනා නම් ලක්‍ෂ 03ක්. හැබැයි ඒ මහබැංකු වාර්තාවේම සඳහන් කරනවා ජනගහනයෙන් 42%කගේ ආදායම ඩොලර් 02කට වඩා අඩුයි කියලා. ඒ කියන්නේ දවසක ආදායම රු. 400ට අඩුයි. මේ වගේ දැවැන්ත විෂමතාවයක් තිබෙනවා. ඉන්දියාවේ හිටිය ශ්‍රේෂ්ට ආර්ථික විද්‍යාඥ අමර්ක්‍යාසෙන් කියලා. ඔහු කියන්නේ අදෘෂ්‍යමාන වෙළඳ බලවේග විසින් හසුරුවන රටක දෘෂ්‍යමාන රජය මැදිහත්වී හසුරුවනවා නම් ධනවාදයෙන් වුණත් මීට වඩා ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා. හැබැයි ලංකාවේ ආණ්ඩුවට මේක කරන්න ක්‍රම දෙකක් නිසා බැහැ. එක, ධනවාදයට වෙළඳපොළ පාලනය කරන්න බැහැ. හාල්වලට විතරක් බන්දුල ගුණවර්ධන ගැසට් 05ක් ගැහුවා. එළවලුවලට ගැසට් ගැහුවා. පොල්තෙල්වලට ගැහුවා. සීනිවලට ගැහුවා. ව්‍යාපාරිකයෝ මේවා ගණන් ගන්නේ නැහැ. ආණ්ඩුවෙන් වෙළෙන්දන්ව පාලනය කරන්න බැහැ. ධනවාදය තව දුරටත් ගැසට්වලින් පාලනය කරන්න බැහැ කියලා මෙයින් පැහැදිලි වෙනවා.

දෙවැනි කාරණය ආණ්ඩුවට මේ තත්වය පාලනය කරන්න නම් රජයේ ආදායම් තියෙන්න ඕනෑ. සුභසාධන අවශ්‍ය අයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පහළ ආදායම් ලබන ජනතාවගේ ජීවත්වීම තහවුරු කරන්න රජයේ ආදායම් අවශ්‍ය වෙනවා. 1977 දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රජයේ ආදායම 27%ක් වුණා. මේ වෙනකොට එය 9.1කට කඩා වැටිලා. ඉතා කුඩා ආදායම් ප්‍රමාණයක් තියාගෙන ජනතා සුභසාධනය සලකන්න බැහැ. ආණ්ඩුව බලයට පත්වෙද්දී දුප්පත් ජනතාව ගැන විශාල වශයෙන් කතා කළා. හැබැයි මේ වෙද්දී සමෘද්ධි ලබන පවුල් ප්‍රමාණය 2019දී 1,800,132ක් මහබැංකු වාර්තාවට අනුව ඉන්නවා. හැබැයි 2020දී 1,770,086යි. සමෘද්ධි පවුල් 31,000ක් දක්වා අඩු කරලා. ඒ එයාලගේ ආර්ථිකය හැදිලා නෙවෙයි. පහුගිය අවුරුද්දට බිලියන ගණනක් බෙදුවේ එයාලගේ ආර්ථිකය හොඳ නැති නිසා. අපි ගෝඨාභය මහත්තයාගෙන් අහනවා, සමෘද්ධි පවුල්වල සහනය කපන්න හේතුව මොකක්ද කියලා?

ජනතාවගේ දුප්පත්කම නිසා පෝෂණ දීමනාවක් දුන්නා. 2019දී 300,246කට මේ ප්‍රතිලාභ දීලා. 2020දී 238,034කට අඩු වෙනවා. 62,212ක් මේ අය කපා දමලා. සමෘද්ධිය දීපු අයත් පෝෂණ දීමනාව දීපු අයත් ලක්‍ෂයකින් විතර කප්පාදු කරලා. රැකියා ලක්‍ෂයක් දෙන බව ආණ්ඩුවෙන් කියනවා. හැබැයි අනෙක් පැත්තෙන් දුප්පතුන් ලක්‍ෂයකට ලබාදුන් අවස්ථා අහිමි කර ඇති බවත් මහබැංකු වාර්තාවෙන් හෙළි වෙනවා. ඒ වගේම වේගයෙන් ඇඳන් හදන බව ආණ්ඩුව කීවත් සෞඛ්‍ය මුදල් ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරලා. මහබැංකු වාර්තාවේ 99වැනි පිටුවේ රෝහල්වල ඇඳන් ප්‍රමාණය 2019ට වඩා 2020දී 843කින් අඩු කරලා. කොවිඩ් තත්වය යටතේ වැඩි කරනවා වෙනුවට ඇඳන් වගේම හෙද කාර්ය මණ්ඩලයත් 2019ට වඩා අඩු කරලා. එය 642ක් අඩුවෙලා. කොවිඩ් තත්වය තුළත් මෙහෙම නම් ආණ්ඩුවේ දැක්ම මොකක්ද කියලා අපි අහනවා. වඳුරෝ කූඩු හදන්නා වගේ එන එන හැටියට ගහ උළුවස්සා කියන ප්‍රතිපත්තියක ආණ්ඩුව ඉන්නේ. දේශීය නිෂ්පාදනය වර්ධනය කරනවා කියලා බලයට ආවට මහබැංකු වාර්තාවලින් පැහැදිලි වෙන්නේ බිඳ වැටීමේ ප්‍රමාණයන්.

තව පැත්තකින් ජනතාව මත විශාල බදු ප්‍රමාණයක් පනවා තිබෙනවා. සෘජු බදු 40%ක් වක්‍ර බදු 60%ක් කරන බව ආණ්ඩුව කීවා. නමුත් අද වෙලා තියෙන්නේ වක්‍ර බදු 80%ක් විතර අය කරනවා. ජනතාව කන බොන ආහාර මත මේ තරම් බදු ප්‍රමාණයක් පනවා තිබෙන එකම රට ලංකාව. ඉන්දියාවේ වක්‍ර බදු 49%යි. ඉන්දුනීසියාවේ 50%ක්, තායිලන්තයේ 40%ක් වගේ වක්‍ර බදු තියෙන්නේ. හැබැයි ලංකාවේ වක්‍ර බදු ප්‍රමාණය 80% ඉක්මවලා සෘජු බදු අය කරන්නේ 20%ක් විතර. මේ ආකාරයට විශාල බදු බරකුත් ජනතාව මත පටවා ඇති බවයි මේ මහබැංකු වාර්තාවෙන් පැහැදිළි වෙන්නේ. ආණ්ඩුව ගෙනියන ආර්ථික ප්‍රතිපත්තියෙන් රටත් ජනතාවත් තව දුරටත් අගාධයට ගෙන යමින් ඉන්න බව පැහැදිලි වෙනවා.