Language Switcher

V2025

වෘෂණ කෝෂ පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම කළ හැකි ද?

වෘෂණ කෝෂ අලෙවි කළ හැකි ද? නැති නම් විශාල මිලකට මිලදී ගන්නවාද ?එසේත් නැති නම් පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂ තවත් පුද්ගලයෙකුට බද්ධ කළ හැකි ද?

මේ පිළිබඳ සංවාදත්මක තත්ත්වයක් නිර්මාණය වූයේ බොරැල්ලේ පෞද්ගලික රෝහලක එවැනි සැත්කම් කරන බවට පුද්ගලයෙකු කළ හෙළිදරව්වක් නිසාවෙනි.

වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්‍ෂ 70ක මිලක් ලබාදෙන බව තැරැව්කරුවෙකු ප්‍රකාශ කළ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණේ ය.

වෘෂණ කෝෂ බද්ධ කළ හැකිද?

වකුගඩු, අක්මා, ඇස්, ඇටමිදුළු බද්ධ කිරීම් සුලබවුවත් වෘෂණ කෝෂ බද්ධ කළ හැකි ද යන්න සංවාදයට ලක්වන්නේ එය ඉතාම විරලවීම හේතුවෙනි.

වෛද්‍ය ඉතිහාසය සලකා බැලීමේ දී ජාත්‍යන්තර ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් 2019 වසරේ දී සර්බියාවේ බෙල්ග්‍රේඩ්හි කරන ලද පැය හයක ශල්‍යකර්මයක් මඟින්, වෘෂණ කෝෂ නොමැතිව උපත ලැබූ 36 හැවිරිදි පුද්ගලයෙකුට ඔහුගේ නිවුන් සහෝදරයෙකුගෙන් ලබාගත් වෘෂණ කෝෂයක් බද්ධකර තිබේ.

ශල්‍ය වෛද්‍යවරු පූර්ණ වෘෂණ කෝෂ ක්‍රියාකාරීත්වයක් සහිත පිරිමි නිවුන් දරුවෙකුගේ වෘෂණ කෝෂයක්, ඒවා නොමැතිව උපන් ඔහුගේම නිවුන් සහෝදරයාට බද්ධ කළහ.

ශල්‍යකර්මයෙන් පැය දෙකක් ඇතුළත පරිත්‍යාගශීලියා සහ ලබන්නා යන දෙඅංශයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සාමාන්‍ය විය. ලබන්නාගේ ශුක්‍රාණු ගණන සහ චලනය ද සාමාන්‍ය මට්ටමට ළඟාවූ බව වෛද්‍යවරුන් අනාවරණය කර තිබුණි.

ජාත්‍යන්තර වාර්තා සලකා බැලීමේ දී මානව වෘෂණ කෝෂ බද්ධ කිරීමේ පළමු වැන්න 1978 දී වාර්තා වෙයි.

සතුන් යොදාගෙන සිදුකළ අධ්‍යයනයක දී වෘෂණ කෝෂ සහ ඩිම්බකෝෂ තැන්පත් කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක වී ඇතත්, මිනිසුන් තුළ බද්ධ කිරීම් පර්යේෂණාත්මක හා අවදානම් තත්ත්වයක පවතියි.

ශල්‍යකර්මය සඳහා ඉතා විශේෂිත වූ ක්ෂුද්‍ර ශල්‍ය සහ ශිල්පීය ක්‍රම අවශ්‍යවනු ඇත.

මෙවැනි බද්ධ කිරීම් ශ්‍රී ලංකාවේ සිදුකළ හැකි ද?

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, “ඇතැම් මාධ්‍ය මඟින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් පිළිබඳව ද අසන්නට ලැබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස එවැනි බද්ධ කිරීම්වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැහැ. එමෙන්ම සායනික වශයෙන් හෝ පර්යේෂණාත්මක වශයෙන් එවැනි බද්ධ කිරීම් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යි,” කියා සිටියේ ය.

වෘෂණ කෝෂයක් හෝ වෙනත් අවයවයක් විකිණීම ඇමරිකා එක්සත් ජනපදය තුළද නීත්‍යානුකූල නොවේ.

ධනය නොසලකා පරිත්‍යාග කරන ලද අවයවවලට සමාන ප්‍රවේශයක් පවත්වා ගැනීම එක් සදාචාරාත්මක අවශ්‍යතාවයක් පමණි. අවසරයකින් තොරව බලහත්කාරයෙන් අවයවයක් ගැනීම හෝ අත්‍යවශ්‍ය මුදලට අවයව විකිණීම තවත් සදාචාරාත්මක සැලකිල්ලකි.

වෘෂණ කෝෂ අලෙවිය සම්බන්ධයෙන් අන්තර්ජාල මිථ්‍යාවන් රැසක් පවතියි. වෘෂණ කෝෂයක් ඩොලර් දසදහස් ගණනකට විකිණිය හැකිය යන ප්‍රකට අන්තර්ජාල මිථ්‍යාව තවදුරටත් පැතිර යමින් තිබේ.

විද්‍යාත්මක පර්යේෂණ සඳහා විදෙස් රටවල වෘෂණ කෝෂයක් ඩොලර් 35,000කට අලෙවි කරනබවට වාර්තා පළවුවත්, සැබෑ ලෙස එවැනි මුදලක් ලබාගත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරක් නැතිබව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේ ය.

දුර්ලභ අවස්ථාවන්හි දී, වෛද්‍ය පර්යේෂකයන් මිනිසුන්ට අධ්‍යයනයකට සහභාගීවීමට මූල්‍ය වන්දි පිරිනැමිය හැකි ය. කෙසේ වෙතත්, පර්යේෂකයන්ට වෘෂණ කෝෂයක් අවශ්‍යවීමේ සම්භාවිතාව අතිශයින් අඩුබව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නම් හෙළිදරව් නොකළ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම සඳහන් කළේ වෘෂණ කෝෂ බද්ධ කිරීම් නොකෙරෙන බව ය.

එය මිල අධික මෙන්ම පළ රහිත ක්‍රියාවක් වනු ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

අවයව බද්ධ කළබව කියෙන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් !

බොරැල්ලේ පෞද්ගලික රෝහලක දී ජාවාරමක් ලෙස ඉන්ද්‍රියන් බද්ධ කළබව කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් පත්කරනු ලැබ තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත්කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

අදාළ සිද්ධි සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු කිරීම සදහා ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්, නීති නිලධාරීයෙකු, විමර්ශන නිලධාරීයෙකු පත්කර ඇති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීමට මසක පමණ කාලයක් ගතවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ කමිටුවේ කාර්යභාරය, සමාජ මාධ්‍ය හා මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමත්, එවැනි කටයුත්තක් සිදුවී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස ගතයුතු ක්‍රියා මාර්ග කුමක්ද යන්න නිර්දේශ කිරීම බවත් ය.

"මෙයට අමතරව ඇතැම් මාධ්‍ය මඟින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් පිළිබඳව ද අසන්නට ලැබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස එවැනි බද්ධ කිරීම්වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැහැ. එමෙන්ම සායනික වශයෙන් හෝ පර්යේෂණාත්මක වශයෙන් එවැනි බද්ධ කිරීම් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යි. පත් කළ කමිටුවට ඒ පිළිබදවත් සොයා බැලීමට නියම කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම මේ පිළිබඳ විමර්ෂණයක් සිදුකර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගන්නා තෙක් එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා,” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම්, පෞද්ගලික වෛද්‍ය සේවා (සංවර්ධන) අංශයේ අධ්‍යක්ෂ ධම්මික අලහප්පෙරුම පැවසුවේ පසුගිය දිනවල මාධ්‍ය මඟින් වාර්තා කෙරුණු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන බව ය.

එම ආයතනය තුළ වකුගඩු බද්ධ කිරීමේ දී සිදු වතැ යි කියන අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී තිබේ.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් මේ සම්බන්ධව පරීක්ෂණ දෙකක් පැවැත්වේ.

බීබීසී - සිංහල