V2025

පුවත්

විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ  ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය  විසින් අද (13) දින නියෝග කලාය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩ බලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට සහ දේශපාලන මණ්ඩලයට අදාල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ඉල්ලමින් ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

අදාල පත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 20 දෙනකු නම් කර ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්  ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 දින පැවැත් වේ.

මෙවර සාපෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී, දරුවන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට මාර්කින් ස්කීම් සකස් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  අද(13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ, විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙහි උගන්වපු නැති විෂය කාරණා ඇතුල් කිරීම සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයෙහි ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න  යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

''විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී ඇති බවත්, ඊයේ දිනයේදී මෙම ප්‍රශ්න පත්‍රය සකස් කළ ආචාර්යවරු පිරිස රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.සාමාන්‍යයෙන් සෑම විභාගයකම ප්‍රශ්න පත්‍රය ලබා දී අවසානයේ දී, සාම්පල් මාර්කින් සිදු කරන බවත් ඒ අනුව සාම්පල් මාර්කින් අවසානයේ යම් යම් වෙනස්කම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එම දරුවන්ට අසාධාරණයක් සිදු නොවන ආකාරයට මාර්කින් ස්කීම් සකස් කිරීම සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රමිතිය පවත්වාගෙන යා යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගුරුවරු බඳවාගැනීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, 2021 ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමට තිබූ විභාගයේ පත්වීම් ලබා දීමට සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යන බවයි.

ග්‍රාමීය මට්ටමේ සහ පළාත් මට්ටමේ පාසල්වලට ගුරුවරු ලබා දීම ඉදිරියේදී සිදුකරන බවද හෙතෙම පැවසීය.

යම් කිසි ප්‍රශ්න පත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුයි. ගුරුවරු නැති පාසල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. නමුත් ප්‍රශ්න පත්‍රයක ප්‍රමිතිය අඩු කරන්න බැහැ. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරනවා''

සජිත්ගේ තවත් කෙරුවාවක් ප්‍රසන්න ප්‍රසිද්ධ කරයි !

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග රජයෙන් ඉල්ලයි.

මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කරයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලසීමාව තුළ නිවාස වැඩසටහන් 07ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.

ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 07 වෙයි.

මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන සීමාව ඉක්මවා නිවාස ඉදිකිරීමට එවකට නිවාස ඇමතිවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා මෙම නිවාස ඉදිකිරීම තාවකාලිකව නතර කෙරුණු බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ එක් උදාගම්මාන වැඩසටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා වෙන්කිරීම මෙයට හේතුව බවයි.

තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් ඔහු මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ඇමති ප්‍රසන්න රණතුංග මෙම නිවාස ඉදිකර අවසන් කරන තුරු නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකිරීමට තීරණය කළ අතර ඒ අනුව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ නිවාස 28,537ක්, විසිරි ණය ව්‍යාපෘතිය යටතේ නිවාස 7,063ක්, විසිරි ණය ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,036ක්, ග්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ නිවාස 1,318ක්, විරු සුමිතුරු ආධාර ව්‍යාපෘතිය යට‍තේ නිවාස 53ක්, වකුගඩු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,416ක්, ගංවතුර ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 4,630ක් වශයෙන් නිවාස 44,053ක වැඩ අවසන් කිරීමට නියමිතය.

– ප්‍රදීප් අනුර කුමාර

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට !

මෙම වසරේ ගතවු පළමු මාස 04 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි.

අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන විට එය සියයට 11.4ක ඉහළ යාමක් බවද අමාත්‍යංශය පවසයි .

පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මහින්දගෙන් සූසයිඩ් නිවේදනයක් !

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය සමනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව වැටුණු රට යළි ගොඩනගන සාර්ථක වැඩපිළිවෙළ විවේචනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත්කර ඇත .

එමඟින් ඔහු පෙන්වා දෙන්නේ රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවය.

වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට‍ සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බවද පෙනෙන්නට තිබෙන බවය.

තවද වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බවත් හිටපු ජනාධිපති මහින්ද සිය නිවේදනයේ සඳහන් කරයි.

මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතු බවද එහිදී සඳහන් කර ඇත .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ වත්මන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ සංශෝධනය කළහොත් යළිත් ආර්ථික අර්බුදයක් ඇතිවීම අනිවාර්යයක් වන බවයි.

මෙවැනි සංකීර්ණ දේශපාලන පසුබිමක මෙවැනි නිවේදනයක් නිකුත්කරමින් සිටින්නේ රට යළිත් වතාවක් බංකොලොත් කර මෙරට මිලියන 22 ක ජනතාව වෙතින් පළිගැනීමේ චේතනාවෙන්ද යන පැනය මතුවෙන බවද විචාරක අදහස වී තිබේ.

එසේම වත්මන් වැඩපිළිවෙළට විකල්පයක් කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් කර නොතිබීම මෙන්ම වත්මන් වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යාම සඳහා පොදුජන පෙරමුණේ සහය ලැබීඇති පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසියම් නොමගයෑමක සහ පොහොට්ටු පක්ෂයේ බෙදීමක් නිර්මාණය කිරීමේ පෙළඹවීමක නියැලි ඇති බවද දේශපාලන විචාරකයන් ගේ නිරීක්ෂණය වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

1

2

ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් තවත් ඉහළට !

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද (12) අරලියගහ මන්දිරයේ දී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

අපනයන ආර්ථිකයක් සමඟ රටේ ආර්ථිකය සීග්‍ර දියුණුවක් කරා ගෙන යාම වෙනුවෙන් ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් පළමුවැන්න ලෙස මහබැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමේ මහබැංකු නීතිය මේ වන විටත් සම්මත කර ගෙන ඇති බවත් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් මෙම ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙම නව නීති සම්මත කර ගැනීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේ දී නීතියක් ලෙස ගෙන එන බවත් රටේ අනාගතය රැඳී පවතින එම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන්ද සෑම දේශපාලන පක්ෂයකම සහාය අපේක්ෂා කරන බවත් පැවසීය.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ අවස්ථාවක සෑම පක්ෂයකම පිරිස් එක් කර ගනිමින් තමා ආණ්ඩුවක් නිර්මාණය කළේ රට ගොඩගැනීමට බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද එම වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, නව නීති සම්මත කර ගනිමින් රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන්ද සියලුදෙනා එක් විය යුතු බවත් අවධාරණය කළේය.

ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවද කියා සිටියේය.

සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය නිමිති කර ගනිමිනි.

‘අපේ හෙදියන්- අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථික බලය’ යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.

ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලයේ සමරු ඵලකය නිරාවරණය කර එය ආරම්භ කිරීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

අද විශේෂ දිනයක්. අද අප ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිණියගේ උපන්දිනය සමරනු ලබන්නේ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමෙන් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ විශාල සටනක ප්‍රතිඵලයක් ලෙසයි මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. කෙසේ නමුත් අප එම වැඩකටයුත්ත සාර්ථකව ඉටුකර තිබෙනවා. දැනට පවතින ගොඩනැගිල්ලේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කර පසුව එය දියුණු කිරිමට කටයුතු කළහැකියි.

අපේ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ජීවිත කතාවේ ප්‍රධාන කොටසක් බවට මෙම විශ්වවිද්‍යාලය පත් වෙනවා. හෙද විද්‍යාවට අමතරව විදේශ භාෂා ඉගැන්වීමට ද මෙම විශ්වවිද්‍යාල මගින් කටයුතු කළයුතුයි. ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, කොරියන්, චීන ඇතුළු සෑම භාෂා දැනුමක්ම මෙහිදී ලබාදිය යුතුයි. මෙම දැනුම ලැබු විට හෙදියින්ට විදේශ රටවල සේවා අවස්ථා ලබාගත හැකියි. විශේෂයෙන් එංගලන්තය සහ ජර්මනිය වැනි රටවල වැඩිහිටියන් සඳහා නිවාස ඇති කර තිබෙනවා. ඒ වගේම ලංකාවෙත් එවැනි ආයෝජන අවස්ථා පිළිබඳ කැමැත්ත පළ වී තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් කටයුත්තක් වෙනවා.

අද මෙහිදී භාණ්ඩාගාරය පිළිබඳ කථා කළා. භාණ්ඩාගාරය පිළිබඳ කථා කරන විට මට සිහිපත් වන්නේ අලගියවන්න මුකවේටි කවියාගේ කොන්ස්තන්තීනු සටනයි. කොන්ස්තන්තීනු ද සා වගේ සෑම පැත්තෙන්ම දැන් වට කරගෙන ගහනවා. කෙසේ නමුත් අප භාණ්ඩාගාරය රැකගෙන ඉදිරියට යා යුතුයි.

කෙසේ හෝ මෙම කාලය තුළදී අපි හැකි අයුරින් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදී තිබෙනවා. ලබන වසරේදී වැටුප් වැඩි කිරිමක් සිදු කිරීම පිළිබඳවද අපේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර 04 දී අප ඉතා අසීරු තත්ත්වයකයි සිටියේ. මෙරට ආර්ථික වර්ධනය ආරම්භ වූණේ පසුගිය වසරේ අවසන් කාර්තු දෙක තුළයි. 2020 වසරේ සිට වසර තුන හමාරක් මේ රටේආර්ථික දියුණුවක් සිදුව තිබුණේ නැහැ. කොවිඩ් වංසගතය මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා.

ඒ වගේම රට තුළ මන්දපෝෂණය පැතිර යාම විශාල ගැටලුවක් බවට පත්ව තිබුණා. දිළිදුකම සහ මන්දපෝෂණය නිසා අතැම් දරුවන්ගේ වර්ධනය සිමා වී තිබුණා. මෙම තත්ත්වය අනාගතයේදී විශාල බලපෑමක් විය හැකියි. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට සිදු වුණා. අපි ඒ වෙනුවෙන් ලෝක බැංකුව සමග සාකච්ඡා කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් අස්වැසුම හරහා ජනතාවට ලබාදීමට කටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමුවා. ඒ අනුව මූලික වශයෙන් මෙම අංශය වෙනුවෙන් මුදල් වැය කිරිමට සිදු වුණා.

ඒ වගේම රජයේ සේවකයන්ගේ අසීරුතා හඳුනාගෙන ඔවුන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළා. එමඟින් පුද්ගලික අංශයේ සහ වැවිලි අංශයේ වැටුප් වැඩි කිරීමට සංඥාවක් ලබා දීම සිදු වුණා.

පසුගිය යල සහ මහ කන්නවල අපට සාර්ථක වී අස්වැන්නක් ලැබුණා. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙන්ම මෙම වෙසක් උත්සවයේදීත් එම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ලබන වසරේ 3%ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එහිදී නැවත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳ මම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ලබන වසරේදී මීට වඩා ආර්ථික දියුණුවක් රට තුළ ඇතිකරගත යුතුයි. එම ආර්ථික වර්ධනය ඇති කර නොගතහොත් අපට මෙම ඉලක්කයන්ට යාම අසීරු වෙනවා.

දැන් අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කොන්දේසියකට පැමිණ තිබෙනවා මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එසේ නම් අපට තිබෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා අප දැන් අවසන් කරගෙන යනවා. ඊළගට පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව මේ වසර තුළදී අප බංකොළොත්භාවයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙනවා. නමුත් මෙම ආර්ථික ගැටලුව එතනින් අවසන් වන්නේ නැහැ. අපට ණය සහනයක් ලැබුණත් ඉතිරි මුදල් ගෙවිය යුතුයි.

ඒ නිසා අප ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කර අපේ ආර්ථිකය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ආනයන පදනම් කරගත් ආර්ථිකය වෙනුවට අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. අපි එම කොන්දෙසිවලට එකඟ වෙලා තිබෙනවා. අපට එයින් ඈත් වෙන්න බැහැ. එයින් ඉවත් වුණහොත් මෙම සහන නැති වෙනවා. ඒ නිසා මේ සමඟ ඉදිරියට යා යුතුයි.

එහිදී අප සෑමවිටම අයවැය අතිරික්තයක් පවත්වාගෙන යා යුතුයි. නැත්නම් ණය ගෙවීමට නොහැකි වෙනවා. අපි මෙම සියලු තීරණ ගත්තේ රට වෙනුවෙන් බව කිවයුතුයි. දැන් අපට තිබෙන්නේ අපනයන ආර්ථිකයක් සමග සීග්‍රයෙන් ඉදිරියට යාමටයි. මේ වෙනුවෙන් අප නීති කිහිපයක් සකස් කර තිබෙනවා. ඉන් ඇතැම් නීති සම්මත කර තිබෙන අතර අනිත් ඒවා සම්මත කර ගැනීමට තිබෙනවා.

ඉන් පළමුවැන්න ලෙස අප මහ බැංකු නීතිය සම්මත කළා. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම තහනම් කර මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමට එමගින් කටයුතු කළා. ඒ වගේම තවත් නීති 03 ක් සකස් කර තිබෙනවා. එයින් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපට ණය ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. එසේ නම් කොන්දේසි ගණනාවක් අනුව ණය ලබා ගැනීමටත්, ණය ආපසු ගෙවීමේදීත් අප එම නීතිය අනුව කටයුතු කළයුතු වෙනවා.

ඒ වගේම රාජ්‍ය මුදල් පනත ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් මුදල් පාලනය කළේ FR අනුවයි. අපි දැන් නීතියෙන් මුදල් පාලනය කිරීමට කටයුතු කළයුතුයි. රජයේ මුදල් හැසිරීම, ආදායම් එකතු කිරීම, මුදල් බෙදා හැරීම ඉදිරියේ දී මෙම නව නීතියට අනුව සිදුවන අතර අප එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

අප දැනටමත් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම වෙනුවෙන් ආයතනයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එම ආයතන මෙම නීති දෙක යටතේ ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතිය අප ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය අපනයන පදනම් කරගත් නව ආර්ථිකයක් බවට පත්කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ අප එකඟ වූ කොන්දේසි සියල්ලම නීතියක් ලෙස ගෙන එනවා. මෙම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකින්ම මම ඉල්ලනවා. මොකද මෙම නීති මත තමයි අපේ රටේ අනාගතය රඳා පවතින්නේ.

විශේෂයෙන් අද අපේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළයුතුව තිබෙනවා. අපේ රටේ වැඩිහිටි ජනතාව වැඩි වී තිබෙනවා වගේම මන්දපෝෂණය වළක්වා ගැනීමට කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා ආර්ථිකයේ සීග්‍ර දියුණුවක් ඇති කළයුතුයි.

එක් එක් පක්ෂවලින් එකතුකරගෙන අපි ආණ්ඩුවක් නිර්මාණය කළේ මේ රට ගොඩගැනීමටයි. අද අප එය ඉටු කර තිබෙනවා. දැන් රට ඉදිරියට ගෙන යන මෙම ප්‍රධාන නීති 03 ඉදිරිපත් කර ජූනි මාසයේ ඒ පිළිබද විවාදයක් සිදු කරනවා. මම සිතනවා සියලුදෙනා මේ සමග එකඟ වෙයි කියලා. කිසිවෙක් මීට විකල්පයක් ඉදිරිපත් කර නැහැ. ඒසේ නම් අප මෙම නව නීති සම්මත කරගෙන රට දියුණු කරමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරිමට අවශ්‍යයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණයි එය සිදු කළ හැක්කේ. ඒ නිසා මෙම වැඩපිළිවෙළට ඔබ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන :

අපේ රටේ සහ ලොව පුරා විශ්වාසය නිසාම මෙම ජාත්‍යන්තර හෙද දිනය ගෞරවයෙන් සිහිපත් කරනවා. හෙද හෙදියන් ළගට ජනතාව පැමිණෙන්නේ මහත් විශ්වාසයෙන්. නිරෝගී බවේ සහතිකය ලබාගෙන ඔවුන් යළි නිවසට යනවා. එය ඉටුකරන හෙදියන් සමාජයේ සුවිශේෂ අවස්ථාවක වගකීම් බාරගෙන තිබෙනවා. ඒ නිසාම මේ උතුම් දිනයට විශාල පිරිසක් එක් වෙනවා. ඒ අනුව අපේ රටේ හෙද සේවය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිගු ගමනක් පැමිණ තිබෙනවා.

වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ද මේ වෙනුවෙන් විශාල සහායක් ලබාදෙනවා. විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

හෙද විශ්ව විද්‍යාලයක් නිර්මාණය වී තිබෙන්නේ දීර්ඝ සාකච්ඡා රැසකින් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ දැඩි උත්සාහය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිෂ්ඨානයෙන් යුතුව ගනු ලැබු තීරණය අනුව අද හෙද විශ්වවිද්‍යාලය ඇති කිරීමට හැකිවී තිබෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයා සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් විශාල කාර්යභාරයක් ඉටු කළා. හෙද හෙදියන් දහස් ගණනක් ආඩම්බරයෙන් යුතුව එම සතුට භුක්ති විදින අවස්ථාවේ සමස්ත හෙද සේවයට මගේ කෘතවේදීත්වය පිරිනැමීමට කැමැතියි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ :

මෙම මාසය මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන හයවන මාසයයි. ඒ මාස හය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාලතම සහ විශිෂ්ඨතම වෘත්තිය කණ්ඩායමක් වන හෙද සේවය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සිදු කළ හැකි වූ කටයුතු කිහිපයක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටට පත් වෙනවා.

ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ පළමු හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ආර්ථික අපහසුතා මැද අප ගත කළ කාලය ක්‍රමානුකූලව වියැකෙමින් තිබෙනවා. 2024 වසරේදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩිකිරීමක් සිදු කළා. ඉන් ඔබ්බට ගොස් ඔබ වෙනුවෙන් කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සේවාවේ විශිෂ්ඨත්වය අගයමින් නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.ඒ වගේම මැයි මාසයේ සිට ඔබේ විශේෂ රාජකාරි දීමනාව දෙගුණ කර ලැබෙන බව මේ අවස්ථාවේ දී සඳහන් කිරීමට කැමතියි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ එක් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සේවය කරනවා. මෙරට දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය සේවකයන්ටත් විවිධ චෝදනා එල්ල වන පරිසරයක ශ්‍රී ලංකාවේ හෙද සේවයට එවන් කිසිදු චෝදනාවක් එල්ල නොවන බව ඉතා ගෞරවයෙන් හා සතුටින් ප්‍රකාශ කරනවා. හෙද සේවාවේ විශිෂ්ඨත්වය එයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි :

අද ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලබන්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය සිහිපත් කරමිනුයි. අද දිනයේ මම සමස්ත හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නයිටිංගේල් ආර්යාව ගිය මඟ යන ලෙසයි. අද පොඩි දෙයටත් අරගල කිරීමට පෙළඹී සිටිනවා. ඒත් මම කියන්න කැමතියි අපි දැන් සියලු දේ දිනාගෙන අවසන්. ඉදිරියේදී සිදු කළ යුත්තේ දිනා ගත් දේ ආරක්ෂා කර ගැනීමයි. යුතුකම් ඉටු කර වැටුප් වැඩි කර ගනිමු. කුමන බලපෑම් පැමිණියද උතුම් හෙද සේවාවේ ගෞරවය රැක ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අරගල තුළින් නොව සාකච්ඡා තුළින් අයිතීන් දිනා ගනිමු.

හෙද විශ්වවිද්‍යාලයක් ලබා ගැනිම සුළු පටු ජයග්‍රහණයක් නොවෙයි. එය හෙද ඉතිහාසයේ අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය අප කිසිදා අමතක නොකළ යුතුයි. හෙද නිලධාරීන් වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකය ලබා දුන්නේත් එවකට අග්‍රාමාත්‍යවරා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඒ වාගේම අද නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය ලබා දුන්නේත් එතුමායි.

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණවලින් තමයි මේ අයිතීන් අපට හිමි වන්නේ. විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට ‍නොවෙයි. ඔබව පාරට දමන්නයි. අපට ඕනෑම ගැටලුවක් සාකච්ඡා කළ හැකි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ අමාත්‍යවරයෙක් සිටින බව අප මතක තබා ගත යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, යදාමිනී ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්, හෙද නිලධාරීන්, හෙද සිසුන්, විශ්‍රාමික හෙද නිලධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=18#sigProId727e84b12a

මෛත්‍රී ශ්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ වනවිට කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධුරයට පත් කිරීමටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත්කර ඇත.

ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන : ධම්මිකගේ ප්ලෑන් B මෙන්න !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් , එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පොහොට්ටු පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මේ අතරින් වැඩිම අවධානය යොමුවී තියෙන්නේ ධම්මික පෙරේරාට කියලයි ඒ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොහොට්ටු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් , මාධ්‍යට කියලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.

ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තවම හදිසියක් නෑ කියලත් සාගර කියනවා.

මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් 09 දා පැවැත්වුණා. මේ සාකච්චාව ඇමරිකාවට ගිය බැසිල් ලංකාවට අවට පස්සේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ හය වැනි සාකච්ඡාව.

ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩියි කියලා , පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය සතියේ දී බැසිල් හම්බවෙලා මැසිවිලි නැගලා... ඒක ඇත්ත කියලා බැසිල් රාජපක්ෂ ත් පිළිගෙන තියනවා කියලයි දැනගන්න තියෙන්නේ.

කොහොම වුනත් ධම්මික පෙරේරා මේ වෙනකොටත් ගේමට බැහැලයි ඉන්නේ. දිගට හරහට වැඩ .. හතර අතේ සල්ලි වියදම් කරනවා.

ජනාධිපතිවරණ කැම්පේන් එකට රුපියල් බිලියන 15කට වැඩිය දාන්න වෙයි කියලා, ධම්මික මේ වෙනකොට ගණන් හදල ලු තියෙන්නේ . ධම්මික මේ ළඟදී ප්‍රයිවෙට් ජෙට් එකක් ගන්නත් හොයලා බලන්න රට ගිහින් තිබුනා.

ධම්මිකගේ සමහර බිස්නස් යාලු මිත්‍රයෝ කියන විදියට, ධම්මිකගේ අදහස වෙලා තියෙන්නේ ආණ්ඩුව පැත්තේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඒ කියන්නේ රනිල්ගෙත් සහය අරගෙන ජනාධිපති අපේක්ෂකයා වෙන්න.

Plan B රනිල් යටතේ අගමැතිකම.

ඒ නිසා ජනාධිපති රනිල් එක්ක වගේම, සාගල සමගත් සමීපතම හිතවත්කමක් පවත්ව ගෙන යන්න පටන් අරන්.

රනිලුයි ධම්මිකයි 10 වෙනිදා එකම වේදිකාවකට ගොඩවුනා. ඒ , ජනාධිපතිවරණය ගැන කතා කරන්න නෙමෙයි , කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කරන්න..

ඒ, නෙළුම් පොකුණේ පැවැති කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් වූ උත්සවයකදී..

පේන විදිහට , රටේ අංක එකේ ව්‍යාපාරිකයා වෙන්න ධම්මික ගහපු ගේම් සේරම , රටේ ඉහලම තැනට එන්නත් ගහන්න පටන් අරගෙන තියෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් වගේම සම්ප්‍රදායික දේශපාලනඥයන් ආමන්ත්‍රණය නොකරන කලාප වලට ධම්මික අත තියලා තියෙන්නේ. අංක එකේ ව්‍යාපාරිකයා වුනු ධම්මිකගේ මේ දේශපාලන වෑයම කොහොම වැඩ කරයිද කියලා අපිත් බලාගෙන ඉමු.

දේශපාලන වාර්තාකරු

පොහොට්ටුව තනියම වැඩ අරඹයි : එළඹෙන 18 වෙනිදා තීරණාත්මකයි !

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන තම පක්ෂයේ අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරනවා කියලා , පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියනවා.

ඊයේ, ඒ කියන්නේ මැයි (10) වෙනිදා එම පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි, බැසිල් එහෙම කියලා තිබුනේ.

ජනාධිපතිවරණය පමණක් නෙවෙයි, ඕනම මැතිවරණයක් සඳහා පොහොට්ටුව සූදානම් බවත්, ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත්, ඔහු මෙහිදී අවධාරණය කරලා තිබුනා.

''ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය, එළඹෙන 18 දාට ඉස්සෙල්ලා දැනුම්දෙන බව දැනුම්දී තියනවා. අපි ඒ තීන්දුව එනතුරු බලාගෙන ඉන්නේ. ''

කෙසේ වෙතත් රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එක්ව කටයුතු කිරීමට මෙන්ම, වෙන්ව කටයුතු කිරීමටත් පොහොට්ටුව සූදානම් කියලත් බැසිල් කියනවා.

  • ---

බැසිල් ගේ ඒ සූදානම වචනයෙන් විතරක් නෙමෙයි, ක්‍රියාවෙනුත් පෙන්නමිනුයි ඉන්නේ. ඔන්න පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලයකුත් පටන් අරගෙන.

පොහොට්ටු පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ, පොහොට්ටු ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කළා.

මේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පටන් අරගෙන තියෙන්නේ , බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ මූලස්ථානය ආසන්නයේ ම...

එළඹෙන ජනාධිපතිවරණය සඳහා, මැතිවරණ කොමිසන් සභාව විසින් දින නියම කිරීමෙන් පසු දිනම, එම කාර්යාලය විවෘත කිරීමත් විශේෂ කාරණයක්.

14,000 ක් පමණ වන, මෙරට සෑම ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කරගනිමින්, මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර , පරිගණක 160 ක් ආධාරයෙන් සකස්කළ, දත්ත පද්ධතියක් ඔස්සේ එම මෙහෙයුම් කටයුතු සිදුකරන්නයි යන්නේ.

ඒ වෙනුවෙන් සැදුම්ලත් කාර්යය මන්ඩලයක්, මේ වැඩේට යොදවා සිටින අතර, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා.

සෑම ආසනයකටම පොහොට්ටුවේ එක් නියෝජිතයෙකු බැඟින්, මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට සම්බන්ධ කර ගන්නා බවත් , ඒ අනුව, ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන්, මෙම මෙහෙයුම් කාර්යාලය සක්‍රියව දායකකර ගන්නා බවත් බැසිල් කියනවා.

මෙම ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට, එම පක්ෂයේ ජාතික සංවිධායක, නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු ඇමැති චමල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කාංචන විජේසේකර, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කනක හේරත්, ඩී.බී හේරත්, පියල් නිශාන්ත, ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ඩී.වීරසිංහ, කෝකිලා හර්ෂණී, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ මැතිවරණ කාර්යාල ප්‍රොජෙට් එකට රුපියල් මිලියන 500ක් ඇස්තමේන්තු කරලා තිබුනා කියලයි ආරංචි. ඒ ආරංචිවල හැටියට මන්ත්‍රී ධම්මික පෙරේරා දෙපාරකට ඒ මුදල දීලා.

දේශපාලන වාර්තාකරු

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේ !

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට එක්වෙමිනි.

1924 වර්ෂයේ මැයි මස 11 වන දින ආතර් වී දියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය යටතේ ඉදි කරන ලද මොරටුව බෞද්ධ මන්දිර ශාලාව සඳහා 1925 දී මුල් ගල තබන ලදී. එම ගොඩනැගිල්ල 1929 ජූනි මස 24 වන දින මොරටුව බෞද්ධයන්ගේ බෞද්ධ මුලස්ථානය ලෙස එවකට ලංකා ආණ්ඩුකාර හර්බට් ජේ. ස්ටැන්ලි මහතා අතින් විවෘත කෙරිණ. මොරටු මහා විද්‍යාලයට මුල් ගල තැබීමද එදින සිදු විය.

වසර සියයක් සපුරන මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අලුත්වැඩියා කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අද පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුම සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් විය.

මොරටුව බෞද්ධ සමිතියේ උප සභාපති ධම්මික චන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා විසින් සියවස් සමරු කලාපය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීය.

මොරටුව බෞද්ධ සමිතියේ පැරණිතම සාමාජික රංජිත් ගමනායක, උප සභාපතිවරුන් වන ප්‍රදීප් ශ්‍රියන්ත ප්‍රනාන්දු, ධම්මික චන්ද්‍රනාත් ප්‍රනාන්දු, ගාමිනී පෙරේරා සහ ප්‍රාදේශීය ලේකම් කීර්ති පෙරේරා යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අනතුරුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙත ද සමරු තිළිණ පිළිගැන්විණ.

මොරටුව මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ ඉමාෂ ෂාවින්ද්‍ර ආශිංෂණ ශිෂ්‍යයා විසින් සිතුවම් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රුව සහිත මොරටුව බෞද්ධ මන්දිරයේ චිත්‍රයක් ද මෙහිදී පිළිගන්වනු ලැබීය.

අනතුරුව පැවතී උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය

වර්තමානයේ දේශගුණික විපර්යාස නිසා මුළු ලෝකයම විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මේ දිනවල අප මුහුණ දී තිබෙන දැඩි හිරු රශ්මිය මීට පෙර මුහුණ නොදුන් තත්ත්වයක් බවද කිවයුතුයි. මෙම දේශගුණික උණුසුම සීමාකර ගැනීම සඳහා ඉලක්කගතව කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් අද මතුවෙලා තිබෙනවා. මේ සමඟ ඌග්‍ර ජල ගැටලුවකට ද අපට මුහුණදීමට සිදු වෙනවා. අප බුද්ධ ධර්මයට අනුව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.

ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් බවට දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළුව පත් වෙනවා. බුද්ධ දේශනාව අනුව සළකා බැලුවහොත් අපට මේ තත්ත්වයට මුහුණදිමට සිදුව තිබෙන්නේ ශිෂ්ටාචාරයේ තණ්හාව නිසයි. සියලුදෙනාට අවශ්‍ය වුණේ වේගවත් දියුණුවක් ලබා ගැනීමටයි. වාහන භාවිතය ඉහළ යාම නිසා පරිසරයට විශාල හානියක් සිදු වෙනවා. ඒ අනුව මානව සමාජයෙන් පරිසරයට විශාල හානියක් සිදුව තිබෙනවා. ඒ නිසා දේශගුණික විපර්යාස පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළයුතුයි.
ඒ වගේම ලෝකය අද සීග්‍ර තාක්ෂණ දියුණුවක් කරා ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන් 1945 පරමාණු බෝම්බය පුපුරා ගිය විට සිතුවේ ඉන් එහාට තාක්ෂණ දියුණුවක් සිදු නොවන බවයි. නමුත් දැන් සෑම ක්ෂේත්‍රයක් තුළම විශාල තාක්ෂණ දියුණුවක් සිදුව තිබෙනවා. තොරතුරු තාක්ෂණ අංශයේ විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා. අප පාසල් යන සමයේ පරිගණක සහ ජංගම දුරකථන තිබුණේ නැහැ. නමුත් මේ වන විට නවීන තාක්ෂණික දියුණුවත් සමඟ අද කෘත්‍රීම බුද්ධිය දක්වා පැමිණ තිබෙනවා.

මේ වන විට තිබෙන්නේ කෘත්‍රීම බුද්ධියේ ආරම්භක අවස්ථාවයි. තවත් දශක දෙකක් පමණ යන විට කෘත්‍රීම බුද්ධිය කොතනින් අවසන් වෙයිද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය සහ බුදු දහම අතර තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කළයුතුයි.

සියල්ල පාලනය වනුයේ අපගේ මනසින් බව බුද්ධ දේශනාවේ පෙන්වා දෙනවා. මනස පාලනය කළහොත් අපට ඉදිරියට යා හැකියි. මනස පාලනය කර නොගතහොත් අපට අනාගතයක් නැහැ. මනස පාලනය කිරීම පැවරි තිබුණේ මිනිසාට පමණයි. බුද්ධ දේශනය මිනිස් සංහතිය වෙනුවෙන් සිදු කළේ ඒ නිසයි. අප මනස පාලන කරගතහොත් අපට තණ්හාව දුරු කර ගත හැකියි.

මෙම මිනිස් මනසට සමානව දැන් කෘත්‍රීම බුද්ධිය පැමිණ තිබෙනවා. කෘත්‍රීම බුද්ධියට විවිධ තොරතුරු ඇතුළත් කළ හැකියි. ඒ අනුව කෘත්‍රීම බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. එසේ නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.

කෘත්‍රීම බුද්ධිය වෙනත් දහමක් දේශනා කරයිද, එය බුදු දහමට තර්ජනයක් විය හැකියි. ඒ නිසා අප ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඓතිහාසික අනුරාධපුර සමයේ මෙරටට බුදු දහම පැමිණි අතර එතැන් පටන් බුදු දහමට විවිධ බලපැම් එල්ල වී තිබෙනවා. හින්දු දහම, මහායාන ධර්මය මෙන්ම දේශපාලන තත්ත්වයන් ඊට බලපා තිබෙනවා. මේ කාලයේ සිට කෘත්‍රීම බුද්ධියද එක් වෙනවා. එවිට කෘත්‍රීම බුද්ධිය තවත් ධර්මයක් දේශනා කරයිද කියා සිතිය යුතුයි. ජනතාව අතේ තිබෙන ජංගම දුරකථනයෙන් ධර්මය ඇසුරු කරන විට එහි බලපෑම් කුමක් විය හැකිද කියා සිතිය යුතුයි. මෙය බුදු දහමට පමණක් නොව වෙනත් ආගම් ද මුහුණ දී සිටින ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.

ඒ නිසා කෘත්‍රීම බුද්ධිය පාලනය කිරීමටත් අප නව නීති රීති ගෙන එනවා. තාක්ෂණ වර්ධන නීති කෙටුම්පත තාක්ෂණ අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙන අතර ඒ යටතේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මධ්‍යස්ථානයක් ද ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එක්සත් රාජධානයේ සහ යුරෝප සංගමය දැනමටත් කෘත්‍රීම බුද්ධිය පාලනය කරන නීති රොගුලාසි ඇතුළත් කර තිබෙනවා. අපත් එය සිදු කළයුතුයි.

ඒ වගේම බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියනයක් ලබන වසරේදී වෙන් කිරීමට අපේක්ෂා කරනවා. එය මෙම වසරේදී සිදු කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අදාළ නීති රෙගුලාසි තවමත් සම්මත කරගෙන නොමැති නිසා එය ලබන වසරට කල් දමනු ලැබුවා. ඒ අනුව නව නීති ඉදිරිපත් කර එම කටයුතු ආරම්භ කිරීමට අප අපේක්ෂා කරනවා.

මොරටුවැල්ල ධම්ම නිකේතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර කල්‍යානිවංශික ශ්‍රී සද්ධම්ම යුක්තික නිකායේ මහානායක පූජ්‍ය මාගාල්ලේ නාගිත හිමි, පානදුර සංඝ සභාවේ අධිකරණ සංඝ නායක කොරළවැල්ල වාළුකාරාම මහා විහාරාධිපති පූජ්‍ය නැහින්නේ අරියඥාන හිමි, මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මොරටුව, ඉඳිබැද්ද ශ්‍රී සුධර්ම රත්නාරාම විහාරාධිපති පූජ්‍ය ගම්පොල සුගුණධජ හිමි, මොරටුව හොරේතුඩුව පුරාණ සාංඝිකාරාමයේ විහාරාධිපති, අඟුලානේ ඥානවිමල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=18#sigProId10e35ad16e

රුසියාවේ සහ යුක්‍රේනයේ යුද්ධයට ගිය 17ක් අමාරුවේ !

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත .

මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විසින් වාර්තා කර ඇත .

මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මොවුන්ගේ ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි" .

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ පදවිය ප්‍රදේශයේ පදිංචි අසංක චන්දන ද පසුගිය පෙබරවාරි මස 12 වනදා රුසියාව වෙනුවෙන් යුද වැදීම සඳහා රුසියාවට ගොස් තිබුණි.

‍ඔහු සිය නිවැසියන්ට අවසන් දුරකථන ඇමතුම ලබාදී තිබුණේ පසුගිය මාර්තු මස 29 වනදාය.

එදින සිට මේ දක්වා ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

මේ අතර මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික කොමාන්ඩෝ නිලධාරියෙකු වන ප්‍රදීප් චන්දන මහතාද පෙබරවාරි මස 12 වනදා රුසියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර ඔහුද සිය අවසන් ඇමතුම නිවසට ලබාදී ඇත්තේ මාර්තු මස 29 වැනිදාය.

‘නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024’ නැරඹීමට ජනපති එක්වෙයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction International Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ (10) එක්විය.

‘ශ්‍රී ලංකාව ගොඩනඟමු’ තේමාව ඔස්සේ මෙවර ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර, එය මෙරට ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන සමාගම්වල වෙළෙඳ කුටි 300කින් සමන්විතය.

මෙම ප්‍රදර්ශනය සඳහා පළමු වරට එක්ව සිටින චීනයේ ප්‍රධාන සමාගම් 30කට අයත් නිෂ්පාදනවලින් සමන්විත වෙළෙඳ කුටි මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ඉදිකිරීම් තාක්ෂණය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිවලින් ද සමන්විත මෙම ප්‍රදර්ශනය මේ මස 12 වැනිදා දක්වා පැවැත්වේ.

දෙස් විදෙස් වෙළෙඳ කුටි සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, ප්‍රදර්ශනයේ සංවිධායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ ජයන්ත පෙරේරා, මහ ලේකම්/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=18#sigProId9ac2a98fc2

 

ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොළිය ගැන ජන­ප­තිගේ අව­ධා­නය

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තමාට දෙන්නැයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටියට උප­දෙස් දී තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු ඉල්ලීම සහ උප­දෙස් සලකා බල­මින් ඉතා ඉක්ම­නින්ම ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලී අනු­පාත ඉහළ දැමීම සඳහා ක්‍රම­වේ­ද­යක් ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුද පැන­නැ­ඟී­මට ප්‍රථම වයස අවු­රුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ බැංකු සහ මූල්‍ය ආය­තන ගිණුම් සඳහා වාර්ෂි­කව 15% නොඉ­ක්මවූ පොලී ප්‍රති­ශත පිරි­නමා තිබු­ණත් මේ වන විට එම පොලී ප්‍රති­ශත තනි ඉල­ක්කමේ ප්‍රති­ශත බවට පත් වී ඇත. මේ තත්ත්වය නිසා පොලී ආදා­ය­මෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් අප­හ­සු­තා­වන්ට පත්ව ඇති බව සඳ­හන් කර­මින් තමාද දැනු­වත් කර ඇතැයි රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා කීය.

ඊට අම­ත­රව ඔවුන් මේ සම්බ­න්ධ­යෙන් වරින් වර ජනා­ධි­ප­ති­ව­ර­යාද දැනු­වත් කොට ඇත.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ජනා­ධි­ප­ති­ව­රයා මේ කරුණ පිළි­බඳ සාව­ධා­නව සහ සානු­ක­ම්පි­තව සලකා බලා ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට සවි­ස්තර වාර්තා­වක් දෙන්නැයි ඉල්ලා සිටි බවද සිය­ඹ­ලා­පි­ටිය මහතා පැවැ­සීය.

CBK පාර්ශ්වය ශ්‍රීලනිප බලය අල්ලයි : සම්මේලනයත් කැඳවයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සම්මේලනය ජුනි මස 02 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එය පැවැත්වීමට නියමිත බවද දැනගන්නට ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සමඟ හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු පාර්ශ්වයට ශ්‍රීලනිප බලය මුළුමනින්ම ගිලිහෙනු ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ සහාය මත ක්‍රියාත්මක අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පාර්ශ්වය ශ්‍රීලනිප බලය තහවුරු කරගනු ඇති බවය.

එසේම මේ වන විට ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකයන් දිස්ත්‍රික් මට්ටමින් කොළඹ කැඳවා පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

පක්ෂයත් අරගෙන ලකුණත් නැති කරනවා : සේනක සජිත්ගෙන් ගේම ඉල්ලයි !

සමගි ජන බලවේගය පක්ෂයේ බලය තමන් ලබා ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ සැමියා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (10) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය .

කිසිදුවිටක දී සමගි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඉදිරියේ දී සිදුකරන බවත් එහිදී ඔහු සඳහන් කළේය.

"මේ පක්ෂයේ නායකයා හැටියට මම හිටියා. මම කිව්වා මම ඉල්ලා අස්වෙන්නම් කියලා. මම ඔබට නායකත්වය දෙන්නම් කියලා සජිත්ට කිව්වා. සභාපති ලෙස මම අත්සන් කරලා තියෙනවා. ලේකම් හැටියට ඩයනා මහත්මිය අත්සන් කරලා තියෙනවා. ඊට යටින් තමා සජිත් ප්‍රේමදාසයි, රංජිත් මද්දුමබණ්ඩාරයි අත්සන් කරලා තියෙන්නේ. අපි ලොකු කැප කිරීමක් කළා."

"ලොකු ගණන්වල‌ට මිලියන 100ට 200ට පක්ෂ විකිණෙන්නේ. අපි එහෙම විකිණුන අය නෙමෙයි."

"සජිත්ගේ නායකත්වය පිළිනොගන්නා තත්ත්වයකට ගෙන එන්න පුළුවන්."

"අපිට අවශ්‍ය වෙලාවට ඒ තුරුම්පුව ගහන්නම්. මේ ඩයනාගෙන් පළිගන්න එක නවත්වන්න. අපි නඩු දලා තියෙන්නේ. හොඳ ලස්සන නඩු තීන්දු ටිකක් එයි ඉස්සරහට. අපේක්ෂකකමටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා එතුමාගේ. මේ ලකුණෙන් නම් ඉදිරිපත් වෙන්න දෙන්නේ නෑ මහත්තයෝ. එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ මේ පක්ෂයේ බලය ගන්නවා."

ධම්මිකගේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ජනපති රනිල් !

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (10) සංවිධාන කර තිබූ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව "හිංසන විරෝධී ගෝලීය අභිනයන්" හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ධම්මික පෙරේරා මැතිතුමා වෙනසක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හිංසනයට එරෙහිව එතුමා මේ ආරම්භ කළ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි. DP Education වැනි ව්‍යාපාර අනාගත අධ්‍යාපනයේ කොටසක් විය යුතුයි. ඉතිහාසයේ අප අධ්‍යාපනය ලැබුවේ ගස් යට, ගල් ලෑලි භාවිතා කරමින්. ඉන්පසුව ගොඩනැගිලි, පොත් අධ්‍යාපනයට එකතු වුණා.වර්තමානයේ මෙන් ජංගම දුරතකන තිබුණේ නැහැ.

ඒ වගේම විටින් විට අධ්‍යාපනය වෙනස් වුණා. පිරි‍වෙන් අධ්‍යාපනයේ සිට පාසල් අධ්‍යාපනය ද වෙනස් වෙනවා. අද සුහුරු පංති කාමර පාසලට පැමිණ තිබෙනවා. ධම්මික පෙරේරා මහතා DP Education හරහා නව අධ්‍යාපන මානයක් හඳුන්වා දී තිබෙනවා.මේ පදනමේ වියදමින් පාසල් 600කට පහසුකම් සපයා දී තිබෙන බව මට දැන ගන්න ලැබුණා. මේ නිසා ටියුෂන් පංති කාමරයත් වෙනස් වෙනවා. මෙයට කෘතිම බුද්ධිය එකතු වූ විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකියි. දරුවන් මෙම අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත යුතුයි.

අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කර සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දිය යුතුයි. සෑම දරුවෙකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට අපට හැකියාවක් නැහැ. නමුත් තාක්ෂණය හරහා සෑම දරුවෙකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි.

කාන්තා හිංසනයට එරෙහිව සංඥා භාවිතා කරන්නේ කෙසේද යන්න අද මෙතනදි හඳුන්වා දුන්නා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය පාර්ලිමේන්තුවේ අප හඳුන්වා දෙනවා . කාන්තා හිංසනය නවත්වන්නේ කෙසේද යන්න මෙම හස්ත සංඥා මඟින් දැනුවත් කළ හැකියි. කාන්තා අයිතිවාසිකම් සුරකින්න අප කැපවී සිටිනවා. එය වචනයට සීමා කරන්න බැහැ. මේ ලබාදෙන සංඥා මඟින් කාන්තාවන්ට සිදුවන හිංසනය පිළිබඳ සමාජය දැනුවත් කර ඊට එරෙහි වීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා පුළුල් ප්‍රචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපේ රටේ ධනපතියෝ සහ දානපතියෝ ඉන්නවා. දානපතියන් කියන්නේ මුදල් උපයාගෙන සමාජ සත්කාර කරන පිරිසක්. ධම්මික පෙරේරා මහතා සිදු කරන්නේ එවැනි ක්‍රියාවක්. කාන්තා හිංසනයට එරෙහිව කාන්තාවන් සවිබල ගැන්වීමට මේ වැඩපිළිවෙළ මඟින් හැකියාව තිබෙනවා. ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් විශාල ලෙස දුක් වින්දා. මා බලයට පත්වන කාලවකවානුවේදී කාන්තාවන් ආහාර නොමැතිව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. සමහර පවුල් ඉදිරියට ගෙන ගියේ කාන්තාවන් විසිනුයි. ඒනිසා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අප කටයුතු කරනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම,කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම,කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට මෙම පනත් කෙටුම්පත හරහා සිදුකළ හැකියි.
එමෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීමට කොමිසමක්ද ස්ථාපිත කරනවා. ඕනෑම ප්‍රදේශයක ඕනෑම ස්ථානයක කාන්තාවන්ට හිංසනයක් සිදුවනවා නම් කොමිසම මඟින් විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් සාර්ථකම කණ්ඩායම වෙමින් තිබෙනවා. කාන්තාවන්ට තිබෙන බාධාවන් ඉවත් කිරීම අපේ වගකීමක්. පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංසදයක් මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. ඔවුන්ට ද මෙහි විශාල වගකීමක් පවරනවා. කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන ගැටලු විසඳා සමාජ සාධාරණයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.
මෙම පනත් කෙටුම්පත් දෙකම ජූනි මාසයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරයෙන් පසුව පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩි කිරීමට අගමැතිවරයා සමඟ මා දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. අවම වශයෙන් කාන්තා නියෝජනය මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25 %ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද පැවසිය යුතුයි. ඒ වගේම පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරිමට බලාපොරොත්තු වෙනවා.
එපමණක් නොවෙයි, කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිගැනීමටද කටයුතු කරනවා. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි.

ලංකාවේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කර කාන්තාවට හිමි ස්ථානය ලබාදීමට අප කටයුතු කරනවා‍

DP Education නිර්මාතෘ හා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා :

ධම්මික හා ප්‍රසිලා පදනම ගොඩනැගුවේ 2016 වසරේදීයි. අධ්‍යාපනයෙන් පොහොසත් රටක් නිර්මාණය කරන්නේ කෙසේදැයි කල්පනා කර මෙම පදනම නිර්මාණය කළා. අද වනවිට විනයගරුක පාසල් දරුවන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට අපට හැකි වී තිබෙනවා. ලක්ෂ පහළොවක් පමණ පාසල් දරුවන්ට පහසුකම් සැලසීමට අපට හැකි වුණා. පෙර පාසල් දරුවන් වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේ පදනම කටයුතු කළා.

ළමා මනෝ වෛද්‍යවරුන් පෙන්වා දුන් අකාරයට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායට ගැලපෙන වැඩපිළිවෙලක් දරුවන්ට ලබාදීමට අප කටයුතු කළා. පෙර පාසල් 1000ක් ඇති කර දරුවන්ගේ පූර්ණ ළමා විය සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

අපේ සංස්කෘතිය වැනි පොහොසත් සංස්කෘතියක් දකුණු ආසියාවේම තිබුණේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයත් ඉතා ඉහළ මට්ටමක තිබුණා. මේ කාරණා දෙක සැලකිල්ලට ගෙන අපේ පදනම විසින් තොරතුරු තාක්ෂණය සහ භාෂා ඥානය ලබාදෙමින් ධර්මයෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් තාරුණ්‍යයක් බිහිකිරීමට කටයුතු කරන බව කිව යුතුයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පස්කුවල්, ලසන්ත අලගියවන්න, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , සංජීව එදිරිමාන්න, ඒ.එච්. එම්. ෆවුසි, අංගජන් රාමනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික නියෝජිත කුන්ලේ ඇඩේනියි (Kunle Adeniyi) මෙන්ම තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240510 WA0014

IMG 20240510 WA0015

අධික රශ්මියෙන් යාපනයේ පස්දෙනෙක් ජීවිතක්ෂයට

අධික රශ්මිය හේතුවෙන් සතියක් ඇතුළත යාපනයේ පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විශේෂඥ ආර්.පේරානන්දරාජා  පැවසීය.

යාපනය ශීක්ෂණ රෝහලේ පැවති සාකච්ඡාවකදී මේ බව පැවසූ අධ්‍යක්ෂවරයා පවසා සිටියේ එම පස්දෙනාම ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි.

මේ දිනවල යාපනයේ ඌෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඌෂ්ණත්වය පසුගිය දිනවල සෙල්සියස් අංශක 40.5 දක්වා ඉහළ ගිය බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

ඌෂ්ණත්වය ඉහළ යාමත් සමඟ යාපනය ශික්ෂණ රෝහලේ වයෝවෘද්ධ නිදන්ගත රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇත්තේ එම රෝගීන්ට ‘උණුසුම් ආඝාතය’ වැලදීම නිසා බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් හෘද රෝග, මුත්‍රා ආසාදන, රුධිර නාල ආශ්‍රිත රෝග වැනි නිදන්ගත රෝග ඇති අය මෙම උෂ්ණ රෝගයෙන් මිය යාමට ඉඩ ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා මේ දිනවල වයෝවෘද්ධ පුද්ගලයින් එළිමහනේ යැවීමෙන් වැළකී සිටිය යුතු බවද පෙන්වා දුන්නේය.

ඒ හැරුණු විට මාංශපේශී රෝග, මාංශපේශී හිරිවැටීම, කායික රෝග රැසක් මේ උණුසුම නිසා වැඩි වීමට ඉඩ අති බැවින් වයෝවෘද්ධ අයගේ ශරීර උෂ්ණත්වය වැඩි වී ඔවුන්ට වැඩිපුර දහඩිය දැමීම නිසා ජලය වැඩිපුර පානය කළ යුතු යැයිද අධ්‍යක්ෂවරයා පැවසීය.

ජලය ශීතකරණවල නොතබා සිසිල් ස්ථානවල තබා නිතර පානය කිරීම, පලතුරු භාවිතය යන දේ මඟින් තාප ආඝාතය වළක්වා ගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දිනමිණ

මූජිබර් දිවුරුම් දෙයි

මුජිබුර් රහුමාන් අද(10) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.

ඒ, කතානායන මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී ය.

මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තෝරා පත් කර ගත් බව ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේ ය.

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග එම මන්ත්‍රි ධුරය පුරප්පාඩු විය.

Page 2 of 391