V2025

පුවත්

රතුපස්වල නඩුවේ තීන්දුව කල් යයි !

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි.

ඒ් අදාළ නඩුව අද (30) ගම්පහ මහාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය තිබූ නමුත් එය මෙසේ කල් තැබුණි.

ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදාය.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබීය.

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ !

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇත.

පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද දිවයින පුරා ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය 2024 මැයි 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරිණි.

“Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි ජාති, ආගම් බේදයකින් තොරව දිවයින පුරා ජනතාව ඒ සමඟ අත්වැල් බැඳගනු ලැබීය.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දුන් අතර ඉතිරි පරිත්‍යාගද ඉදිරියේ දී නිල වශයෙන් පලස්තීන රජය වෙත භාරදීමට නියමිතය.

2024 මැයි 31 දක්වා පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් මැයි 31 දිනට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.

මේ අතර, ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව විසින් පසුගියදා ප්‍රදානය කළ මූල්‍ය ආධාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ (UNRWA) කොමසාරිස් ජනරාල් ෆිලිපේ ලැසරිනි (Philippe Lazzarini) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ප්‍රශංසාව පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ විසින් සිදු කරන ලද හදිසි ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාව විසින් ලබා දෙන ලද දායකත්වය මඟින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ රැකවරණය යටතේ සිටින මිලියනයකට අධික පිරිසකගේ අත්‍යාවශ්‍ය මානුෂීය අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද මෙම ලිපියෙහි සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කර ඇති සහන සැලසීමේ වැඩසටහන් සඳහා අරමුදල් සපයා ගැනීමේදී පවතින ගැටළුකාරී තත්ත්වය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති ලැසරිනි මහතා එම වැඩසටහන් ඵලදායීව සිදු කිරීම සඳහා හවුල්කරුවන් විසින් ලබාදෙන දායකත්වයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද සඳහන් කර ඇත.

පලස්තීනයේ සිටින සරණාගතයින් සහ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ශ්‍රී ලංකාව විසින් ලබාදෙන දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පළ කරන ලැසරිනි මහතා, ඉදිරියේදී ද ශ්‍රී ලංකා රජයෙන් අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව ද සඳහන් කර තිබේ.

සා/පෙළ අවසන් වූ වහාම උ/පෙළ ආරම්භ කිරීමට පියවර

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහාම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම අභියෝගාත්මක කාර්යය සිදු කිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවයි.

ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බවත් මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා 1 සිට 11 දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලු‍වක් මෙහි දී මතු වන බැවින් ඊට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබා දීමට ක්‍රියා කරන බව ද සඳහන් කළේ ය.

මෙවැනි ක්‍රියා මාර්ග ගැනීමේ අරමුණ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි ප්‍රමාදයන් වැනි අනිසි ප්‍රමාදයන් වලක්වාගනිමින් මෙම වසරත් සමග වසර දෙකක කාලයක් තුළ පසුගිය කොවිඩ් සමයේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථා තත්වයට ගෙන ඒම බවත් එය සාර්ථක කරගැනීමට සියලු‍ දෙනාගේ ම සහයෝගය හා කැපවීම අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කළේ ය.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව විකාශය වීමේ සමාරම්භක අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්(Christian Skoog) හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් සඳහා නිවාස

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර භාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පවසයි.

තවත් නිවාස 11 ක ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී තිබේ.

පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකීරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි. ඉඩමක් සමග නව නිවසක් ඉදිකිරීම , නව නිවාස ඉදිකිරීම, නිවාස අලුත්වැඩියාව මේ යටතේ සිදු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි. කටුවා පිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සහන සැලසී ඇත. එම දේවස්ථාන ආශ්‍රිතව පමණක් නිවාස ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 90.855 කි.

කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 09 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ මෙලෙස පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට නව ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ලක්ද රජය මගින් ඉදිකර දී තිබේ.

ඊට ප්‍රතිපාදන සපයා ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයයි. මේ සදහා වැය කළ මුදල කෝටි 13 කට අධිකය. පන්ති කාමර 14 කින් සමන්විත මෙම ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ල තට්ටු 02 කින් සමන්විතය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කළ අතර පසුගිය අප්‍රේල් 09 වෙනිදා එම ගොඩනැගිල්ල දේවස්ථානයට භාර දීමට පියවර ගැනින.

කාලගුණයෙන් ප්‍රබල අකුණු ගැන නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

1 43

මහින්දට සේවා දිගුවක්

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන  වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති අරමුදල පැවසුවේය.

භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන  ඔහුගේ සේවා කාලය මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.

පොලිස් විනය ගැන පොලිස්පති අතටම

පොලිස් නිලධාරීන්ගේ විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  වෙත බාර දී තිබේ.

මෙය සකසා ඇත්තේ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසිනි.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණි.

ඒ් අනුව කමිටුව විසින් යෝජනා කරන ලද විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටළුවලට විසදුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පසුගිය 26වැනිදා කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  විසින් පොලිස් මූලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත භාරදෙන ලදි.

එම නිර්දේශයන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මාධ්‍යවේදීනට ‘ගරුසරු’ වෙබ් අඩවියක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට www.garusaru.lk වෙබ් අඩවිය හඳුන්වාදීම සහ ඔවුන් ඊට ඇතුළත් කර ගැනීම රත්නපුර වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ පැවති ජයගමු ශ්‍රී ලංකා – ජන මාධ්‍ය හමුවේදී සිදුවිය.

මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිවන සෑම ශ්‍රමිකයෙකුටම QR ඛේතයක් ලබදෙන අතර එමගින් අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සදහා වෘත්තීය ගරුත්වය ලබාදෙන වැඩසටහනට ලියාපදිංචි වන ශ්‍රමිකයින් දායක කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණ පවත්වන අතර රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග අමාත්‍යවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.

අවිධිමත් ශ්‍රමිකයින්ගේ වෘත්තීය ගරුත්වය නංවාලිම සඳහා ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහනට, ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමට නිර්මාණය කරනා ලද www.garusaru.lk වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදාහැරීම රත්නපුරය්දී ඊයේ ආරම්භ වූ ”ජයගමු ශ්‍රීලංකා ජනතා ජංගම සේවයේදී” සිදු විය. ‘ගරු සරු ‘ ව්‍යාපෘතිය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සංකල්පයකට අනුව හදුන්වාදෙන ලද්දකි.

අමෙරිකාවේ කෘෂිකර්ම උප ලේකම්වරිය සහ ජනපති අතර හමුවක්

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පරපුර ආකර්ෂණය කරගැනීම රජයේ කෘෂි නවීකරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

අමෙරිකා එක්සත් ජනපද විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම්වරිය ඊයේ (26) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේය.‍

අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර්  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර  ජනාධිපති කාර්යාලයේදී හමුවක් ඊයේ පස්වරුවේ දී සිදු වුණි.

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කර සිටියේ එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බවය.

මීට අමතරව රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඇලෙක්සිස් ටේලර් මහත්මියව දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබාදෙන බවට මෙහිදී උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.

මත්තල ගුවන්තොටුපල කළමනාකාරීත්වය ගැන කැබිනට් තීරණයක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙයි.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශවලට අනුව මත්තල ගුවන්තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt) Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර 30ක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස එලෙස අනුමැතිය ලැබී ඇත.

සජබට මන්ත්‍රීවරුන් 6දෙනාගෙන් නිදහසට කරුණු විමසීමේ තීරණයක්.

පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

 ඒ පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුවයි.

මහාචාර්ය ජී. එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ ය.

පොදුජන පෙරමුණ පැවසුවේ, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුමගත වූයේ සමගි ජන බල සන්ධානය ලෙසයි.

(News 1st)

සිරිසේන අමරවීරගෙන් බිලියනක වන්දියක් ඉල්ලයි : නොදුන්නොත් පොලියත් සමග ගන්න බව දන්වයි !

අමාත්‍ය මහින්ද අමරවීරගෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස දැනුම් දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන  නීතිවරයෙකු හරහා ලිපියකින් දැනුම් දී ඇත.

දින 14ක කාලයක් ඇතුලත එය නොගෙවන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවද අදාල ලිපියේ දැක්වේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ලියාපදිංචි තැපැලෙන් සහ කුරිය සේවාව මගින්

මහින්ද අමරවීර මහතා,
අංක බී 63. මහගම සේකර පාර,
කොළඹ 07.

මහත්මයානෙණී,

මාගේ සේවාදායක, කොළඔ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ අංක 77 සී නිවසේ පදිංචි ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ලියා දක්වන වග නම්,මගේ සේවාදායක ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වසර 50කට ආසන්න කාලයක් ක්‍රීයාකාරී දේශපාලනයේ යෙදුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කල සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිධූරය හොබවන ලද අයකු වේ. එතුමා මහවැලි, පරිසර සහ සෞඛ්‍ය වැනි වගකිවයුතු අමාත්‍යංශ ගනනාවක අමාත්‍යධූර දරමින් මේ රටට විශාල සේවයක් සිදු කොට ඇත. මෑත කාලයේදී සිදු කල දැවැන්ත ම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නායකයෙකි.

ඔබ 2024 අප්‍රේල් 22 වන දින ප්‍රසිද්ධ මාධයට ප්‍රකාශකරමින් මාගේ සේවාදායක සම්බන්දයෙන් පහත ආකාරයට ප්‍රකාශකරන ලදී.

“නිකන්ම රස්තියාදු කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන්නේ, ඒක සම්පූර්ණ අනීතිකයි. ඒ වගේම අධිකරණයට අපහස කිරීම, එතනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නෑ. වැඩ බලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණට අපහාසයක් කරලා තියනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. ඒ වගේම ඊයේ තිබුණු අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත්වීම කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත්කරලා තියෙන ඒ ආරක්ෂක කණ්ඩායම. කණ්ඩායමකට එන්න දීල නෑ, තර්ජනය කරලා තියෙනවා. පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය දැන් වෙන්දේසි කරනවා. දැන් පසු ගිය දවස් වල එතුමා මුන ගැසුණා ලංකාවේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලනවා කියල ප්‍රකාශයට පත් වෙච්ච, ඒ වෙලාවේ මෙතුමාගේ ඉල්ලීම මොකද්ද? මිලියන සීයක් එතුමාට තරග කරන්න මේකට දෙන්න කියලා, අපි ඒක විමසුවා පක්ෂයේ හිටපු සභාපතිවරයා හමුවුණු වෙලාවක මෙහෙම හමුවීමක් සිදු උනාද කියලා, ඔහු එය පිලිගත්තා. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් එහෙම කට අරගෙන කිවුවේ ආණ්ඩුවේ අය ඉන්න නිසාය කියලනේ අපිට චෝදනා කලේ. දැන් එතුමා රෙදි ඇඳගෙනද දන්නේ නෑ මහාචාර්යකමේ ඉඳගෙන කතා කරන්නේ. දැන් ඇමතිවරයෙක් නෙමෙයිද පත් කරලා තියන්නේ. එතකොට මහාචාර්යතුමාට කියක් හමු වෙලාද මේ කටයුත්ත යෝජනා කරන්න. මේක ස්ථිරකල එක්කෙනාට කොච්චර හම්බුනාද? නඩු හාරසිය ගාණක් තියෙන පුද්ගලයෙකුගේ ළඟ අධිකරණ ඇමතිවරයා වාඩි වීමම රටේ ජනතාවට ප්‍රශ්නයක් , අපෙන්ම අහනවා. ”

( හිරු ප්‍රවෘත්ති 6.55 , හිරු ටීවී )

එසේම මව්බිම පුවත්පතටද 2024/04/24 වන දින මෙබඳුම ප්‍රකාශයක් සිදුකර තිබෙන බවට මා වෙත උපදෙස් ලැබී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පැමිණ එම පක්ෂයේ බොහෝ තනතුරු දැරූ තැනැත්තෙකු වශයෙන් ඔබ ඉහත සදහන් ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යක් බව දැන දැනම කරන ලද ප්‍රකාශයකි. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තනතුර හොබවා වර්ථමානයේ පොළොන්නරුවේ ජනතාව තෝරාපත්කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන මේ රටේ බොහෝ ජනතාවගේ ගෞරව ආදරයට පත් කීර්තිමත් පුද්ගලයකු වශයෙන් එකී ප්‍රකාශය මගේ සේවාදායකට සෟජු සහ වක්‍ර ලෙස අපහාස කිරීමට කරන ලද බව දන්වා සිටී. මාගේ සේවාදායක කිසිදු තැනැත්තෙකුගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොමැති බවත්, ඔහු වංචා දුෂණ චෝදනා වලට ලක්ව නොමැති අයකු වබත් දැන දැන ඔබ විසින් ඉතා වෛරී සහගත සහ ද්වේශ සහගතව එම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරිම සහ පළ කිරීම නිසා දැඩි චිත්ත පීඩාවන් වලට මුහුණ දීමට සිදුව ඇත. ඔබගේ ප්‍රකාශය මෙරට බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍යවල විශාල වශයෙන් පල වු අතර මාගේ සේවාදායක දුෂණවලට සම්බන්ද අයකු ලෙස මතයක් ඔබ ගොඩ නගා ඇත.

එමගින් මාගේ සේවාදායකට සිදුවී ඇති අලාභය හෝ වන්දිමුදල රුපියල් මිලියන දහසක් (රුපියල් මිලියන 1000) ලෙස මාගේ සේවාදායක තක්සේරු කර සිටී.

එකී කරුණු අනුව එකී අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000 ක මුදල අද දින සිට දින 14ක් අතුලත මාගේ සේවාදායක වෙත ගෙවන මෙන් මෙමගින් දන්වා සිටින අතර ඔබ එසේ ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් එකී මුදල සහ ඒ මත නෛතික පොලිය අයකර ගැනීම සදහා ඔබට එරෙහිව නඩු පවරණු ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

නීතිඥ ජයමුදිතා ජයසූරිය.

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා - ජනපති

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවයට අද (25)එක්වෙමිනි .

ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප හෝටලය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.

මේ සියල්ල ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නියෝජනය කරනවා. ඒවගේම ඔබරෝයි හෝටලය ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම නාගරික හෝටලය වූ අතර බොහෝ කලකට පෙර මෙහි සංචාරක හෝටල් ආරම්භ කළේද ඉන්දියාවයි. ඒ නිසා ඉන්දියාව මෙන්ම සිංගප්පූරුව නියෝජනය කරන හෝටල් මෙහි පිහිටා තිබෙනවා. ඔබට ආසියාවේ කිසිම තැනකින් මෙවැනි සුවිශේෂී ස්ථානයක් ලබා ගත හැකියි කියා මම හිතන්නේ නැහැ.

මෙය කොළඹ නගරයේ සහ කොළඹ කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වනු ඇති බවට සැකයක් නැහැ‍. ඉන්දියාව තුළ නිර්මාණය කළ කාමර 10,000කින් යුත් හෝටල් සමූහයෙන් පසු ITC සමාගම ඔවුන් පැමිණිය යුතු හොඳම තැන ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා.

ඔබට දියුණු කළ හැකි ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන තිබෙනවා. ඉදිරි දශකය තුළ කොළඹ ජනාධිපති මන්දිරය මාදිවෙල ප්‍රදේශයට ගෙන යාමට නියමිතයි. ඒ සමඟ කොළඹ ජනරජ චතුරශ්‍රය, නාවික හමුදා මූලස්ථානය, පරණ ජැටිය, රේගු මන්දිරය සහ මහ තැපැල් කාර්යාලය ආදී ස්ථාන සියල්ලම කොළඹ සංචාරක නගරයේ අංගයන් ලෙස සංවර්ධනය කළ හැකියි.

මීට වසර දෙකකට පෙර රට පැවති තත්ත්වය ඔබට මතක බව මා සිතනවා. එදා හිටපු ජනාධිපතිවරයාගේ කාර්‍යාලය වටලා අරගලයක් දියත් වුණා. ජනතාව ඒ සඳහා යොමු වුණේ ආර්ථිකය බිඳ වැටී තිබු නිසයි. නමුත් කඩා වැටුණ ආර්ථිකය වසර දෙකක් තුළ ගොඩනැඟීමට අපට හැකි වුණා .

මේ වන විට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල් නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි. කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි . ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම් .

ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.එවිට ජනතාවගේ ජීවන ත්ත්වයද උසස් කළ හැකියි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

3ce0eb96 3995 4f07 85a8 78d57a0ceacf

ගෝඨා කාදිනල්ගේ චෝදනා හතරම ප්‍රතික්ෂේප කරයි !

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.

උපුටා ගැනීම

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී.

•පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් මට සහාය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට පවා සිදුවෙන බැවින්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව උන්වහන්සේ වෙත මා දන්වා සිටි බව.

•මම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල්තුමාට ලබා දීම ප්‍රමාද කළ බවත්, ඉතිරි වෙළුම් එතුමාට ලබා නොදුන් බව.

•පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විවිධ කමිටු සහ කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශ වලින් කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කිරීමට මා විසින් අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කළ බව.

•පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්ථාන මාරු වීම් ලබා දී, එම විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා එක් උසස් සීඅයිඩී නිලධාරියෙකු සිරගත කිරීමට පවා මා කටයුතු කළ බව.

පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කළ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි.මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේ දී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය.

කාදිනල්තුමන්ගේ දෙවන චෝදනාව ගත් කළ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාර දෙන ලද්දේ 2021 පෙබරවාරි 01 වෙනිදාය. එය මා විසින් අධ්‍යනය කර, නීතිපතිවරයාට ද යොමු කර, 2021 පෙබරවාරි 23 වැනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 මාර්තු 01 වෙනි දින වන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබා දීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින් එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලැයිස්තුගත කිරීමටත්, එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදා දීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුව, කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය.

2019 නොවැම්බර් මාසයේ දී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු, මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ කළ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා, පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් දී, රිමාන්ඩ් භාරයට පවා පත් කළ බවට කාදිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.

අදාළ CID අධ්‍යක්ෂවරයා 2017 වසරේ එම ධුරයට පත් කර තිබුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් මාස හතකට අධික කාලයක් ඔහු එම තනතුරේ දිගටම කටයුතු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපය තුල දී එම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින්ම සිදු කරන ලද වව්නතිව් ඝාතන, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ එම අධ්‍යක්ෂකවරයා යටතේ පැවති සීඅයිඩී යයි. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මීට වඩා විමසිලිමත් වූයේ නම් සහරාන් ඇතුළු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගෙන එම ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බව ජනාධිපති කොමිසම ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම අදාළ අධ්‍යක්ෂකවරයා යටතේ පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත් වීමකි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට මා අපොහොසත් වූ බව කාදිනල්තුමා ඉහත සඳහන් කතාවේ දී මට චෝදනා කර සිටියේ ය. කෙසේ වෙතත් අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නේ දේශපාලනඥයින් නොව පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එක්ව ක්‍රියා කිරීමෙනි. එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර මාධ්‍යවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 93 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නීතිමය කටයුතු ආරම්භ වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද්දකි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ CIDය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්‍ෂණය කළ යුතුය.

ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි ඉරාන - ශ්‍රී ලංකා ජනපති ඒකාබද්ධ මාධ්‍ය හමුවක !

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සමඟ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.

රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සාකච්ඡාව තුළින් කලාපයට පමණක් නොව ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ඉරාන ජනාධිපති රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය රටවල් දෙකටම ප්‍රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

පලස්තීන ගැටලුව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව සහ ඉරානය පිළිගන්නා බවයි. 1967 වසර වන විට පැවති දේශසීමා මත පදනම්ව එකිනෙකට යාබදව පිහිටි රාජ්‍යයන් දෙකක් ලෙස පිහිටුවීමට අදාළව එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුකූලව පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම අප්‍රේල් 24 වනදා විවෘත කෙරුණු උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවද පැවසූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්‍රයන්හි පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ සතුටු වන බවද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි  සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පුළුල් කර ගැනීමේ දී සීමාවක් හෝ බාධාවක් නොමැති බවයි.

දෙරට අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම තුළ පවතින බව පෙන්වා දුන් ඉරාන ජනාධිපතිවරයා ඉරානය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක තුළම ඉතා ඉහළ විභවයන් සහ හැකියාවන් පවතින බවත්, මෙම අවස්ථාවන් දෙරට අතර හුවමාරු කර ගැනීම රටවල් දෙකට මෙන්ම කලාප දෙකටද ප්‍රයෝජනවත් වනු ඇති බවත් පැවසීය.
ඒකාබද්ධ මාධ්‍ය හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසත්, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වන ලෙසත් මා කළ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිට මාගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය උත්පාදනය කර එක් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ ජල හිඟයට පිළියම් යෙදීම වෙනුවෙන් සැලසුම් කර ඇති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප එක්ව විවෘත කළා. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවෙන අතර ආහාර නිෂ්පාදනය, ස්ථාවර විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇති කිරිම සඳහා එය දායක වෙනවා.

උමා ඔය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර ලබා දීම පිළිබඳව පමණක් නොව ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍රවල දැනුම බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

මෙම ව්‍යාපෘතියෙන් හිමිවන ප්‍රතිලාභ අප ප්‍රදේශයේ ජනතාවට ලබාදී තිබෙනවා. පර්සියාවේ සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ ඉපැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි නූතන යුගයේ එකතුවක් ලෙස මම මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමට කැමතියි. නවීන ලෝකයේ අවශ්‍යතාවයන් වන විද්‍යාව හා තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය සහ බලශක්ති උත්පාදනය වැනි ක්ෂේත්‍රයන්හි විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන ඇති ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනතාවට මම සුබ පතනවා.

අද දින විවෘත කරන ලද උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවට පත්වෙමින් ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්‍රයන්හී පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ මම සතුටට පත්වෙනවා.

පසුගිය කාලසීමාව තුළ මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දුන් සහයෝගය පිළිබඳව අපගේ සාකච්ඡා අතරතුර මම මගේ කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය පිළිබඳව ද මම ජනාධිපති රයිසි මහතා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනාධිපති රයිසි  සිය විශ්වාසය පළ කළා.

එමෙන්ම අපගේ සාකච්ඡා අතරතුර දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික කටයුතු පුළුල් කර ගැනිම, දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ආදිය ඇතුළත් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අප අවධානය යොමු කළා.

අපගේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර සංස්කෘතික, අධ්‍යාපන, තරුණ කටයුතු, මාධ්‍ය, සංචාරක හා චිත්‍රපට කර්මාන්තය යන ක්ෂේත්‍රවල අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබුවා.

මෙම ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතාව මෙන්ම දෙරටේ ජනතාව අතර ද සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා විශාල හැකියාවක් පවතින බව අප දකිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM), G-77 සංවිධානය මෙන්ම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) වැනි අනෙකුත් කණ්ඩායම් ද ඇතුළුව බහුපාර්ශ්වික සහ කලාපීය සංසදවලදී රටවල් දෙක සමීපව කටයුතු කිරීම පිළිබඳව ද අප ඉතා සතුටු වෙනවා. බහුපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් වත්මන් ගෝලීය අභියෝග පිළිබඳව විවෘත හා ප්‍රයෝජනවත් සංවාදයක අපි නිරත වී සිටිනවා.

දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා ගෝලීය දකුණේ රටවල් සාමූහිකව කටයුතු කළ යුතු බවට අප එකඟ වුණා. ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි.

රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සාකච්ඡාව තුළින් කලාපයට පමණක් නොව ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මම සතුටු වෙනවා.

පලස්තීනයේ පවතින බරපතල තත්ත්වය සහ පලස්තීනයේ ජනතාවට අත්විඳීමට සිදු වී ඇති අතිමහත් වූ දුක් වේදනා පිළිබඳ අපගේ දැඩි කනස්සල්ල පළ කරනවා.ශ්‍රී ලංකාව සහ ඉරානය පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය පිළිගනු ලබනවා.

1967 වසර වන විට පැවති දේශසීමා මත පදනම්ව එකිනෙකට යාබදව පිහිටි රාජ්‍යයන් දෙකක් ලෙස පිහිටුවීමට අදාළව එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුකූලව පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටිනවා.

එවැනි ඕනෑම විසඳුමක් සඳහා පළමුව ගාසා තීරයේ සිදුවන මනුෂ්‍ය ඝාතන නතර කළ යුතුයි. දෙවනුව වසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුයි. තුන්වනුව, ස්වෛරී රාජ්‍යයන්ට ගරු කළ යුතුයි සහ සිව්වනුව සියලුම රාජ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මේ කරුණු පිළිබඳ අවධානය යොමු කර වහාම ගාසා තීරයේ මනුෂ්‍ය ඝාතන නතර නොකළහොත් එම විසඳුම සොයා ගැනීම දුෂ්කර වනු ඇත.

එක්සත් ජාතීන්ගේ පද්ධතිය ක්‍රියා විරහිත කිරීමෙන් සිදුවන්නේ ජාතීන්ගේ සංගමයට සිදු වූ ආකාරයටම එම පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය නැතිවීම පමණි. අප ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබෙනවා.

ශ්‍රී ලංකා රජය “ගාසා හි ළමා අරමුදල” පිහිටුවා ගාසා තීරයේ විපතට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා 2024 අප්‍රේල් 1 වන දින පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සැලසීමේ සහ ක්‍රියාත්මකවීමේ නියෝජිතායතනය (UNRWA) වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළා.

ඉරාන ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අපගේ රටවල් දෙකටම ප්‍රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය රයිසි මැතිතුමාගේ යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම මෙන්ම ඉරාන ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් මගේ සුබ පැතුම් එක් කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

📌 ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි :

ශ්‍රී ලංකාව වැනි රටක මගේ කණ්ඩායම සමඟ සංචාරය කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. ඉරාන ඉස්ලාමීය ජනරජයේ දැනුම, තාක්ෂණය සහ ශක්තිමත් සහයෝගීතාව මත ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරගත් විශිෂ්ට ව්‍යාපෘතියක් අද දින ජනතා අයිතියට පවරා දීමට ලැබීම පිළිබඳවද මම සතුටු වෙනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සාමාන්‍ය ව්‍යාපෘතියක් නොවෙයි. මෙය ඉරාන වෘත්තිකයන් විසින් විශාල කැපවීමකින් සහ විශේෂඥභාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසාධනය මූලික කරගනිමින් සම්පුර්ණ කළ ව්‍යාපෘතියක් බව කිවයුතුයි.

ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය කළ දා සිට ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට ඉරානය කටයුතු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා, මෙම සබඳතා වර්ධනය වී පුළුල් වී තිබෙනවා. අද අප දෙරට අතර ඉතා ඵලදායී සාකච්ඡා සහ කථා බහක් සිදු වුණා.

දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ, සංස්කෘතික, කෘෂිකාර්මික, සංචාරක, විද්‍යා මෙන්ම තාක්‍ෂණික ක්ෂේත්‍ර තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට අප එකඟ වුණා.

ඉරානය සහ ශ්‍රී ලංකාව යන මිත්‍ර රටවල් දෙක තුළම හොඳ විභවයන් සහ හැකියාවන් ගණනාවක් පවතිනවා. මෙම හැකියාවන් සහ විභවයන් අපගේ රටවල් දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීම සහ බෙදා හදා ගැනීම අපගේ රටවල් දෙකට, අපගේ ජාතීන් දෙකට සහ අපගේ කලාප දෙකට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා.

අප දෙරට අතර ආර්ථික, වෙළඳ, කෘෂිකාර්මික, විද්‍යාත්මක තාක්ෂණික ක්ෂේත්‍රයන් සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සොයා බැලෙන ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසමේ මීළඟ වටය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයාට මම ස්තූතිවන්ත වෙනවා.

තර්ජනවලට හෝ සම්බාධකවලට ඉරාන ජනතාව නැවැත්වීමට නොහැකි වූ බවත් ඔවුන්ට කිසි විටෙකත් රටේ සංවර්ධනය හා ප්‍රගතිය කඩාකප්පල් කළ නොහැකි බවත් මා මෙහි දී ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාව හමුවේ ප්‍රකාශ කරනවා.

අද ඉරාන ඉස්ලාමීය ජනරජය තාක්‍ෂණික සංවර්ධනයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස හැඳින්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඉංජිනේරු සහ තාක්‍ෂණය පිළිබඳ අපගේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ද ලබාදීමට අප සූදානම් බව ප්‍රකාශ කළ යුතුයි.

මෙම සහාය ලබාදීම තුළින් ශ්‍රී ලංකාවෙ ආර්ථික වර්ධනයට දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳ හොඳ උදාහරණයක්.

අද මුස්ලිම් රටවලට සහ මුස්ලිම්වරුන්ට පමණක් නොව ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන සියලුම මිනිසුන්ට ඇති ප්‍රධානම අභියෝගයන්ගෙන් එකක් වන්නේ පලස්තීනයයි. එය මහා පීඩනයක් වගේම රටට ලොකු තර්ජනයක් ලෙස මම දකිනවා.

ඒ වගේම එය පලස්තීනයේ සහ ගාසා තීරයේ ජනතාවට කරන මහා අපරාධයක් බව කිවයුතුයි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන මෙම බිහිසුණු අපරාධය සියලු මිනිසුන්ගේ කනස්සල්ලට හේතු වන කාරණාවක්. මේ ප්‍රශ්නය නිසා සියලු දෙනා කණස්සල්ලට පත් වෙලා සිටිනවා. නමුත් ජාත්‍යන්තර ආයතන සහ සංවිධාන මෙන්ම ඒවා බාරව සිටින පුද්ගලයින් ගාසා තීරයේ සහ පලස්තීනයේ සිදු කරන ජන සංහාර සහ ළමා ඝාතන නතර නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්.

අද වන විට ගාසා තීරයේ මෙතරම් අපරාධ සහ ළමා ඝාතන සිදු වන බව දැකීම ඉතා කණගාටුදායකයි. මුස්ලිම්වරුන් පමණක් නොව, ලොව පුරා සිටින සෑම ජන කොට්ඨාශයක්ම මෙම සාහසික ක්‍රියා සහ ඝාතන හෙළා දකිනවා.

මිනිස් ස්වරූපයෙන් සිටින වෙනත් ජීවීන් පිරිසක්, සතුන් පවා සිදු නොකරන අන්දමේ මෙවැනි අපරාධ සිදු කරන බව ඇතැමෙකුගේ විශ්වාසයයි. අවාසනාවකට අද වන විට වඩාත් කණගාටුදායක කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ සියලුම මානව හිමිකම් ආයතන සහ සංවිධාන ඔවුන්ගේ කාර්යක්ෂමතාව හා ක්‍රියාකාරිත්වය නැති කර ගෙන තිබීමයි. ඔවුන් මෙම ජන සංහාරයට හෝ මෙම අපරාධයන්ට එරෙහිව ඒවායේ අවසානය තෙක් කිසිදු ස්ථිර ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.

ගාසා තීරයේ අහිංසක ජනතාවට එරෙහිව සියොන්වාදී ඊශ්‍රායල පාලනයේ බෝම්බ ප්‍රහාර සහ එම ප්‍රහාර වහා අවසන් කිරීම පිළිබඳව සහ මෙම අහිංසක මිනිසුන්ට ජලය, ආහාර, ඖෂධ සහ බෙහෙත් ඇතුළු ආධාර කඩිනමින් ලබා දීම සම්බන්ධයෙන් වූ අපගේ ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ මම සාකච්ඡා කළා.

මෙහි වැදගත් කාරණය වන්නේ පලස්තීනයේ ප්‍රශ්නය සහ එම ප්‍රශ්නය විසඳීම සඳහා වන පිළිතුරයි. ඉරාන ඉස්ලාමීය ජනරජය මුලුමනින්ම සහ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ආරම්භ කර තිබෙනවා. එනම්, සෑම පලස්තීනුවෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමයි. මෙයින් මා අදහස් කරන්නේ පලස්තීනුවන්, මුස්ලිම්, ක්‍රිස්තියානීන් හෝ යුදෙව්වන් වේවා, ඔවුන් සෑම කෙනෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි.

එමඟින් ඔවුන්ට මීළඟට පැමිණෙන රජය පිළිබඳව තීරණය කළ හැකි වෙනවා. මෙය සම්පුර්ණයෙන්ම යුක්ති සහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී මුලපිරීමක්. පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කොල්ලකෑම සම්බන්ධයෙන් ගත් කළ, සියොන්වාදී ඊශ්‍රායල පාලනය වසර 75 ක් තිස්සේ පලස්තීනයේ ජනතාවට පීඩා පමුණුවමින් සිටිනවා. ඔවුන් සිය බල ප්‍රදේශ කොල්ලකමින් සිට තිබෙනවා. එබැවින් කොල්ලකරුවන් සහ පීඩකයන් සම්බන්ධයෙන් ගත් කළ, ඔවුන්ගේ මෙහෙයුම් සිදු කිරීමට වැඩි ඉඩකඩක් සහ නිදහසක් අප විසින් ලබා නොදිය යුතුයි.
නමුත් පළමුවෙන්ම, අපි පීඩකයන් එළවා දැමිය යුතු වෙනවා. අනතුරුව, ඔවුන් විසින් සිදු කරන ලද සියලුම හානි සඳහා වන්දි ගෙවීමට අප කටයුතු කළ යුතු වෙනවා. තෙවනුව, අපි එම පීඩකයන් සහ කොල්ලකරුවන් නීතිය ඉදිරියට රැගෙන ආ යුතුයි.

වෙනත් කණ්ඩායමක් විසින් අනෙකෙකුට අයත් ඉඩම් සහ භූමි ප්‍රයෝජනයට ගැනීම හෝ අත්පත් කර නොගන්නා බව තහවුරු කිරීමට හැකි කිසිඳු සහතිකයක් නැහැ. අපි ඔවුන්ව යුක්තිය ඉදිරියට ගෙන නොයන්නේ නම්, ඔවුන් තව නව භූමි ප්‍රදේශ කිහිපයක් ද අල්ලා ගැනීමට කටයුතු කරනු ඇතියි.

ඔවුන් තම ජනතාවට, ඔවුන්ගේ කාන්තාවන්ට සහ දරුවන්ට එම ප්‍රදේශවලින් ඉවත් වීමට බල කරනු ඇතියි. ලෝකයේ සාධාරණ අවකාශයක් ස්ථාපිත වී ඇති බව අප ඔප්පු කළ යුතු වෙනවා. සාපරාධී සියොන්වාදී ඊශ්‍රායල පාලන තන්ත්‍රය ඉතා යුක්ති සහගත ලෙස එහි ක්‍රියාමාර්ග හා ක්‍රියාමාර්ගවලට වගවීම පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයෙන් විමසිය යුතු වෙනවා. ඒ නිසා කිසිවෙක්, කිසිම පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ කිසිම රටක් කාන්තාවන් සහ ළමයින් මරා දැමීම, වැසියන් ඔවුන්ගේ භූමියෙන් බලහත්කාරයෙන් නෙරපීම වැනි දේ නොකළ යුතු වෙනවා.

අපව පිළිගැනීම සහ අපට සංග්‍රහ සත්කාර කිරීම පිළිබඳව මම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාටත්, රජයටත් ස්තූතිවන්ත වෙනවා. මගේ මෙන්ම ඉරාන රජයේත් ස්තූතිය ඒ වෙනුවෙන් පිරිනමනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළඳ මෙන්ම සංස්කෘතික සබඳතා පුළුල් කිරීම සඳහා සීමාවක් හෝ බාධාවක් නොමැති බව මා ප්‍රකාශ කරනවා. අප දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අප දෙරටම අධිෂ්ඨානයෙන් කටයතු කළයුතු වෙනවා. එසේම අපගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ අවශ්‍යතා අපගේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම තුළ පවතින බව අපි තදින්ම විශ්වාස කරනවා.

a0116977 47fe 49b9 93b4 22a92b1347be

ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුමින්ද : විජේදාසට NO චාන්ස් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත්කරගෙන තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (25) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රීලනිප වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මෙම දේශපාලන රැස්වීම පවත්වා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය දවසින් දවස ඔඩුදුවන්න ගෙන ඇති බවක් කෙරේ.

ඊයේ (24) දිනට පමණක් එම පක්ෂයට අදාළ අධිකරණ වාරණ නියෝග තුනක් පැනවිණ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත්කළ වාරණ නියෝගය, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කල වාරණ නියෝගය සහ , මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස ගනු ලැබු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කල වාරණ නියෝගය වශයෙන්ය.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබුනේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.

මෙම වාරණ නියෝග මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවද නියෝගවල සඳහන් වෙයි.

මෙසේ වාරණ නියෝග පැනවීමත් සමඟ ශ්‍රීලනිප සිරිසේන පාර්ශවයේ වැඩ ඇනහිට ඇති බවත් වාර්තා වෙයි. එහිදී හිටපු ජනාධිපති සිරිසේන පාර්ශ්වය නියෝජනය කළ තිලංග සුමතිපාල ද එම සබඳතා අත්හැර දමන තැනට පැමිණ ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂය තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසයක් පක්ෂයේ සාමාජිකයන් තුළ නොමැති බවත් , ඔහු කෙරෙහි පක්ෂයේ සාමාජිකයන් තුළ තිබූ විශ්වාසය ඔහු විසින්ම මේ වනවිට මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල පවසා තිබේ.

ඒ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදීය. එහි වැඩිදුරටත් පවසා ඇත්තේ අධිකරණ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් පැනවීම දෛවයේ සරදමක් බවය. තමන්ගේ බලය සහ ශක්තිය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීම හේතුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් නිකුත්වීම එතුමාගේ තනතුරටත්, දේශපාලනයටත් කැළලක් ලෙස ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මෙම නඩු හබ හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට ශ්‍රීලනිප ''අත '' ලකුණෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමේ අවස්ථාවද අහිමිවනු ඇති බවය.

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලව ඇප මත මුදාහැර තිබේ.

කඳාන පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසු ඔහු වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

අධිකරණ තීන්දුව අනුව ගුරු සේවයට බඳවා ගන්නවා - අධ්‍යාපන ඇමති

සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාග වන නිසා අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ ‍කළේ දිවිසවිය වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට 2023 මාර්තු මස තරඟ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහිදී අධිකරණය විසින් පැනවු අතුරු තහනම් නියෝගය හේතු කොට ගෙන පැවැත්වීමට නියමිතව තිබු විභාගය අත්හිටවනු ලැබූ බවයි.

මේ වනවිට එම පෙත්සම් විභාග වන බව ද පැවසීය.

තවද, සංවර්ධන නිලධාරීන්හට අසාධාරණයක් වී ඇති බව පවසමින් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවාට වඩා විවිධ හේතු මත පදනම්ව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති සංවර්ධන නිලධාරීන් මෙම පෙත්සම් ඉවත් කර ගත්තා නම් එම නඩුව අවසන් බවත්, ඊළඟ සති දෙක තුන තුළ ඉදිරි කටයුතු සිදු කර ගත හැකි බවත් පැවසීය.

නැතහොත් අධිකරණය හමුවේ එම පෙත්සම් විභාග වන බැවින් අධිකරණය විසින් ලබා දෙන තීන්දු ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

Page 6 of 391