V2025

පුවත්

අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව‍ : පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

අද (13) රාත්‍රියේ උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම් වෙයි.

අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයින් පරණ අවුරුද්දේ සිය නිවෙස් පිරිසිදු කිරීම් හා අලුත් අවුරුදු කැවිලි පෙවිලි ආදිය සකසා ගැනීම සිදු කළහ.

ඔවුන් මේ කටයුතු සියල්ල පුණ්‍ය කාලය ලැබීමට පෙර අවසන් කළේ ය.

මෙවර අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ අද (13) රාත්‍රී 9 යි 05 ටයි.

ඒ අනුව අද පස්වරු 2.41 ට පුණ්‍ය කාලය උදා විය.

එය අප්‍රේල් 14 වැනි ඉරිදා අලුයම 3.29 න් අවසන් වන බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ ‍ හෙට (14) රාත්‍රී 11.06 ටයි.

නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා. තල - උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත අප්‍රේල් මස 14 වැනි ඉරිදා අලුයම 12.06 ට යෙදි තිබේ.

ජ්‍යෝතිශයේ දැක්වෙන්නේ නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි

හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වැනි සඳුදා පෙරවරු 10.17 ට යෙදී ඇත‍.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද, පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වන බදාදා උදෑසන 06.52 ට යෙදී ති‍බේ.

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් වේ.

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝක වාසී සියළු දෙනාටම නිරෝගීමත්, සාමය සතුට සපිරුණු සුබ නව වසරක් වේවායි නිවුස් ටියුබ් පාඨක ඔබ සැමට සුබ පතන්නෙමු.

රැඳවියන් 917 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන් 917 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි.

මෙම සමාවට සුදුසුකම් ලැබූ රැදවියන් අද නිදහස් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කර ඇත.

මේ අතර අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද දිනයේදී ද ඥාතීන්ට ලබාදෙන අතර නිවසින් රැගෙන එන ආහාර ද ලබාදීමට හැකි වේ.

එහිදි රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අදාළ ද්‍රව්‍ය රැඳවියන් වෙත ලබාදීමට නියමිතය.

මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි

මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ(12) උදෑසන IndiGo ගුවන්සේවයේ Airbus A320 ගුවන්යානයක් ගුවන් ගමන් අංක 6E1185 යටතේ ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

ඒ අනුව IndiGo සතියකට තුන් වතාවක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පැමිණීමේ වේලාව : CMB – 0935
පිටත්වීමේ වේලාව : CMB – 1035 සිට

මේ වන විට IndiGo සේවය චෙන්නායි සිට දිනකට ගමන් වාර 2ක්, බැංගලෝර් සිට දිනකට එක් ගමන් වා‍රයක් හයිද්‍රාබාද් සිට සතියකට ගමන් වාර 6ක් ලෙස කොළඹ දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරයි.

මුම්බායි නව ගුවන් වාර සමගින් IndiGo ගුවන්සේවය සතියක දී කොළඹ දක්වා ක්‍රියාත්මක කරනු ලබන ගමන් වාර ප්‍රමාණය 30 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට IndiGo ගුවන්සේවය එළඹෙන ජුනි මස මුලදී චෙන්නායි සිට යාපනය ගුවන්තොටුපොළ දක්වා දිනපතා ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය ලබාගෙන ඇත.

සජිත්ගේ ප්‍රධාන උපදේශකට එරෙහිව : පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ග !

ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කර ඇත.

එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසන්නේ සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව පොදුජන පෙරමුණේ සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂ සමග ගිවිසුම්වලට එළඹෙන්නන්ට එරෙහිව ඉදිරියේ දී ද විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය දුන් බව ද ඔහු පැවසුවේය.

කෙසේ වුවත් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර සිට ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

අලුත් අවුරුද්දට ළමා නිවාසවල දූ දරුවන්ට ජනපතිගෙන් තෑගි !

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව හෙට (13) සිදු කෙරේ.

නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධිපති කාර්යාලය විසින් "සිලෝන් බිස්කට් සමාගම " ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් 10,000කට අධික පිරිසක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීමෙන්, යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ ගේ අධික්ෂණය යටතේ යුද හමුදාව තෑගි පාර්සල් බෙදා දීමට එක් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දීර්ඝ කාලයක් පුරා නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන්ට අවුරුදු තෑගි බෙදා දීම සිදු කරන අතර, මෙවර එම වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් රට පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරුදු තෑගි ලබා දීමට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-12

කුරුණෑගල රෝහලෙන් කොවිඩ් මරණයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තා වේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සිදු යුතු බවද ⁣කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බරපතළ කරුණක් වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේවනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සිදුවන බවද මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවද පැවසේ.

ලංකාදීප

රනිල් යළි ජනපති කරවීමට කොළඹ පෙරමුණ ගන්නවා : රවී

එළැඹෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට කොළඹ දිස්ත්‍රික් ජනතාව මූලිකත්වය ගන්නා බව හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසයි.

මීට වසර දෙකකට පෙර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ගෙන්වා ගැනීමට නොහැකිව තිබූ රට මාස 23ක් වැනි කාලයක් තුළ ගොඩනැගීමට ජනාධිපතිවරයා සමත්වු බව පෙන්වාදුන් ඒ මහතා තවදුරටත් වචනවලින් තොරන් ගහන දේශපාලනය වලංගු නොවන බවද පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ 2010 වසරේ දී කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාව අමතමිනි.

පෞද්ගලික අපේක්ෂා ඇතුළු විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂය හැරගිය පාර්ශ්ව සත්‍යය අවබෝධ කරගෙන නැවත එක්වීමේ අපේක්ෂාවෙන් සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය ,එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මෙසේද පැවසීය.

2015 දී තමයි මේ කජීමා වත්ත ජනතාව වෙත නිවාස බෙදාදීම සිදුකිරීමට සැලසුම් කර තිබුණේ. නමුත් එවකට සිටි ජනාධිපති ඊට හරස් වුණා. නමුත් 2024දී එම කටයුත්ත සාර්ථක කරගන්නට හැකිවුණා. එදා මේ ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමට අගමැති ලෙස මැදිහත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති ලෙස මේ අවස්ථාවට පැමිණීම ගැන ස්තූති කළ යුතුයි.

මීට වසර දෙකකට පෙර රට තිබූ තැන අපි හැමෝම දන්නවා. එයින් වැඩියෙන් පීඩාවට පත්වූ කොළඹ ජනතාව ඒ ගැන හොඳටම දන්නවා. අර්බුදය පැමිණීමට පෙර ගොඩක් කයිවාරුකාරයන් හිටියා . නමුත් අභියෝගය පැමිණි අවස්ථාවේ ඊට මුහුණදීමට කවුරුත් හිටියේ නෑ . ඒ අභියෝගය බාරගන්න ඉදිරිපත් වුණේ එදා පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ යි. තනි අලියා අභියෝගය බාරගත්තා වගේම මාස 23ක් ගතවෙන විට ප්‍රතිඵල පෙන්වා තිබෙනවා .

එදා අපි රටක් ලෙස ජාත්‍යන්තරය තුළ හුදෙකලා කර කොන් වී හිටියේ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවත් ගෙන්වාදීමට නොහැකිව තිබුණේ. එදා ස්විච් එක දැමීමට විදුලිය තිබුණේ නෑ . දරුවන් කිරි ඉල්ලා අඬමින් හිටියේ. ඉන්ධන නැති නිසා බස් වැඩ කරේ නෑ . අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා.

අද ඉන්ධන තියෙනවා . ගෑස් තියෙනවා . ආහාර තියෙනවා . බස් ධාවනය වෙනවා. පෝලිම් යුගය අවසන් කර තියෙනවා . සංචාරකයන් ගේ පැමිණීම වැඩි වෙලා. ඒ වගේම මේ වගේ නිවාස ලබාදීමටත් හැකිවී තියෙනවා. වසර දෙකකට පෙර මෙවැනි නිවාස ව්‍යාපෘතියක් ජනතාවට දෙන්න හිතන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ . ඒක තමයි යථාර්ථය.

ජනාධිපතිතුමනි, ඔබ දැක්කා කජීමා වත්ත ජනතාව ජීව්ත් වන ආකාරය. උතුරු කොළඹ ආසනයේ ජනතාව දුප්පත් වෙන්න පුළුවන් . නමුත් හදවතින් පොහොසත් ආසනයක්. ඒ නිසා තමයි කජීමා වත්ත ජනතාවට නිවාස 294ක් දීමේ මේ අවස්ථාවට මෙතරම් පිරිසක් පැමිණ සිටින්නේ. ඔවුන් තම සහෝදරත්වය පෙන්වා තිබෙනවා .

අවුරුදු 14ක් කජීමා වත්ත ජනතාව දුක් වින්දා. හත් වතාවක් මේ ප්‍රදේශය ගිනි ගත්තා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 12855ක මුදලක් වෙන් කරලා, ඒ ජනතාවට නිවාස අයිතිය ලබාදී තිබෙනවා. එහිදී දේශපාලන භේදයක් නෑ .

මෙහිදී වැදගත් කරුණක් කියන්න ඕන . ඒ තමයි මේ ලබාදෙන නිවාස නඩත්තු කර හොඳින් පවත්වා ගෙන යාම. මම දකිනවා නිවාස නඩත්තු කර පවත්වාගෙන යාමේ අඩුවක්. ඒ නිසා මෙහි තිබෙන ෆ්ලැට් 28 නඩත්තු කර හොඳින් තබාගැනීමේ වැඩපිළිවෙළක් මගේ සභාපතිත්වයෙන් යුතුව දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි අනෙක් සියලු දිස්ත්‍රික්ක වෙත ආදර්ශයක් දෙනවා.

ඔබට දැන් ඔබේම කියා නිවසක් තිබෙනවා . එය ඔබට ආඩම්බරයෙන් ජීවත්වෙන්න පුළුවන් තැනක් බවට පත්කර ගන්න. අද දෙන මේ නිවාස අවුරුද්දක් දෙකක් යනකොට කඩාවැටෙන තත්ත්වයට පත්වුණොත්, එය අපි හැමෝගෙම වරදක් වෙනවා. තවදුරටත් ඔබ ජීවත් වන්නේ කුලි නිවාසයක නෙවෙයි. ඔබ සියලු දෙනා ට, නිවසක සින්නක්කර අයිතිය ලැබී තිබෙනවා . දැන් නිවාස කුලිය ලෙස ගෙවීමට තිබූ 4500 ඉතුරු නිසා ඒ මුදල් දරුවන් ගේ සෞඛ්‍ය , අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කළ හැකියි.

බිලියන ගාණක වත්කමක් ජනතාව ට ලැබෙනවා. දුප්පත්කම අඩු වෙනවා. ජන ජීවිතය දුෂ්කර බව අපි දන්නවා . නමුත් රට බංකොලොත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නෙවෙයි . නමුත් රට යළි ගොඩනගන්න සිදුව තිබෙන්නේ එතුමාටයි. මීට පෙර හරින් සහ සාගල කිව්වා වගේ හරියට හිතන්න. හරියට හිතලා ක්‍රියාත්මක වෙන්න. තව මාස 7කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජන්ද කාලෙට එක එක පාර්ශ්ව අරක අඩු කරනවා. මේක අඩුකරනවා කියයි.නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිය හරි දේ කිරීමයි. හරි දේ කරලා, රට හරි මාර්ගයේ ගෙනයාමයි. අපි එහෙමයි රට ගොඩනගන්නේ.
මේ රටේ ඉන්න මිලියන 22 ක ජනතාව ගේ සිහිනයක් තමයි කොළඹ නිවසක් හිමිකර ගැනීම. ඉදිරියේදී නිවාස 53800ක් ජනතාව ට ලබාදීමට නියමිතව තිබෙනවා . ඒ සියල්ල දෙන්නේ සත පහක් නොගෙන . ඒ වගේම ජනතාව ගේ ඉඩම් අයිතිය ලබාදෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිය ඉඩම් රජය යටතේ තබාගැනීම නෙවෙයි . ඒවා ජනතාව වෙත ලබාදීමයි. ඒ අනුව ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් අයිතිය හිමිවෙනවා.

පාඩු ලබන ශ්‍රී ලන්කන් එක වානිජකරණය කරන විට, හිල්ටන් හෝටලය පෞද්ගලීකකරණය කරන විට සමහරු චෝදනා කරනවා අපි ඒවා විකුණනවා කියලා . නමුත් ඒ විකුණලා කරන්නේ මේ නිවාස නැති ජනතාව ගේ නිවාස ප්‍රශ්නය විසඳීම වැනි ව්‍යාපෘති යි. එයින් බිලියන ගාණක වත්කමක් ජනතාව ට ලැබෙනවා. දුප්පත්කම අඩු වෙනවා. එහෙම නම් පෞද්ගලීකකරණයට විරුද්ධ වෙන්න පුළුවන් කුහකයන්ට විතරයි .

ඇතමුන් පරාජය හමුවේ ප්‍රතිපත්ති පාවා දුන්නා. ඇතමුන් පක්ෂය පාවා දුන්නා . පෞද්ගලික සහ විවිධ හේතු මත පක්ෂය හැරදමා ගිය අය ඉන්නවා . ඔවුන්ට අද යථාර්ථය තේරුම් ගිහින්. වැරදි පාරේ ගිය අය නැවත පක්ෂයට එකතු වෙන්න සූදානමින් ඉන්නවා.

දේශපාලන පොර පිටියේ පක්ෂ දෙකක් තියෙනවා . එකක් නිවන්සුව පතන පක්ෂය . අනික Unp ඩුප්ලිකේට් පක්ෂය. ඒ පක්ෂය නම් පසුගිය දින වල ජනාධිපතිවරයා ම හොඳට ඇමතුවා දැන් බලන්න ඔය හොර බොරු නෑ කියලා , නිවන් සුව පතන පක්ෂයේ ප්‍රතිපත්තිය දෙස. ඔවුන්ගේ නායකයන් ගේ වම් සපත්තුව ගන්නේ සුනිල් ගෙන්. දකුණු සපත්තුව ලාල් ගෙන්. කමිසය ගන්නේ උඩ මහලේ ඉන්න ලාල් ගෙන්. කලිසම යට තට්ටුවේ කුමාර ගෙන්. දැන් එයාලා තමයි ඇවිත් කියන්නේ ණය නොගෙන රට හදනවා කියලා . ජීවිතයම ණයට ගන්න උදවිය ණය නොගෙන රට හදන විහිලු කතා කියනවා. ඔවුන් එහෙම මේ විදිහේ නිවාස ව්‍යාපෘතියක් දෙන්න ගියොත් කියාවි ඇස්බැස්ටෝස් කියුබාවෙන් ගේනකල් ඉන්න කියයි. සිමෙන්ති තවත් රටකින් ගේනකල් ඉන්න කියයි.

නායකයන් කියන්නේ කටින් බතල හිටවන අය නෙවෙයි . වචන වලින් තොරන් බඳින දේශපාලනය ඉවරයි . ජේ ආර් ජයවර්ධන ගාමිණී දිසානායක යොදවා මහවැලි ව්‍යාපාරය හැදුවා. අදටත් විදුලි නිෂ්පාදනයෙන් 33%ක් ජල විදුලිය ලෙස ලැබෙන්නේ එදා දියත් කළ එම වැඩකටයුතු නිසයි. ලලිත් ඇතුලත්මුදලි මහපොළ ගෙනාවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිගණක භාවිතය රටට හඳුන්වා දුන්නා. ක්‍රිකට් , ආයෝජන කළාප බියගම සහ කටුනායක ඇතිකළා. ප්‍රතිඅපනයන ය හඳුන්වා දුන්නා . මේ සියල්ල සිදුකළේ එජාපය යි.

කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ , කවුරුත් සමගියෙන් ඉන්න දිස්ත්‍රික්කයක් අපි අන්තවාදය ප්‍රතිකේෂ්ප කරනවා. කාටවත් මේ සමගිය නැති කරන්න දෙන්න බෑ. කොළඹ කවදත් කොළ පාටයි. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය කරන්න ඕන . ඒ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා වගේම එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ගෙන විත් ජයග්‍රහණය කරවීමට මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව පෙරමුණ ගන්නවා .

ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව තියෙනවා - නාමල්

තමාගේ නම කෙසේ වෙතත් පොහොට්ටු ලකුණ අනිවාර්යයෙන්ම මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පවසා තිබේ.

පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ ද සිටිය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එබව කියා සිටියේය.

''කාලානුරූපීව මේ රටේ පක්ෂවල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.'' නාමල් පැවසිය.

පොහොට්ටු පක්ෂය තුළ ජනපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට හොඳ තරගයක් පවතින බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

“ජනාධිපතිවරණයක් ආසන්න වනවිට තරඟකාරීත්වයක් ඇති වෙනවා. ඒ තරඟාකාරීත්වය තුළින් තමයි හොඳම අපේක්ෂකයා තෝරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ පක්ෂය ඇතුළේ ජනපති අපේක්ෂකයෙකු තෝරා ගන්න ඉතාමත් හොඳ තරඟයක් තිබෙනවා. අපිට ව්‍යවසායකයින් වගේම මාධ්‍ය ආයතන හිමිකරුවන් ද සිටිනවා. මේ සමහර අය අතර පක්ෂය හැදුවා කියන අයත් ඉන්නවා. මේ අය ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න ඕන. එවිට අපිට පුළුවන් තීරණයක් ගන්න.”

පක්ෂය තීන්දු ගැනීමට පෙර පෞද්ගලික තීන්දු ගැනීම හේතුවෙන් පොහොට්ටු පක්ෂය අර්බුදයට ගිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“වගකිවය යුතු දේශපාලනඥයින් ලෙසත් පක්ෂයක් ගොඩනගපු අය හැටියටත් අපි වගකිව යුතු කරුණු සම්බන්ධයෙන් පෞද්ගලික තීන්දු ගත යුත්තේ පක්ෂ තීන්දු වලට පසුවයි. පෞද්ගලිකව අපි කවුරුවත් නිර්පාක්ෂික නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජය කරන්නේ. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. නමුත් මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර යම් එකඟතාවකට පැමිණිය හැකියි.” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රබල අකුණු සමග තද වැසි - කාලගුණයෙන් නිවේදනයක්

 අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවත්, එය දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං ද හටගනු ඇති බව පෙන්වා දෙයි.

කජීමාවත්තේ  ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයනෙන් නිවාස : රවීගේ උත්සාහය ඵලදරයි !

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට ඊයේ (09) පස්වරුවේ එක්වීමෙනි.

2010 වසරේ කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීම මෙහිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

වසර දහයකට වඩා කාලයක් කජිමාවත්තේ ජනතාව ජීවත් වී තිබෙන්නේ අපායක් වැනි ස්ථානයකයි. එහි ජීවත් වුනේ කොහොමද යන්නත් හිතාගත නොහැකියි. එවැනි පසුබිමක මෙම මහල් නිවාස කඩිනමින් ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ සතුටුවනවා. මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා විශාල උනන්දුවක් දැක්වූවා. ඔබට අද ලැබෙන මෙම නිවස ඔබේ වටිනාම දේපළ බවට පත්වෙනවා. එය ආරක්ෂාකාරීව භාවිත කිරීම ඔබ සතු වගකීමක් වෙනවා. පසුගිය වසර දහයක කාලය තුළ දුක් වින්ඳ ඔබ මෙම නිවාස උගස් තියන්න හෝ විකුණන්න එපා. තමන්ගේ ජීවිතය වගේ මෙම නිවාස රැකගන්න කියා මා ඉල්ලා සිටිනවා.

2022 වසරට වඩා සැහැල්ලුවෙන් හුස්ම ගන්න සමාජ වටපිටාවක් වසර දෙකක කාලයක් ඇතුළත ගොඩනැඟීමට අපට හැකි වුණා. ආහාර,ගෑස්, ඉන්ධන පෝලිම්වල දුක් වින්ඳ ජනතාව අද සාමාන්‍ය ලෙස ජීවත් වෙනවා . පෝලිම් යුගයේදී වැඩියෙන්ම දුක්විඳීමට සිදු වුණේ කොළඹ ජනතාවටයි. එයිනුත් මහල් නිවාසවල හා වතුවල ජීවත් වූ ජනතාව විශාල දුකක් වින්ඳා. ආර්ථිකය යහපත් කිරිම වෙනුවෙන් අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය නිසා ජීවන බර තවත් වැඩිවුණු බව අප පිළිගන්නවා. නමුත් එය ඔබ දරා ගත් නිසා අද වන විට ණය ගැනීමකින් හෝ මුදල් මුද්‍රණය කිරීමකින් තොරව රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ නිසාම මේ වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමට අපට හැකි වුණා. රුපියල ද ශක්තිමත් වුණා.

එම දුක්විඳි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පුවක්, සින්නක්කර නිවසක් ලබාදීම ඔවුන්ට කරන ස්තුති කිරීමක් ලෙස මා දකිනවා. ඉදිරියේදී නිවාස 50,000කට අධික සංඛ්‍යාවක් ජනතාවට ලබා දෙනවා. මා අගමැතිවරයා ලෙස සිටියදී චීන රජයෙන් ලබාදුන් නිවාස 1996ද ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබාදීමට පියවර ගන්නවා. ඉඩම් අයිතිය හෝ නිවාස අයිතිය සින්නක්කරව ලබාදීම මීට පෙර සිදු වුණේ නැහැ. ඉදිරියේදී අධ්‍යාපන අයිතිය ,ඉඩම් අයිතිය ,නිවාස අයිතිය හා ව්‍යාපාර අයිතිය ජනතාවට ලබාදෙමින් ආර්ථිකය ජනතාව දෙසට පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයින් රටේ ආර්ථිකයට ජනතාවගේ සෘජු දායකත්වයක් ලබා ගත හැකියි.

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු මේ අවස්ථාව ඇමතූහ. එසේම කජීමාවත්ත නිවාස හිමිකරුවන් වෙනුවෙන් කතා කළ හිල්මා මුකේශ් මහත්මිය ද සභාව ඇමතුවාය.

වරාය, නාවික හ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සත්‍යානන්ද සුභසිංහ, ජනාධිපති වෘත්තිය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240410 WA0014

අප්‍රේල් 15 නිවාඩු දිනයක් කරයි

අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව දැනුම්දෙයි.

ඒ් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම්දී තිබේ.

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 2024 අප්‍රේල් මස 15 වන දිනය යෙදී ඇත.

WhatsApp Image 2024 04 10 at 6.34.54 PM

අවුරුදු සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගන්න : රජය ඉල්ලයි !

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රජය අවධාරණය කරයි.

එබැවින් එළඹෙන උත්සව සමයේදී මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කිරිමටද මේ වන විට පියවර ගෙන ඇත.

මේ අතර උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග පෙන්වා දුන්නේ මුහුණට මුහුණ සිදුවන අනතුරු, ත්‍රී රෝද රථ අනතුරු හා යතුරුපැදි අනතුරුවලින් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් බරපතළ අනතුරුවලට ලක් වී ඇති පුද්ගලයින් 100%ක් මෙතෙක් සුව ලබා නොමැති බවත්ය.

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ අධිවේගී මාර්ගවලින් පිටත බව පෙන්වා දුන් ඒ මහතා එම අනතුරුවලින් දිනකට දහ දෙනෙකු පමණ මිය යන බවද සඳහන් කළ අතර එබැවින් මාර්ග අනතුරු අවම කිරීමට අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියේ, උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි.

එසේම මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකයක් මේ වන විට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කර තිබෙන බවත් ඊට ලැබෙන පැමිණිලි සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ප්‍රියන්ත සූරිය බණ්ඩාර :

උත්සව සමයේදි අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන ප්‍රමාණය ලක්ෂ 2 පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. එහිදී සියලුම අධිවේගී මාර්ගවල මුදල් අයකැමි දොරටු විවෘත කර තැබීමට කටයුතු කරනවා. අධිවේගී මාර්ගවල සිටින මුදල් අයකැමිවරුන්ට පහසුවීම සඳහා මාරු මුදල් රැගෙන එන ලෙස ඉල්ලා සිටිනවා. එමඟින් වාහන තදබදය අවම කර ගත හැකියි.
අධිවේගී මාර්ගයේ අනතුරු වළක්වාලීම සඳහා විඩාබර රියදුරන්ට විවේක ගැනීමට ස්ථානයක් සිංහල අලුත් අවුරුද්දට පෙර විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. උත්සව සමයේ අධිවේගී මාර්ගය තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සියලු රියදුරන් විනය ගරුකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියා උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි :

අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරුවලින් 56% ක් සිදුවන්නේ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය නිසයි.

එම අනතුරුවලින් 35%ක් මරණය හෝ පූර්ණ කාලීන ශරීරාබාධ බව කිව යුතුයි. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර දහතුන තුළ මාර්ග අනතුරු 9,375ක් සිදුව තිබෙනවා. ඒ අතරින් රියදුරන්ගේ නොසැලකිලිමත්භාවයෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව 5292ක් වන අතර එහිදී 66 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පූර්ණ කාලීන ශරීරාබාධ වූවන් ගණන 637ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තවද සමීක්ෂණ වාර්තා නිරීක්ෂණ අනුව අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන හේතු තුනක් හඳුනාගෙන තිබෙනවා. ඒ, රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය, රථ වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම හා තුන්වන පාර්ශවයක් නිසා සිදුවන අනතුරු ලෙසයි.

දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා :

2024 වර්ෂයේ මේ වන විට අධිවේගී මාර්ගවල මාරක අනතුරු 07ක් සිදුව තිබෙනවා. එය පසුගිය වසර දෙකට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරන බව කිව යුතුයි. 2022 වසරෙදි අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු 17ක් සහ 2023 වසරේදි මාරක රිය අනතුරු 04ක් සිදුව තිබෙනවා. එම නිසා උත්සව සමයේදී විනය ගරුක රියදුරෙක් ලෙස අනතුරු අවම කර ගැනීමට දායක වෙන ලෙස ඉල්ලා සිටිනවා.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර :

නව තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතය නිසා රියදුරන්ගේ අවධානය බිඳී යාමෙන් සිදුවන අනතුරු වැලැක්වීම සඳහා අවශ්‍ය නීති රීති මේ වන විට මෝටර් රථ ආඥා පනතේ නැහැ. එම නිසා නව තත්ත්වයන්ට ගැලපෙන නීති රීති යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රියදුරු පුහුණු කිරීමේ සිට රියදුරු බලපත්‍රය ප්‍රමිතියකට ලක් කිරීමටද බලාපොරොත්තු වෙනවා. එමගින් ආකල්පමය වෙනසක් ඇති විනයගරුක රියදුරන් බිහිකිරීමට හැකි වන බව විශ්වාස කරනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ජේ. අයි. ඩී ජයසුන්දර , මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති එම්.කේ.ආර්.ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආබාධිත රණවිරු රැකවරණය ජනපති සහතික කරයි : විද්‍යුත් යතුරුපැදි ප්‍රදානයක්ද සිදුකරයි !

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (09) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමිනි.

ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි.

අද උදෑසන ආරක්ෂක හමුදා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබීය.

යතුරු පැදි ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු වෙත යතුරු පැදි ප්‍රදානය කිරීමට එක් විය.

මෙම විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මඟින් රණවිරු ප්‍රජාව අතර ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බව රණවිරු සේවා අධිකාරිය අපේක්‍ෂා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ ඒකීයභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ වීරෝධාර රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කරන බවයි.

ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 76ක් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කරන බවද පැවසූ ජනාධිපතිවරයා, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව සඳහන් කළේය.

යතුරු පැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=162#sigProIda88f24cddd

තවත් පවුල් 182,140කට අස්වැසුම !

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ප්‍රතිලාභීන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සහ ජනමාධ්‍ය මඟින් දැනුවත් කිරීම සිදුකළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත ය.

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර මෙවර අයවැය මඟින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

සිරිසේනගේ විදෙස් ගතවීම සැකයි : කාවින්ද බාල්දියක් පෙරළයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද (10) ඒ වෙත පැමිණි අවස්ථාවේ ය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .

"මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, එක පැත්තකින් පාස්කු මහ මොළකරු දැනගෙන එය වසන් කිරීමේ වරදට හසුවෙනවා. අනෙක් පැත්තෙන් ඔහු බොරුවක් නම් කියන්නේ, මේ අහිංසක මිනිසුන්ගේ මරණයට වගකිව යුතු පුද්ගලයාව වසන් කරන්න එහෙම නැත්නම්, පරීක්ෂණ නොමඟ යවන්න කටයුතු කරනවා ද කියන සැකය අපිට ඇති වෙනවා. කිසිසේත්ම එතුමා ඒ කළ ප්‍රකාශයෙන් පැනලා යන්න බෑ. හැබැයි අපි දකිනවා එතුමා සැරින් සැරේ ඒ ප්‍රකාශ වෙනස් කරනවා.

මෛත්‍රීපාල සිරිසේනට, රටත් කාලා. මිනිස්සුන්වත් කාලා දැන් එයාට වමාරන්න වෙලා තියෙන්නේ. අපිට බය මෛත්‍රී මෙච්චර රටේ ප්‍රශ්න ඇති කරලා, තායිලන්තය බලා ගිහින් තියෙනවා. මේක පැනයාමක් ද කියලා මට පෞද්ගලිකව හිතෙනවා. එයාව වහාම කැඳවලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිනවා."

ජපානයෙන් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේ දී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (10) දින කටුනායක ගුවන් තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේ දී පැවැත්වුනි .

මෙම උපකරණ පරිත්‍යාග කිරීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය ජපාන රජය වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කර තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය වෙත ගමන් මලු සහ සම්පූර්ණ සිරුරු පරීක්ෂා කළ හැකි අධි තාක්ෂණික පරිලෝකන යන්ත්‍ර , මුහුණු හදුනා ගැනීමේ පද්ධති වලින් සමන්විත ස්වයංක්‍රීය ප්‍රත්‍යන්ත පාලන ගේට්ටු , ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර , ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලයන්හි පහසුව සදහා ස්පර්ශයෙන් තොර සන්වේදක මත ක්‍රියාත්මක සනීපාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත සුහුරු වැසිකිළි 150 ක් , අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් සදහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයන් අතර විය .

මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා සහ නාවුක කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චචන්ද්‍ර , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි හිඩෙයාකි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , සංක්‍රමණිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාළදිවයින සදහා වන ප්‍රධානී සරත් දාස් ඇතුළු තවත් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 2500ක්

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් 2,500ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

“සැමට ඉංග්‍රීසි” වැඩසටහන යටතේ මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441කි.

නමුත් ඒ සඳහා ගුරුවරුන් 6,500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවත්, බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී හඳුනාගෙන තිබේ.

ඒ අනුව, දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6,500 ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

වියපත් කලාකරුවන්ට සහනයක්

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමින් පැවසීය.

ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් මෙහිදී සිදු කෙරිණි.

මාසිකව රු.7,500/- ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබාදීම සිදුකෙරුණි. එම දීමනාව රු.10,000/- දක්වා වැඩිකිරීමට ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට ටවර් හෝල් රඟහල පදනම මඟින් වියපත් කලාකරුවන් 122ට රු රු.10,000/- ක් බැගින් වූ විශ්‍රාමික ජිවනාධාරයක් ලබා දේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

මෙරට සංස්කෘතියට, විවිධ කලා ක්ෂේත්‍රවලට පණ දුන් ඔබ යළි හමුවීම සතුටක්. ඔබ සමග ඔබගේ තරුණ විය පහු වී තිබෙනවා. ටවර් හෝල් පදනම ඔබට ගෞරවය දක්වනවා වගේම ඔබගේ ජීවිතයට පහසුවක් එක් කිරීමේ බලාපොරොත්තු ඇතුව ආරම්භ කරන ලද මෙම ක්‍රියාදාමය ඉදිරියේ තවත් වැඩි දියුණු කිරීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.

කලාකරුවන් මුහුණදෙන ආර්ථික අපහසුතාවන් පිළිබඳව සාකච්ඡා කළ භාරකාර මණ්ඩලය, එම අපහසුතාවයන් යම්තාක් දුරකට හෝ මඟ හරවා ගැනීමට විශ්‍රාමික ජීවනාධාරය වැඩි කිරීමට තීරණය කළා. ඒ පවතින ආර්ථික අර්බුද හමුවේයි. අපහසුතා ඇති තවත් කලාකරුවන් ඉදිරියේදී මෙම විශ්‍රාමික ජීවනාධාර වැඩසටහන සඳහා එක් කර ගැනීමට හැකි වෙයි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කලාව පණ පෙවූ අපේ රටේ කලාකරුවන් ඈත එපිට ගම්මානවල සිට අද ඇවිත් සිටිනවා. ඔවුන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පිරිනැමීමට ටවර් හෝල් රඟහල පදනම වාර්ෂිකව කටයුතු කිරීම අගය කොට යුතුයි. ඔබ සැමට රජයේ ගෞරවය යළිත් පුද කරනවා.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක හා කලාකරුවන් රැසක් සහභාගි වූහ.

Page 10 of 391