V2025

පුවත්

ගාසා හි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක් !

ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මුදල් අමාත්‍යාංශයේ දී අද (03) බාර දෙනු ලැබීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සහ මාවනැල්ල සහිරා විද්‍යාලයේ විදුහල්පති ඒ. එම් නව්සාඩ්, ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් එස්. එම් නවාස්, සහ එම්. එස්. එම්. නලිම්, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම්. එච් රිලාෆ් මොහොමඩ්, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. එල් මොහොමඩ් රිෆ්කාන්, එම්. එස්. එම් නිලාර්ඩීන් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නලින් ද සිල්වා ගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක් !

මහාචාර්ය නලින් ද සිල්වා ගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශෝක පණිවිඩයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

ශෝක පණිවිඩය

සෛද්ධාන්තික මහාචාර්ය භෞතික විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් අභාවප්‍රාප්ත වීම පිළිබඳ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි.

පසුව සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹුණු චරිතයකි.

එතුමන් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා විසින් රචිත කෘති, දේශන සහ එතුමන්ගේ මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත. එමෙන්ම නූතන බෞද්ධ ජාතික දැක්ම නිර්මාණය සඳහා එතුමාගේ දර්ශනය තීරකව බලපෑවේය.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ගුරු සංගමයේ සභාපති වශයෙන් ද මහත් කැපවීමෙන් සිය කාර්යයන් ඉටුකල විද්වතෙකි.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ අභාවයෙන් ශෝකයට පත් එතුමාගේ බිරිඳ, පුතුන් දෙදෙනා හා දියණිය වෙතත් ඥාතීන් ඇතුළු එතුමන්ගේ ශිෂ්‍ය පරම්පරාව වෙතත් මාගේ සාතිශය සංවේගය පළ කරමි.

අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.



රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

  1. 05.03 දින.

ලිට්‍රෝ - ලාෆ් ගෑස් මිල අඩු වුණේ මෙහෙමයි !

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබේ.

ඒ අනුව ‍කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලිණ්ඩරයක් රුපියල් 175කින් මිල අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3940කි.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලිණ්ඩරයේ මිල රුපියල් 70/= කින් අඩුකර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 1582කි.

කිලෝ ග්‍රෑම් 2.5 ප්‍රමාණයේ ගෑස් සිලිණ්ඩරයේ මිල රුපියල් 32කින් අඩු කර ඇති අතර , ඒ අනුව එහි නව මිල රුපියල් 740 කි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස් සඳහන් කර ඇත්තේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා මෙම මිල අඩු කිරීම සිදුකරන ලද බවයි.

මේ අතර අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.

ඒ අනුව 12.5kg ක ලාෆ් ගෑස් සිලිණ්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3,840කි. එසේම ලාෆ් ගෑස් 5kg සිලිණ්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,542කි.

ක්‍රීඩා ඇමති නව රෙගුලාසියකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 03) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කර ඇත.

එමගින් ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇත.

තව ද, සියලු ම ක්‍රීඩා අංශයන්හි දුක්ගැනවිලිවලට සවන් දී රටේ ක්‍රීඩාවේ යහපත උදෙසා ඔවුන්ට මග පෙන්වන ඔම්බුඩ්ස්මන්වරයෙකු ද අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.

S 01

කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිළ පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත

මේ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් පැවසීය.

එමෙන්ම කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බව ද එම සංගමය කරයි.

අපනයන ආදායමේ වර්ධනයක් !

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,037 ට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139 ක් දක්වා 9.8%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාව සඳහන් කරයි.

ඊට අනුව සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ආදායම් හි වර්ධනයක් පෙන්වන අතර ඉහළම වර්ධනය කාර්මික භාණ්ඩ අපනයන වලය.

2024 වසරේ මාර්තු මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයන් හි (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ නැව් සහ ගුවන් යානා ඉන්ධන අපනයන පරිමා ඉහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑම වූ අතර රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත .

කුළුබඩු අපනයනයේ සැලකිය යුතු අඩුවීමක් තිබියදීත්, මූලිකව තේ අපනයන (පුධාන වශයෙන් ඉහළ පරිමාවන්) සහ පොල් ආශ්‍රිත නිෂ්පාදිත අපනයන ඉහළ යෑම හේතුවෙන් 2024 මාර්තු මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයන ආදායම ද ඉහළ ගොස් තිබේ.

2024 වසරේ මාර්තු මාසයේ දී ඛනිජමය අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව සඳහන් කරයි.

2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම සඳහා 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඉහළම ආදායම වාර්තා කරමින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන වර්ධනය වීම බොහෝදුරට හේතුවී ඇත.

එමෙන්ම මෙම වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම සඳහා 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඉහළම ආදායම වාර්තා කරමින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන වර්ධනය වීම බොහෝදුරට හේතු වී තිබේ.

jmkdjf

පරාටේ නීතිය අත්හිටුවීමට මුදල් කාරක සභාවේ අනුමැතිය !

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

මුදල් කාරක සභාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස ද නිර්දේශ කර ඇති බවය.

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අය කරගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවූ බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.Public Finance 01

ගෑස් මිළ පහළට

ලිට්‍රෝ ගෑස් සමාගම් විසින් බෙදා හරින ගෑස් මිල ගණන් හෙට (03) සිට පහළ දැමීමට කටයුතු සූදානම් කර තිබේ.

එම සමාගමේ සභාපති මුදිත පිරිස් සඳහන් කරන්නේ දැනට රුපියල් 4115 සීමාවේ පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් හෙට දිනේ සිට රුපියල් 4000න් පහළ මිලකට අලෙවි කිරීමට කටයුතු යොදන බවයි .

මේ සමග වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලාෆ් ගෑස් මිල ද පහළ දැමෙනු ඇති බවයි .

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි !

මහාචාර්ය නලින්ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

වාර්තා වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ වන විට මහාචාර්ය නලින් ද සිල්වා 79 වන වියේ පසුවිය.

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරුන් !

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

IMG 20240502 WA0018

IMG 20240502 WA0017

දුරකථනය විසන්ධි කරන දිනය වැඩි ඈතක නෑ : මැයි දින රැලියේදී රවීගෙන් සහතිකයක් !

මෙවර මැයි දින සැමරුමේ සිට සති කිහිපයක් යන තැන දේශපාලන කරළියෙන් දුරකථනය විසන්දි කරන බවත් දුරකථන පක්ෂයට හඬක් ලබාදුන් හරීන් - මනුෂ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට එක්ව අවසන් බවත් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක අවධාරණය කර සිටියේය.

තවත් දින 125ක් යන තැන 2024 ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් අනතුරුව තවත් පක්ෂ සහ සංවිධාන රැසක සහාය ඇතිව ඔහු ජයග්‍රහණය කරවීම නියත වශයෙන් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට පමණක් නොව පක්ෂයත් ඉහළට ඔසවා තබා තිබෙනවා. අපේ එකමුතුභාවයේ වෙනස අනෙක් අයට පෙන්විය යුතුයි. එතුමා මේ රට බාරගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ. ඒ වගේම එතුමා මේ රටට අලුත් දර්ශනයක් ඉදිරිපත් කර තිබෙනවා. වැටුණු රටක් යළි ගොඩ ගන්නා ආකාරය එතුමා ගෙවුණු කෙටි කාලය තුළ ලෝකයට ඔප්පු කර තිබෙනවා. කඩා වැටුණු රටක් හදන්න කාලයක් යනවා. නමුත් ගොඩනැගූ රටක් කඩා වැටෙන්න යන්නේ කෙටි කාලයයි. එක්සත් ජාතික පක්ෂයට මීට වසර 22කට පෙර හිමිව තිබූ විධායක බලය අද යළිත් හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමට ‘උරුමය’ වැඩසටහන ආරම්භ කළා. ඒ වගේම ‘අස්වැසුම’ වැඩසටහන ක්‍රියාත්මක කර දුගී ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කටයතු කළා. රජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. වතු කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් එක්දහස් හත්සියයක් කළා. මෙවැනි වැඩ කොටසක් කිරීමට එතුමට හැකි වුණේ විවිධ අභියෝග මධ්‍යයේ බව කිව යුතුයි.

තවදුරටත් ගොවියා මඩ ගාගෙන කෘෂිකර්මයේ යෙදිය යුතු නෑ. කම්කරුවාගේ තත්ත්වය පවා දැන් වෙනස් වී තිබෙනවා. රාජ්‍ය සේවයද ස්මාර්ට් විය යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙල මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙනවා. මෙතනදී පාට පක්ෂ භේදයක් අවශ්‍ය නෑ. තවත් දින 125ක් යන තැන 2024 ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් අනතුරුව තවත් පක්ෂ සහ සංවිධාන රැසක සහාය ඇතිව ඔහු ජයග්‍රහණය කරවීම නියත වශයෙන් සිදුකරනවා.

තවත් සති කිහිපයක් යන තැන දුරකථනය විසන්දි කරනවා. ඒ දවස වැඩි ඈතක නෑ. මේ වෙනකොටත් දුරකථනයේ රිඟින් ටෝන් එක වුණු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂයට එක්වී අවසන්. ඉදිරියේදී බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒ නිසා කොළඹින් පටන් ගමු, මුළු රටින්ම පටන් ගමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මේ රටේ ජනාධිපති කරන සටන දිනවමු.

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයටයි - ජනපති

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසළ අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමිනි.

"මම අද රහසක් කියනවා, ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොදම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න සැප්තැම්බර් 9 වැනිදා. ඒවගේ හොද වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබලා දෙන්න. ඉතිං ඔය දෙකම මතක තියාගන්න හොදම නැකත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂටයි. ඒකයි මේ වැටුන රට උස්සන් පුළුවන් වුනේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි... හැම පක්ෂයම දුවලා ලංකාව ගිනස් වාර්තාවක් තිබ්බා. අන්තිමට මට ගන්න වුණා. මං කවුද?.. තනි මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂයක නායකයෙක්. අපි අභියෝග හමුවේ දුවන්නේ නැහැ." ජනාධිපතිවරයා පැවසිය.

ශක්තිමත් අපනයන ආර්ථිකයක් ඇති කර රටේ තරුණ තරුණියන්ට හොද අනාගතයක් ලබාදෙන සැළැස්මක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් පැවසීය.

රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බවද ජනාධිපතිවරයා කීය.

වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා ඉහළට

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු එබව ප්‍රකාශයට පත්කර සිටියේ, අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමිනි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්..

download 1

wathu padi

download 2

ඇස්ට්‍ර සෙනෙකා එන්නතෙන් අතුරු ආබාධ ඇති විය හැකි බව ඖෂධ සමාගම පළමු වරට පිළිගනී

කොවිඩ් වයිරසයේ අවදානමෙන් මිදීමට භාවිත කළ ඇස්ට්‍ර සෙනෙකා එන්නත (astrazeneca vaccine) දුර්ලභ රෝගාබාධවලට හේතු විය හැකි බව එංගලන්තයේ මහාධිකරණයට නීත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් කරමින් එහි නිෂ්පාදන සමාගම පළමු වරට පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇස්ට්‍ර සෙනෙකා ඖෂධ සමාගම ඉදිරිපත් කර ඇති අධිකරණ වාර්තාවට අනුව එම එන්නත මඟින් ටීටීඑස් නොඑසේ නම් Thrombosis Thrombocytopenia Syndrome රෝගාබාධයට හේතු විය හැකි බව ද වාර්තා වේ. ටීටීඑස් යනු අඩු මට්ටමක පවතින රුධිර පට්ටිකා සමඟ ඒකාබද්ධ වන රුධිර කැටි මොළය හෝ උදරය වැනි අසාමාන්‍ය ස්ථානවල රුධිර කැටිගැසීම් සිදුවිය හැකි තත්ත්වයක් වන අතර, එම සමාගම සිය වාර්තාව මඟින් සඳහන් කර ඇත්තේ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට වුවද එම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව ඇති බවය.

ඇස්ට්‍ර සෙනෙකා ඖෂධ සමාගම විසින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව වැඩිදියුණු කරනු ලැබූ එම එන්නත බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය රටවල් රැසක කොවිඩ් වයිරසයට එරෙහි එන්නතක් ලෙස බෙදා හරිනු ලැබූ අතර, මේ වන විට එම එන්නතට එරෙහිව එංගලන්තයේ මහාධිකරණයේ නඩු 51ක් පවරා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇස්ට්‍ර සෙනෙකා එන්නත්කරණයට ලක්වීමෙන් සිය සෞඛ්‍ය තත්ත්වයට සිදුවූ හානියට වන්දි වශයෙන් පවුම් මිලියන 100ක වන්දියක් ඉල්ලා එම නඩු පවරා ඇතැයි එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් සේවය සඳහන් කළේය.

කොවිඩ් වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාළිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන් මීට මාස කිහිපයකට පෙර පළමු වරට හෙළි කර තිබිණි.

දිනමිණ

2024 ජනාධිපතිවරණයට හයිය පෙන්නන්න : කොළඹ උතුරන්න මැයි දින සැමරුම් !

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර වැඩකරන ජනතා දිනය 138 වන වරටත් හෙට (01) සැමරීමට නියමිතය .

ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රැසක් විසින් මැයි දින සැමරුම් රැලි සහ පෙළපාළි 40ක් පමණ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංවිධානය කර ඇත .

වාර්තා වන ආකාරයට කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි ගණන 14කි.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ නගරයේදී සිය මැයි දින රැළි, පෙළපාලි හා සැමරුම් සිදුකරයි.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින රැළිය පවත්වන්නේ,කොළඹ මාලිගාවත්ත පොලිසිය අසලය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බොරැල්ල කැම්බල් පිටියේදී සිය රැළිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය කොළඹ කොටුව ආශ්‍රීත මාර්ග කිහිපයකින් දිවෙන මැයි දින පෙළපාලියක් පවත්වා පහළ චැතම් වීදිය ප්‍රදේශයේදී සිය මැයි රැළිය පැවැත්වීමට නියමිතය.

ජාතික ජන බලවේගය පක්ෂය මෙවර සිය මැයි දින රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර හැව්ලොක් පාරෙන් ආරම්භ වන එම පක්ෂයේ පෙළපාළිය තුම්මුල්ල පසුකර කන්නංගර මාවත ඔස්සේ එම ස්ථානයට පැමිණීමට නියමිතයි.

එම පක්ෂය කොළඹදී පවත්වන මැයි සැමරුමට සමගාමීව යාපනය, අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික්කවලද මැයි සැමරුම් සංවිධානය කර ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය සංවිධාන කරන මැයි දින රැළිය ගම්පහදී පැවැත්වෙයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින සැමරුම ද කොළඹ සංවිධානය කර ඇත.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩි බලයක් පෙන්වීමට දේශපාලන පක්ෂ සිය මැයි දින සැමරුම් උපරිම ජන සහභාගීත්වයක් ඇතිව සංවිධානය කෙරෙමින් තිබෙන බව ද වාර්තා වෙයි .

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ හෙට දින කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව යි. එසේම ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් යොදවා ඇති බවත් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා යුද හමුදා භටපිරිස් යෙදවීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

CID ලෙස රඟපු 4ක් රිමාන්ඩ් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිට කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඒ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකි.

මෙම සැකකරුවන් සිව්දෙනා අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අත්දැකීම් නැති අයට රට බාරදෙන්න හිතන්නවත් එපා -ප්‍රසන්න

රට මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් වනවිට තමන් ඊට විරුද්ධ වූ බවත් එහෙත් පොහොට්ටුව ඊට කන්නොදුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රනිල් ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයින් මිස තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොවන බව සඳහන් කරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළේ ඊට සහාය ලබා දීම බවද සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගම්පහ උඩුගම්පොළ අද (30) පැවැති රැස්වීමකට සහභාගී වෙමින් වන අතර පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද පැවසීය.

“71 සිරිමාවෝ මැතිණිය ආණ්ඩුව ලබා ගත්තට පස්සේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගහලා එදා ආණ්ඩුව වට්ටන්නත් කටයුතු කළා. එදා ඔවුන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්ක එකතු වුණා. එකතු වෙලා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කළා. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව කාලේ ඉන්දිය හමුදාව ගෙන්නපුවම ජේ.ආර්. ට විරුද්ධ වෙලා ඒක නිදහසට කාරණාවක් කරගෙන ප්‍රේමදාස මහත්තයාව දිනවන්න උදව් කළා. ප්‍රේමදාස මහත්තයා එක්ක ඩීල් එක කරලා ඉවර වෙලා. 88/89 මැතිවරණ කාලය වනවිට මේ රටේ ඇති වූ භීෂණය ගැන මේ රටේ මිනිස්සු දන්නවා. ඊට පස්සේ මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දිනවන්න කටයුතු කළා. ඔවුන් ඒ ආණ්ඩුවේ ඇමතිකම් පවා අරගෙන කටයුතු කළා. ඊට පස්සේ මහින්ද මහත්තයා දිනවන්නත් කටයුතු කළා. එහෙම කරපු අයගේ ඉතිහාසය දිහා බලපුවාම 71 කැරැල්ල, 83 කළු ජූලිය, 88/89 කාලයේ රටේ ඇතිවූ භීෂණ යුගය වැනි කාල වලදී රාජ්‍ය දේපල විනාශ කරලා, මිනිස්සු ඝාතනය කලා, ඔවුන්ගේ ක්‍රියාකලාපය රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවක් වුණා.

ඊට පස්සේ සුනාමිය, කොවිඩ් වසංගතය එක්ක අපේ රටේ ආර්ථිකය මේ තත්ත්වයට වැටෙන්න හේතු වුණා. කොවිඩ් වසංගතය කාලයේ එන්නත් ටික දෙන්න යනකොට මොකද කිව්වේ. කට කතාවක් යැව්වා පිරිම අය එන්නත විද ගත්තොත් පුරුෂ ශක්තිය නැති වෙයි ළමයි හදන්න බැරි වෙයි කියලා. ඔවුන්ට ඕනේ වුණේ මේ රටේ මිනිස්සු දහස් ගාණක් මැරෙනවා බලන් ඉන්න. පළාත් පාලන මන්ත්‍රීවරු එක්ක එකතු වෙලා එන්නත් ටික ජනතාවට විදලා රට අරිනකොට සමහර වෘත්තිය සමිති කිව්වා තාම රට සුරක්ෂිත නෑ රට අරින්න දෙන්න එපා කියලා. රට ආර්ථික වශයෙන් කඩා වැටෙනකොට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා මේ රට භාර ගන්න කියලා අපි කිව්වා. ඒ වෙලාවේ කයිවාරු ගහපු හැමෝම මේක භාර ගන්න බය වුණා.

ඒ වෙනකොට කැරලිකාරයෝ ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාල අත්පත් කරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව වට කරලා මිනිස්සු මරලා මේ රටේ පාලන බලය අතට ගන්න පිරිසක් උත්සාහ කළා. ඒ වෙලාවෙදී රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි කිව්වේ මම මේ රට භාර ගන්නම් පොහොට්ටුවේ සහයෝගය මට ඕනි කියලා. මම ගන්නේ දේශපාලන තීන්දු නෙමෙයි රට ගොඩගන්න පුළුවන් තීන්දු පමණයි ඒවාට උදව් කරන්න පුළුවන් නම් කරන්න කියලා. අපි ඒකට එකඟ වුණා. අපි අවුරුදු එක හමාරක කාලයක තුළ ගත්ත තීන්දු ජනප්‍රිය තීන්දු නෙමෙයි. ආර්ථිකය හදන්න ගත්ත ඇතැම් තීන්දු අද සමහරු විවේචනය කළත් ඒකට විකල්ප කියන්න කාටවත් පුළුවන් කමක් නෑ. මේක කරන්න බැරිනම් මෙන්න මේක කරන්න කියලා යෝජනා කරන්න දේශපාලන නායකයින්ට අත්දැකීම් නෑ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේන කොට මම විරුද්ධ වුණ කෙනෙක්. මම කිව්වා අත්දැකීම් නැති අයට රටක් භාර දෙන්න එපා කියලා. අපේ පක්ෂය ඒ ගැන ඇහුවේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අත්දැකීම් තියෙන නායකයෙක් විදියට වගකීම භාර ගත්තම අපි උදව් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයව නායකත්වයට ගෙනාවේ අපේ පක්ෂයේ නායකයෝ අපි නෙමෙයි. එතුමට උදව් කරන්න අපි කණ්ඩායම මෙහෙයෙව්වා. 2022 වසරේ මැයි මාසය වන විට රටේ තිබුණ තත්ත්වය කල්පනා කරන්න. අද රට තිබෙන තත්ත්වය ගැනත් බලන්න. අපිට කලින් ආර්ථික වශයෙන් කඩා වැටුන ග්‍රීසිය වගේ රටවල් අදටත් ගොඩගන්න බැරි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. රට මේ තැනට ගේන්න පුළුවන් වුණේ අපි කණ්ඩායමක් ලෙස කටයුතු කරපු නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආපු ගමන් සියළු දෙනාට ආරාධනා කළා දේශපාලනය දෙවනුව කරමු පළමුව අපි එකතු වෙලා රට හදමු කියලා. කිසිවකු එකතු වුණේ නෑ විවේචනය කළා විතරයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕනේ වුණේ එකතු වෙලා වැඩ කරලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නයි. ඒකට ඇතැමුන් කැමැති වුනේ නෑ. එතුමට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබ්බේ නෑ. ඔහු තනි කෙනෙක් විදියට හිටියේ. බහුතරය ඉන්නේ අපිට. එතුමා අපගේ සහයෝගය ගෙන රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න කටයුතු කළේ අත්දැකීම් සහිත පරිණත නායකයෙක් නිසයි. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩේ යන්නේ නෑ. මම මේ රටේ ජනතාවට කඩේ යන මිනිහෙක්. මම තරම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව විවේචනය කරපු කෙනෙකුත් නෑ. යහපාලන ආණ්ඩුව කාලේ එතුමාට විරුද්ධව කටයුතු කරපු කෙනෙක් මම.

රටේ මිනිස්සු දුක් විදිනකොට නැවත රට යථා තත්ත්වයට පත් කරපු නායකයෙක් ඉන්නවා නම් අපිට මොන දේශපාලන මති මතාන්තර තිබ්බත් ඒ පුද්ගලයට උදව් කරන්න ඕනේ. ඒ නිසයි අපි කණ්ඩායමක් විදියට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න කටයුතු කළේ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය විදියට අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරනවා.

මහින්ද මහත්තයා යුද්ධය දින්න කියලා. අද මහින්ද මහත්තයට කියන්නේ නාකියා, නාකි මයිනා කියලා. ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට මේ ගෑනි නිසා තමයි රටේ ආර්ථිකය කඩා වැටුනේ කියලා ගහනවා ෆේස් බුක් එකේ. කොවිඩ් වසංගතයෙන් රට බේර ගත්ත නායකයාගේ ෆොටෝ එකක් දාලා ගහනවා. නාකින්ගෙන් රට ගලවා ගන්න තරුණයින්ට රටක් භාර දෙන්න කියලා. අත්දැකීම් නැති තරුණයෝ කරපු දේවල් 88/89 කාලයේ ඉදන්ම අපි දන්නවනේ.

නාකියෝ කියද්දි මේ රටේ වැඩිහිටි සියල්ල අයිති වෙනවා. අපි අලුත් අවුරුද්දට පවා දෙමාපියෝ බලන්න ගිහින් බුලත් අතක් දිලා වැදලා නේද එන්නේ. ඒ සංස්කෘතිය නේද මේ නැති කරන්න හදන්නේ” යනුවෙන්ද පැවසීය.

ජනපති හෙට මැයි දින රැළි දෙකකට එක් වෙයි !

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය හෙට (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් ඊට එක්වීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනු ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට (01) ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙයි.

Page 5 of 391