V2025

පුවත්

ජනපති රනිල් සජිත්ගේ කන අතගාලා !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක අතර ඇතිවූ අදහස් හුවමාරුව සම්බන්ධයෙන් දේශපාලන කරළියේ අවධානය යොමුව ඇත.

ජනාධිපතිවරයා ගේ විශේෂ ප්‍රකාශය අවසන් වීමත් සමඟ නැගීසිටි විපක්ෂ නායක සජිත් , අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පලකර අදහස් දැක්වීම ඇරඹීය.

ඒ සමග ක්‍රියාත්මක වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය .

“මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල් දහ වෙනිදා ඔබතුමා අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ”

බෙදපු මත්පැන් බලපත්‍ර ප්‍රමාණය පාර්ලිමේන්තුවේදී එළියට !

මෙම වසරේ මුල් මාස හතර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව මත්පැන් බලපත්‍ර 37ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම ප්‍රමාණයෙන් 16ක්ම නිකුත් කර ඇත්තේ සුපිරි වෙළෙඳසැල්වලට බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

2023 වසරේ මත්පැන් බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති බවත් ජන අනුපාතය අනුව තවත් මත්පැන් බලපත්‍ර 474ක් නිකුත් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ ය.

රටින් පිටවීමත් තහනම් වූ ඩයනා දිගටම දේශපාලනය කරනවා කියයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේය .

එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කෙරුණි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඇය පවසා සිටියේ තම දේශපාලනය මෙයින් අවසන් නොවන බවය.

නුදුරේදීම පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවත් ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් තමන් ඉදිරිපත් වන බවත් ඇය සඳහන් කළාය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසුවාය .

"මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා."

"ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ."

"මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්."

"ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි."

"මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්... මං නැවත පාර්ලිමේන්තුවට එයි"

ජනපති අභියෝගය භාරගත් නිසා අවුරුදු දෙකෙන් රට ස්ථාවර වුණා - සාගල

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත් නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත්, ඉදිරියේ තිබෙන අභියෝග සඳහා ද මුහුණ දී රට තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් සාගල රත්නායක සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කරමින් කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (08) එක්වෙමිනි.

තිරසාර සංවර්ධනය සහ පොදුජන අවශ්‍යතා ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ලිට්‍රෝ සමාගම විසින් නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර, මෙමඟින් එක්ලක්ෂ අසූදහසකින් ගෑස් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමටත් සහ දෛනිකව ගෑස් සිලින්ඩර් 60000ක් නිකුත් කිරීමටත් සමාගම අපේක්ෂා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක  මෙසේද පැවසීය.

මීට වසර දෙකකට පෙර මෙවැනි නූතන තාක්ෂණයෙන් යුත් අංගනයක් ලිට්‍රෝ සමාගමට ඉදිකරන්නට හැකිවෙයි කියා හිතන්න හැකියාවක් තිබුණේ නැහැ. ලිට්‍රෝ සමාගමට නරක කාලයක් තිබුණා. ගෑස් සිලින්ඩර් පිපිරීම් ඇති වුණා. ජනතාව ගෑස් ගන්න පෝලිමේ හිටියා. රජයට විදේශ විනිමය පමණක් නොව අපේම විනිමය පවා තිබුණෙත් නැහැ. එවැනි අසීරූ කාලයක් අප පසු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිසි නායකත්වය නිසා විදේශ රටවලින් සහාය ලැබුණා.

එදා ලිට්‍රෝ සමාගම රජයට බරක්ව තිබූ සමාගමක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු සමාගමේ සභාපතිත්වය වෙනස් කළ නිසා සමාගම අද මේ තත්ත්වයට පත්වී තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සාර්ථකත්වය හේතුවෙන් ලෝක බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 26ක ණය මුදල මාස හයක් ඇතුළත ගෙවන්න හැකියාව ලැබුණා. පසුගිය වසරේ රුපියල් බිලියන 3ක් ලිට්‍රෝ සමාගම විසින් රජයට ලබා දී තිබෙනවා.

දැන් ජනතාවට පෝලිම්වල ඉන්නේ නැතිව ගෑස් ලබාදීමට හැකියාව තිබෙනවා. ඉතා අභියෝගාත්මක කාලයක් පසු කරමින් සාර්ථකත්වයට පත්ව තිබෙන ලිට්‍රෝ සමාගමට නායකත්වය ලබාදෙන මුදිත පීරිස් මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට, බෙදාහරින්නන්ට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කර සිටිනවා.

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යහුගතකරණය කරන්න අවශ්‍යයි. රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක්. ලිට්‍රෝ සමාගමත් එදා පාඩු ලැබූ ආයතනයක්. නමුත් අද ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. රටක් වශයෙන් අපි තව වේගයෙන් ඉදිරියට යා යුතුයි. රට කඩාවැටුණු අවස්ථාවේ ජනතාවගේ ජීවන වියදම වැඩි වුණා.

අද සියලුම සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී රටක් වශයෙන් හොඳ ආර්ථික වර්ධනයකට ලක්ව සිටිනවා. ආර්ථික අර්බුදයකට ලක්ව, අවුරුදු දෙකකට පසු ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් ලෙස පරිවර්තනය වී තිබෙනවා. රුපියල වේගයෙන් ශක්තිමත් වෙමින් තිබෙනවා. රට ස්ථාවර වීම පමණක් නෙවෙයි උද්ධමනය පාලනය වෙමින් තිබෙනවා. ඒත් ඉදිරියට ද තවත් අභියෝග තිබෙනවා.

විදෙස් විනිමය තවත් වැඩි කර ගැනීමට සංචාරක වැඩසටහන් තව දියුණු කළ හැකියි. සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස අපේ වරායන් දියුණු කළ යුතුයි. නිෂ්පාදන කර්මාන්ත තුළින් අපට තවත් දියුණු විය හැකියි. විදුලි බලය පවා අපනයනය කළ හැකියි. කෘෂිකර්මාන්තය ද දියුණු කළ හැකියි. මෙවැනි අවස්ථා ගණනාවක් අපට තිබෙනවා. මේ සඳහා අවශ්‍ය මානව සම්පත ද අපට සිටිනවා.

ලිට්‍රෝ සමාගම නූතන ලෝකයට ගැළපෙන ලෙස කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මේ විදිහට අනිත් ආයතනවලටත් කටයුතු කරන්න පුළුවන්. රජයට වැඩපිළිවෙළක් තිබුණත් මේ සඳහා සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. රට නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා අපි දැඩි තීන්දු තීරණ ගත්තා. ප්‍රශ්නවලට හැමෝම මුහුණ දුන්නා. ජනාධිපතිතුමා ප්‍රශ්නවලින් පැන නොගිය නිසා රට අද හොඳ තැනකට ඇවිත් තිබෙනවා. අඩුපාඩු තිබෙනවා නම් සාකච්ඡා කර නිවැරදි කර ගන්න අවශ්‍යයි.

මෙම අවස්ථාවට ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

රාජ්‍ය සේවක වැටුප වැඩිකිරීම ගැන ලබන වසරේ සලකා බලනවා - ජනපති

වැටුප් වැඩිකිරීම සඳහා විවිධ ඉල්ලීම් ලැබුණ ද ඒ පිළිබඳව 2024දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම වර්ධනය වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

අද  (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

එහිදී ඔහු පැවසුවේ 2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේදී බවයි.

"වැටුප් සංශෝධනයන් පිළිබදව විවිධ ඉල්ලීම් අපට ලැබුණ ද ඒ පිළිබඳව 2024 දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම් වර්ධනයක් දැනට නැහැ. අතීතයේ වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී අපගේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳ දැමුවා. එවැනි තත්ත්වයකට අපට යළිත් යන්න බැහැ. සමාජයේ සෑම කොටසකටම ආර්ථික අර්බුදයේ පීඩාව තිබෙනවා. සමාජයේ සෑම ජන කොටසක්ම ඉතා කටුක මාවතක පසුගිය වසර දෙක තිස්සේ ගමන් කොට තිබෙනවා. 2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේ දී යී. ඒක තමයි ඇත්ත. දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලින් පිට පැන්නොත් යළිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි. 2022 සැප්තැම්බර් මස සිට IMF වැඩසටහන යටතේ අප ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රැසක් අත්කරගෙන තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිවැටුප් වැඩිකිරීම සඳහා විවිධ ඉල්ලීම් ලැබුණ ද ඒ පිළිබඳව 2024දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම වර්ධනය වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

මෛත්‍රීගේ වාරණය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන  ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති වූ ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

එදා රනිල් කියූ වැල් පාලමේ අද එල්ලෙන පිරිස් රටේ ආර්ථික ව්‍යුහය ගැන දැනුවත් ද කියලත්  සැකයි ! 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා කියූ වැල් පාලමේ කතාව අද සිහිපත් කරන පිරිස ඉතිහාසයේ පාලම් බිඳ දැමූවන් බවත් ඔවුන් ආර්ථිකය ගැන විවිධ කතා කියන්නේ රටේ ආර්ථික ව්‍යුහය ගැන නිසි දැනුවත් භාවයක් ඇතුවද යන්න ප්‍රශ්නයක් බවත් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක අවධාරණය කරයි.

එදා ඉන්දීය විරෝධයක සිට රට ඇවිලවූ පාර්ශ්ව අද වන විට ඉන්දියාව තම මිතුරෙකු බව පවසමින් ප්‍රතිපත්තිය වෙනස් කරගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ ස්ථිර පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ජනාධිපතිවරයා සූදානම් වෙනවා. එයින් සියලු දෙනාට එකහා සමානව වැඩ කළ හැකි, ස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා.

ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් රට වෙනුවෙන් ස්මාර්ට් සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතුයි. රට ඉදිරියට ගෙන යාමට නම් ආර්ථික නවීකරණය ද අත්‍යවශ්‍යයි. එසේම ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතුයි. ඒ සඳහා බැංකුවකින් ණයක් ලබාගැනීම ඉතා අපහසු තත්ත්වයක්ව තිබීම වෙනස් කළ යුතුයි.

මෙහිදී භාණ්ඩ මිල ගැනත් අදහසක් දැක්වීමක් අවශ්‍යයි . මගේ යෝජනාව නම් දැන් ආනයන සඳහා තිබෙන ලයිෂන් කෝටා ක්‍රමය වෙනුවට තරගකාරී ලෙස භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවස්ථාව දිය යුතුයි. එවිට අල්ලස් සහ දූෂණ නවත්වා ගැනීමට පුළුවන් .

මෙහිදී මාධ්‍යවේදියෙකු, හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙත ප්‍රශ්නයක් යොමුකරමින්, ජනාධිපතිවරයා ගෙන ඒමට නියමිත නව පනත මඟින් මූල්‍ය බලය එක් තැනකට ගැනීමේ සූදානමක් ගැන විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක සඳහන් කර සිටියේ මුදල් අමාත්‍යවරයා මූල්‍ය බලය කොහොමටත් පාර්ලිමේන්තුව සතු බවයි. ඒ අනුව සියලු මුදල් අනුමත කිරීම සිදුකරන්නේ පාර්ලිමේන්තුව මඟින් වන නිසා විවිධ පාර්ශ්ව සඳහන් කරන ආකාරයේ ගැටලුවක් ඇති නොවන බවද රවී කරුණානායක මහතා පැවසූ අතර තවදුරටත් මෙසේද සඳහන් කළේය.

ආයෝජකයන් පැමිණ තම ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගන්නට යොමුවුවත්, නිලධාරීන් ෆයිල් මාරු කරමින් තීරණයක් ගැනීම සඳහා විශාල කාලයක් ගන්නවා. මේ පනත හරහා ඒ බාධක ද නැති වෙයි.

ඒ වගේම අපි එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවා. සියලු පාර්ශ්ව වල සහය ඒ සඳහා ගත ‍යුතුව තිබෙනවා. කොහොම නමුත් මේ වෙලාව අපේක්ෂකයා කවුද කිය කියා යන්න අවස්ථාව නෙවෙයි. අපිට කරන්න වැඩ රැසක් තිබෙනවා. ඒ නිසා ස්ථිරව කියන්න තියෙන්නේ අපේ නිර්පාක්ෂික අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි. සියලු පක්ෂ වලට පුළුවන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වෙන්න.

එක පුද්ගලයෙකුට හැකි වුණා වැටී තිබු රට මේ ආකාරයට යළි ගොඩනගන්න . ඒ සාර්ථකත්වය ඉදිරියට ගෙන යාමට සහය දක්වන ලෙස අප සියලු පාර්ශ්ව වෙත ආරාධනා කරනවා.

මේ වන විට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා . මේ රට නියෝජනය කරමින් කණ්ඩායමක් ඊට අදාළ සාකච්ඡා සඳහා සහභාගි ව සිටිනවා. එහි ප්‍රතිඵල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවට දැනුම්දීමෙන් අනතුරුව අපට ණය බරතාවයකින් තොරව ඉදිරියට යාමට පුළුවන් වෙනවා.

මෙහිදී අවධානය යොමුකළ යුතු වැදගත් කාරණය වන්නේ ආර්ථිකයක් ගොඩනැගීමට අවුරුදු ගාණක් යනවා. නමුත් සතියෙන් දෙකෙන් ආර්ථිකය නැතිබංග කළ හැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා කියූ වැල් පාලමේ කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන සම්බන්ධ කර විවිධ කතා කියන පාර්ශ්ව මේ කතා කියන්නේ රටේ ආර්ථික ව්‍යුහය ගැන නිසි දැනුවත් භාවයක් ඇතුවද යන්න ප්‍රශ්නයක්. සැබවින්ම ඔවුන් පාලම් කඩපු පිරිසක්. එදා ඉන්දීය විරෝධයක සිට රට ඇවිලවූ මේ පාර්ශ්ව අද ඉන්දියාව හොඳ මිතුරෙක් කියන තැනට ප්‍රතිපත්තිය මාරු කරගෙන. එහෙම කරන්න වුණේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය එදා වැරදි නිසයි. ඒ අනුව අපේ ප්‍රතිපත්තිය නිවැරදි බව තහවුරුව තිබෙනවා .

පසුගිය සමයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට මුහුණ දුන්නා. දැන් මේ පත්තු වෙලා තියෙන්නේ දේශපාලන බිම් බෝම්බයක්. ඔය දේවල් සිදුවුණේ දේශපාලන වාසි තකා කළ කී දේවල් නිසයි.

බැසිල්ගේ යෝජනාව ජනාධිපති ප්‍රතික්ෂේප කරලා : පොහොට්ටු මෙහෙයුම් කාර්‍යාලය අනිද්දා !

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව තම පක්ෂය තවමත් විශ්වාස කරන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට වෙනස් ස්ථාවරයක සිටින බවද ඔහු සඳහන් කර ඇති අතර ඒ ඊයේ (07) පක්ෂ මූලස්ථානයේ පැවති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අමතමිනි .

මීට පෙරද අවස්ථා කිහිපයකදී මහමැතිවරණයක් කැඳවීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර තිබිණ.

කෙසේ වෙතත් කුමන මැතිවරණයක් පළමුව පැවැත්වුවත් ඒ සඳහා සූදානම් වන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බැසිල් රාජපක්ෂ උපදෙස් දී ඇත.

මේ අතර ඉදිරි මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අනිද්දා දිනයේ විවෘත කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදි මෙම මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සඳහා ආසන මට්ටමින් පක්ෂය සූදානම් කරවීම සඳහා මෙම මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

පරිසර සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක්  - ජනපති

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ වුණු ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව (Sri Lanka Climate Summit) අමතමිනි.

“අපේ පෘථිවිය සහ අපේ රට වෙනුවෙන් දේශගුණික ක්‍රියාමාර්ග (Climate Action for our Nation and the Planet)” යන තේමාව යටතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කළ ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ඊයේ ඇරඹුණු අතර එය මැයි 09වනදා දක්වා පැවැත්වේ.

ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් පුළුල් ඉදිරි දැක්මකින් යුතුව දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයේ විවිධ පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සහ එමඟින් ආර්ථිකයේ ප්‍රධාන අංශවලට ඇති විය හැකි බාධාවන් පිළිබඳ සොයා බැලීම මෙම දේශගුණික සමුළුවේ අරමුණයි.

විමෝචනය අවම වන සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමේදී සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ද මෙම සමුළුවේදී සංවාදයට ගැනෙයි.

දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ද මේ වන විට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර තිබෙන බවත් දේශගුණික විපර්යාස අවම කිරීමේ නීති සැකසීමේ දී ගෝලීය මූල්‍ය සංවිධාන විසින් පිළිගනු ලබන එක්සත් රාජධානියේ පවතින දේශගුණික විපර්යාස පිළිබඳ පනත අනුගමනය කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

එසේම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී ඉන්දියන් සාගරයේ හා නිවර්තන කලාපයේ රටවල භූමිකාව සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීමද පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත දේශගුණික විපර්යයාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳව ද පැහැදිළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා කෙරෙන මෙම හමුවට සහභාගිවීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු වෙනවා.

මම ජනාධිපති ධුරයට පත් වූ දා සිට දේශගුණික අභියෝග ජය ගැනීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් මගේ කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඒ පිළිබඳ උපදේශකවරයෙකුද පත් කිරීමට කටයුතු කළා.

මෙතෙක් අපේ අවධානය යොමුව තිබුණේ පරිසරය පිළිබඳව පමණයි. නමුත් ඒ තුළ දේශගුණික විපර්යාසයන් ඉටු කරන වැදගත් කාර්යභාරය අප වටහා ගත යුතුයි. දේශගුණික විපර්යාස ඉහළ ගියහොත් සමස්ත පරිසරයම නරක අතට හැරෙනු ඇතියි. ඒ නිසා, දේශගුණික විපර්යාසවලට අපට අනුගත විය හැකි ආකාරය සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කළ හැකි ආකාරය පිළිබඳ අප නිරන්තර අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා.

පසුගිය දින කිහිපයේ සිට අපට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයපහත් දේශගුණික විපර්යාසවල සලකුණක් පමණයි.

ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යය බවට වුණේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමයි. මේ වන විට එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස අවසන් වෙමින් තිබෙන අතර අප දැන් ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. දැනට රටේ පවතින ආර්ථික ක්‍රමය තුළ අපට ඉදිරියට යා නොහැකියි. මා මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබෙන ආකාරයට අපනයන සඳහා නැඹුරු වූ ඉහළ තරගකාරී ආර්ථිකයක් බවට අප පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් නව නිති සම්පාදනයට ද අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත බොහෝ විට ලබන සතියේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අපේක්ෂා කරනවා.

‍මෙම ආර්ථික පරිවර්තන පනත මඟින් 2050 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වයට පත්වීමේ ඉලක්කය කරා ළඟා වීම ද සහතික කෙරෙනවා. ඒ වගේම එම කාලයට පෙර මේ ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව මම විශ්වාස කරනවා. ඒ නිසා මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳ පමණක් නොවයි. ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වයට පත්වීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම මත පදනම් වූ හරිත ආර්ථිකයක් බවට පත් කිරීමටත් අපගේ අවධානය යොමු කර තිබෙනවා.
පරිසරය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අප නව නීතියක් ද කෙටුම්පත් කරමින් සිටින අතර පරිසරය සහ දේශගුණික විපර්යාස යන දෙකම හසුරුවන එක් නීතියක් ගෙන ඒමට අප තීරණය කර තිබෙනවා. එමඟින් මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් පවත්වාගෙන යන අතර එයට දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ද ඇතුළත් කෙරෙනවා. මෙම නීති සම්පාදනය කිරීමේදී එක්සත් රාජධානියේ පවතින දේශගුණික විපර්යාස පිළිබඳ පනත අනුගමනය කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේම එමඟින් දේශගුණික විපර්යාස කමිටුවේ උපදෙස් මත ක්‍රියා කිරීම සහ පාර්ලිමේන්තුවට රෙගුලාසි ඉදිරිපත් කිරීම ආණ්ඩුවට සහ අදාළ විෂය භාර ඇමතිවරයාට පැවරෙනවා.

එක්සත් රාජධානියේ දේශගුණික විපර්යාස පනත අනුගමනය කිරීමට එක් හේතුවක් වන්නේ එය මූල්‍ය සංවිධාන විසින් හොඳින් පිළිගත් පනතක් වීමයි. ඒ නිසා අපට පවතින විවිධ විකල්පයන් සහ අපගේ හරිත මූල්‍යකරණය, නිසැකවම එක්සත් රාජධානියේ සමාන භාවිතයන් මත පදනම් වන බව අප සහතික කරනවා. වාණිජ මණ්ඩලය, කොටස් හුවමාරුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මේ සියල්ල මේ සමඟ සම්බන්ධ වන්නේ ඒ අනුවයි.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. අපගේ සූර්ය බලශක්ති ධාරිතාව සහ සුළං බලය සඳහා පවතින ධාරිතාව දෙස බැලුවහොත්, ගිගාවොට් 30 ත් 50ත් දක්වා වූ පරාසයක විභවයක් අප සතුව පවතිනවා. අපට අවශ්‍ය වන්නේ අප සතුව ඇති මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටයි.

ඒ වගේම රට තුළ කෘෂි ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අප මේ වන විට කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

දේශගුණික අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ එකඟතාවකට පැමිණීමට තවමත් ගෝලීය ප්‍රජාවට ‍ නොහැකි වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ (COP) සෑම සමුළුවකටම ශ්‍රී ලංකාව සහභාගී වුණා. එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වූ නමුත් අවසාන එකඟතාවයකට එළැඹීමට නොහැකි වී තිබෙනවා. ඊළඟ රැස්වීම් දෙකේදී අපි යම් එකඟතාවකට පැමිණිය යුතුයි, නැතහොත් මෙය අත්හැර දැමිය යුතුයි කියා මා විශ්වාස කරනවා. නමුත් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී ශ්‍රී ලංකාව තනිවම, මූලික පියවර තුනක් ගෙන තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අප්‍රිකානු රටවලට උපකාර කළ යුතුයි. ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අප්‍රිකානු රටවලට අරමුදල් අවශ්‍ය වෙනවා. එසේ නොවුවහොත් එම මහාද්වීපය තුළ විනාශයක් සිදු වෙනවා. අප අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදු කරගනු ලැබුවා. අප ඉතා අසීරුවෙන් එම කාර්යය සිදු කළා. ශ්‍රී ලංකාවට එම අභියෝගයට මුහුණදීමට හැකියාව තිබුණා. නමුත් ඒ සඳහා සහාය අවශ්‍ය පිරිසක් ද සිටිනවා.

දෙවනුව දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අප අපේක්ෂා කරන අරමුදල් ග්ලාස්ගෝ නුවර පැවති සමුළුවේදී ලබාදීමට පොරොන්දු වූ නමුත් යම් යම් ක්‍රමවලින් මුදල් නැති වී හෝ එය එක්රැස් කර තිබූ බැංකුවලින් එම අරමුදල් ලබා දී නැහැ. නමුත් අපට මෙම අරමුදල් අවශ්‍යයි. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ සඳහා සටන් කළ යුතු බව මතක තබා ගන්න. අප එක පැත්තකින් සටන් කළ යුතුයි වගේම අනෙක් පැත්තෙන් එය වාණිජමය වශයෙන් දියුණු කිරීමට අපට හැකි සෑම දෙයක්ම ද කළ යුතුයි.

ශ්‍රී ලංකාව තුළ නිවර්තන කලාපය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමට මම කටයුතු කළේ මේ නිසයි. මේ සියල්ලට පසුව, කාබන් අවශෝෂණය කරන කලාපය වන්නේ නිවර්තන තීරයයි. එබැවින් දේශගුණික විපර්යාස පිළිබඳ විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් වාණිජමය වශයෙන් හැකියාව පවතින නිවර්තන කලාපයේ සෑම ප්‍රදේශයක්ම හඳුනා ගත යුතු වෙනවා.
ඒ වගේම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) ගත්විට ඒ තුළ අප ඉන්දියන් සාගරය තුළ පවතින හැකියාවන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිනවා. එබැවින් නිවර්තන කලාපය සහ ඉන්දියානු සාගරය තුළ විශාල කාබන් අවශෝෂක ප්‍රදේශයක් නිර්මාණය වනු ඇතියි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ගන්නා අතර එමගින් විශාල වෙනසක් සිදු වනු ඇතියි.

දේශගුණික අනුවර්තනය සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා අප මේ වන විට කලාපයේ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය නීති ද ශ්‍රී ලංකාව විසින් ගෙන එනවා. අපි දැනටමත් ඒ සඳහා කොත්මලේ ප්‍රදේශයේ අක්කර 600ක් පමණ තෝරාගෙන තිබෙන අතර එම ඉදිකිරීම් කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

වෙන්නායි IIT Madras Research Park හි සභාපති මහාචාර්ය අශෝක් ජුනුජුන්වාලා (Prof. Ashok Jhunjhunwala), ඉන්දියාවේ බලශක්ති පරිසර හා ජලය පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අරුණභා ඝෝෂ් (Dr. Arunabha Ghosh), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), ආචාර්ය රොහාන් පෙතියාගොඩ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති සහ ඩිල්මා සමූහ ව්‍යාපාරයේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආනන්ද මලවතන්ත්‍රි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විදේශීය සංවිධාන නියෝජිතයින්, ව්‍යපාරිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240508 WA0010

IMG 20240508 WA0010

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් මෙරට ණය බර ඩොලර් බිලියන 17කින් අඩු වෙයි - අලිසබ්‍රි

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි අලිසබ්‍රි පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මෙම අදහස් පළකළේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද අලිසබ්‍රි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව රටක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් සියලු ජාතීන් සමඟ සුහදව ගනුදෙනු කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයද ආරක්ෂා කර ගනිමින් සෑම රටක් සමඟ ම ගනුදෙනු කිරීම නිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත පහසු වූ බව සඳහන් කළ යුතුයි. චීනය, ජපානය ,ඉන්දියාව හා පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා විශාල සහයක් ලබාදුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකියි.

ඒ වගේම චීනය සහ ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට අපට හැකි වුණා. චීනය සමඟ අවබෝධතා ගිවිසුම් නවයක් මේ වනවිට අත්සන් කර තිබෙනවා. ඉන්දියාවේ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹී සිටිනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට අදානී සමාගම ඉදිරිපත්ව තිබෙනවා. සෞදි අරාබියද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් ඉන්ධන මත රැඳී තිබුණු ආර්ථිකයෙන් මිදී අනෙක් රටවල්වල ආයෝජන අවස්ථා ඇති කර ගනිමින් ඔවුන්ගේ රටවල ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අප කටයුතු කරනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය ජාත්‍යන්තර නීති රීති හා එකඟතාවලට අනුකූලව විදේශ රටවල් සමඟ සබඳතා පවත්වන නිසා ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයට ගැටලුවක් වුණේ නැහැ. ඉරානය ලබා දුන් උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් ලබන මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. ලබන මාසයේ විදුලි බිල සංශෝධනය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා.

ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට නම් වීසා ගාස්තු පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. රටවල් පනහකට පමණ නොමිලේ වීසා ලබාදීමට අවශ්‍යව තිබෙනවා. එමඟින් සංචාරක කර්මාන්තය තව දුරටත් නගා සිටුවිය හැකියි.

පසුගිය සතියේ ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් ජපානයේ සහාය ලබාදෙන බව ඇය ප්‍රකාශ කළා.ජපානයේ සහාය ඇතිව ආරම්භ කර මේ වන විට නවතා ඇති ව්‍යාපෘති යළි ඇරඹීමටද ජපානය එකඟතාව පළකර තිබෙනවා.

ඒ වගේම මියන්මාරයේ ජාවාරම්කරුන් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් තිබෙනවා. තවද රුසියාව- යුක්‍රේන යුද්ධය ආශ්‍රිත කුලී හමුදාවන්ට යවා ඇති අපගේ තරුණ පිරිස් බේරා ගැනීමටද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. රුසියාවේ ආරක්ෂක අංශ සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

සිරිසේන පාර්ශ්වයට එරෙහි තවත් වාරණයක් දීර්ඝ කෙරේ !

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණය නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඩයනාගේ මන්ත්‍රී ධූරය සුජීව හලා මුජිබර්ට : සජිත් තීන්දුව අරගෙන !

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පත් කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමට නියමිත ය .

ඒ අනුව එම කොමිෂන් සභාව විසින් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන නියෝජිතයා පිළිබඳව සමගි ජන බලවේගය පක්ෂයෙන් විමසීම් කිරීමෙන් පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මුජිබර් රහුමන් කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට තරඟ වැදීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉල්ලා අස්විය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම සමග ඒ වෙනුවෙන් පුරප්පාඩු වන සජබ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරය සඳහා සුජීව සේමසිංහ ගේ නමද ඉදිරිපත් වූ නමුත් මුජිබර් රහුමාන් ට එම අවස්ථාව ලබාදීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කළ බවයි.

නව ග්‍රාම නිලධාරීන් 2100කට ජනපති අතින් පත්වීම් !

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක් විය.

අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

අද ග්‍රාම නිලධාරීවරුන් ලෙස පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද සිට ඔබ රාජ්‍ය සේවයේ සාර්ථක කොටස්කරුවන් බවට පත් වෙනවා. අප උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජිවිත ගොඩනැංවීමටයි. එහි විශාල වගකීමක් රටේ මූලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය ලෙස ඔබට පැවරෙනවා.

කඩා වැටීමට ලක්වූ මෙරට ආර්ථිකය අද සීග්‍රයෙන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප මේ වන විට ගිවිසුමකට එළැඹ තිබෙන අතර තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා.

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ ගම කේන්ද්‍ර කර ගනිමිනුයි. පසුගිය 2022, 2023 වසරේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම 2023 වසරේ මහ කන්නයේදී නැවත සාර්ථක අස්වැන්නක් ලැබුණා. මෙම දායකත්වය නිසා අද අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ සමඟ අද ග්‍රාම නිලධාරි සේවයට 2100ක් බදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අපට අවස්ථාව ලැබුණා. පරිපාලන කටයුතු පමණක් නොවෙයි ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළේ වගකීමත් ඔබට පැවරෙනවා.

විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු අංශ 04ක් පිළිබඳව මම මෙහිදී පෙන්වා දීමට කැමතියි.

අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීම වෙනුවෙන් රජය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. සමෘද්ධිය මෙන් තුන් ගුණයක් වැඩිකර එම දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම ප්‍රතිලාභීන් පිළිබඳ තොරතුරු පරිගණක ගත කිරීම මේ වසර අවසන්වන විට නිමා කළ යුතුයි. එවිට ලබන වසරේ සිට මෙම වැඩසටහන මීට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ඒ අනුව අස්වැසුම මඟින් ගමට ලබාදෙන සහන ප්‍රමාණය වැඩි වී තිබෙනවා වගේම ප්‍රතිලාභීන් ප්‍රමාණය ඉහළ නැංවිමට අප තීරණය කර තිබෙනවා.

ඒ වගේම මෙම ජනතාවගේ ආදායම් මාර්ගද ඉහළ නැංවීමට කටයුතු කළයුතුයි. එම ආදායම්ද ගමේ ආර්ථිකයට එක් වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට පසුගිය අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබා දීම ආරම්භ කළා. එමඟින් මෙම ජනතාවට තවත් සහනයක් ලැබෙනවා වගේම මෙම සහල් මිලදී ගනු ලැබුවේ කුඩා මෝල් හිමියන්ගෙන් බැවින් ඔවුන්ටද යම් සහනයක් ලැබී තිබෙනවා. මේ මුදල් සියල්ල හුවමාරු වන්නේ ගම තුළයි. ගම දියුණු කිරීමට නම් මෙම වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි.

ඒ වගේම ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. මෙම ඉඩම් අයිතිය සමඟ ඔවුන්ගේ ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වෙනවා. මෙම ප්‍රතිලාභය හිමිවන්නේ ද ගමටයි.

එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. අතීතයේ රජ රට ප්‍රදේශයේ කාෂිකර්මන්තයෙන් සශ්‍රීකව පැවතුණා. දඹදෙණියේ සිට මහනුවර දක්වා තෙත් කලාපයේ කුරුදු ඇතුළු කුළු බඩු වගා කෙරුණු අතර එහි අපනයන ආර්ථිකයක් පැවතුණා. බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, රබර්, පොල් අපනයනය කළා.

නැවත රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නවීකරණ කමිටු පත් කර ගොවීන් ඒකරාශී කර ගනිමින් පුද්ගලික අංශයේ ද දායකත්වයෙන් ගමේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25ක් මේ සඳහා හඳුනාගෙන තිබෙන අතර මිලියන 25 බැගින් ලබා දී තිබෙනවා. ඉදිරි වසර වන විට මේ සඳහා යොදා ගන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 100ක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා.

ගමේ කෘෂිකර්මය දියුණු නොකොට ගමේ දුප්පත්කම නැති කරන්න බැහැ. එසේ නම් කෘෂි නවීකරණ වැඩසටහන සමඟ අප ඉදිරියට යා යුතුයි. දකුණේ ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය නිසා දියුණු වී තිබෙනවා. මේ සියලු වැඩසටහන්වල අරමුණ ගමේ ආර්ථිකය නගා සිටුවීමයි. තමන්ගේ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් ඔබ සියලුදෙනාද මෙම කටයුතු සඳහා සම්බන්ධ විය යුතුයි.

ඒ වගේම ග්‍රාමීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. ඒ සඳහාද ඔබගේ සහභාගීත්වය අවශ්‍යයි.

උරුමය වැඩසටහනට අදාළ ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජංගම සේවයක් ක්‍රියාත්මක කිරීමට අගමැතිතුමා ද සමඟ සාකච්ඡා කර අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස දෙක තුළදි මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, පළාත් සභා,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත,

පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, එස්. බී. දිසානායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. එම්. නන්දසේන යන මහත්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩයනාට මන්ත්‍රී ධුරය අහිමිවෙයි : සජබ මන්ත්‍රීවරුන් ද අවධානමේ !

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

ඒ ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස සිටි බව තහවුරු වීම හේතුවෙනි.

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පසුගිය මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අපේක්ෂකයකු වූ ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී තහවුරු වූ බවයි.

එසේම රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, තම ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වාදී තිබේ.

ඒ අනුව ඩයනා ගමගේ ට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් "quo warranto" රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

මේ අතර සමාජ ක්‍රියාකාරීන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ මෙම තීන්දුවත් සමග සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූර අහිමි වීමේ අවදානමක් ඇති බවයි. ඊට හේතුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේ ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ උප ලේකම් ලෙස කටයුතු කළ අතර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති එම පක්ෂයේ නිලධාරීන්ගේ ලැයිස්තුවේද ඇයගේ නම එලෙස සඳහන්ව ඇති බවයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියෙක් පක්ෂ නිලධාරී ලැයිස්තුවේ සිටියදී එම පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම පිළිගැනීම නීත්‍යානුකූල නොවන බවත් එසේම පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබූ බොහෝ නාමයෝජනා පත්‍ර වල පක්ෂ මහ ලේකම් වෙනුවට උප ලේකම් ඩයනා ගමගේ මහත්මිය අත්සන් කර තිබීමත් නීත්‍යානුකූල නොවන බව නීති විශාරදයින් පවසන බවද එහි සඳහන් වෙයි.

ඒ අනුව ඩයනා ගමගේ ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීමත් සමග සමගි ජන බලවේගය නියෝජනය කරමින් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බව නීති විශාරදයින් පවසන බවත් සඳහන් කර ඇත .

කුලී හේවායන් වීම ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක්

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත යෑම සම්බන්ධව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සිය කනස්සල්ල පළ කර තිබේ.

ඒ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටින්නේ විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත කුලී හේවා කණ්ඩායම් වෙත යොමු කරන වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසටයි.

“කුලී හේවා සටන් සම්මත යුධ උපක්‍රමයක් නොවන අතර එවන් මාර්ගයන් වෙත යොමු වීම අපගේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදුකිරීමේ දැඩි අවධානමක් ඇති කරයි.” ඔහු අවධාරණය කරයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ සම්බන්ධව කරන ලද ඉල්ලීම පහතින්,

 ඔබේ ගෞරවය සහ අභිමානය රැකගන්නා ශ්‍රී ලංකා හමුදා ප්‍රවීණයන් වෙත කෙරෙන ඉල්ලීමක්

ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වශයෙන් අපි අපගේ මාතෘ භූමිය පිළිබදව ගෞරවනීය හැඟීමකින් හා පක්ෂපාතීත්වයකින් බැඳී සිටින්නෙමු. එමෙන්ම, ජාතියේ යහපත වෙනුවෙන් කැපවෙමින් මාතෘ භූමිය මුහුණ දෙන සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම නිර්භීතව ඒ වෙනුවෙන් පෙනී සිටිමින් නැගී සිටින්නෙමු.

එනමුදු, කෙටි කාලීන මුදල් ඉපයීම හා තාවකාලික යස ඉසුරු සපයා ගැනීම සඳහා එම අභිමානය හා පක්ෂපාතිත්වය අත්හැර දැමීමට අප අතරින් යම් පිරිසක් පොළඹවා ගැනීමට දරනු ලබන රහසිගත උත්සාහයන් පිළිබදව මෙම කාල සීමාවේදී නිරීක්ෂණය වේ.

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත ගොස් තිබෙන බව මෑත කාලීනව පල වූ වාර්තා හා සිදුවීම් මගින් අනාවරණය වී තිබෙන කරුණකි. බොහෝ කාලයක් අපගේ මාතෘ භූමියේ පැවැත්ම වෙනුවෙන් රණකාමීන් සහ දේශප්‍රේමීන් ලෙස අභිමානනීය සේවාවක් ඉටු කළ මෙම රණ විරුවන් විවිධ පොරොන්දු සහ ලාභ ප්‍රයෝජනයන්ට මුලා වී මෙම කුලී හේවා කණ්ඩායම් සමග එක්වීමට උත්සාහ දරන තත්වයක්ද නිරීක්ෂණය වී තිබේ.

අපගේ විරෝදාර රණවිරුවන් රට වෙනුවෙන් කළ අප්‍රමාණ කැප කිරීම් කිසිදා අමතක කළ නොහැක. එසේම අනේක විධ දුෂ්කරතා විඳිමින් මාතෘ භූමිය වෙනුවෙන් ලේ වගුරවමින් අපගේ සහෝදර සෙබලුන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කළ අයුරු අප දැක ඇත්තෙමු.

අපගේ විරෝදාර රණවිරුවන් සතු නිර්භීතකම පුද්ගලික වාසි සඳහා වෙළඳාම් කළ යුතු භාණ්ඩයක් නොවේ; එය මාතෘභූමියේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් අපගේ රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ උත්තරීතර පරිත්‍යාගයකි.

 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා WWV RWP RSP VSV USP ndc psc MPhil, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ලෙස මෙන්ම විරෝදාර රණවිරුවන් සමඟ යුධ භූමියේ උරෙන්උර ගැටී සටන් කල ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස වර්තමානයේ ගොඩ නැගී තිබෙන මෙම ප්‍රවනතාව පිළිබද තම දැඩි කනස්සල්ල පළකර ඇත. එසේම, මෙහි ඇති භයානකත්වය හා අනතුරුදායක බව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත මෙම කුලී හේවා කණ්ඩායම් වෙත රණවිරුවන් යොමු කිරීමේ වංචාකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් සියලුම විශ්‍රාමික රණවිරුවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

 කුලී හේවා සටන් සම්මත යුධ උපක්‍රමයක් නොවන අතර එවන් මාර්ගයන් වෙත යොමු වීම අපගේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදුකිරීමේ දැඩි අවධානමක් ඇති කරයි. ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ ජයග්‍රාහී හමුදාවක සාමාජිකයන් ලෙස අප අපගේ වෘත්තියේ ගෞරවය හා අවංකභාවය ආරක්ෂා කළ යුතුය.

සැබෑ නිර්භීතකම පවතින්නේ කෙනෙකුගේ වැටුපේ ප්‍රමාණයෙන් නොව අපගේ යහපත් ප්‍රතිපත්ති හා අරමුණු වලින් සන්නද්ධ වීමෙන් බව අප වටහාගත යුතුය. තිස් වසරක් මාතෘ භූමිය වෙනුවෙන් කැපවෙමින් ජීවිත පරිත්‍යාග කළ අපගේ විරෝදාර සහෘද රණවිරුවන්ගේ පරිත්‍යාගයන්ට ගෞරව කරමින් ත්‍රිවිධ හමුදාවේ කීර්ති නාමය හා ප්‍රෞඩත්වය සුරක්ෂිත කිරීමට අපි සියලු දෙනාම කැපවෙමු.''

විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07)  නියෝග කර ඇත.

විජේදාස රාජපක්ෂ  ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන්  විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ කර ඇත.

ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිශ්ප්‍රභ කරන බව අධිකරණය සදහන් කළ බව වාර්තා වේ.

අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න / මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන  ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ  පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති අරමුදලෙන් අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක් වන අතර දිවයින පුරා පිහිටි පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන 822 ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ යටතේ එක් පිරිවෙනකට/ සීලමාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 06කි. ඒ අනුව පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති විසින් තම පිරිවෙනට/ සීලමාතා අධ්‍යාපන ආයතනයට අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතුය.

කාණ්ඩ දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර මේ යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ. පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3000/- බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහා ද, දෙවන කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් සඳහා ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍රය ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ www.facebook.com/president.fund නිල Face Book පිටුවෙන් ලබාගත හැකිය.

එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ගිහි පැවිදි ශිෂ්‍යත්ව අයදුම්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද තම අයදුම්පත්‍රය 2024 මැයි 22 දිනට පෙර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති වෙත පමණක් භාරදිය යුතු අතර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපතිවරුන් විසින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛන ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමට හැකිවන පරිදි කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( පිරිවෙන්) මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ වෙත එවනු ඇත.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබන, දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලබන අරමුදල් මඟින් ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහයෝගය මත ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනද දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ කලාපයකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 50ක් ලබාදීමට සැලසුම් කර ඇත. මේ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 මැයි මස සිට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මාස 24ක උපරිම කාල සීමාවකට යටත්ව මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කරනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ www.facebook.com/president.fund යන නිල Face Book ගිණුමෙහි හා www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

එසේම මේ සම්බන්ධ තොරතුරු විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේද පළ කිරීමට කටයුතු කර ඇත.

මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරිමට සුදුසුකම් සහිත ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024 මැයි මස 22 හෝ ඊට පෙර සෘජුවම ජනාධිපති අරමුදල වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ද 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර 2024 පෙබරවාරි 07 වන දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් කළ ආකාරයට ජනාධිපති අරමුදල විසින් 2024 වර්ෂය තුළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙන අතර ඒ සියල්ල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 2022/2023 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පොස (උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දිවයිනේ අධ්‍යාපන කලාප 100 අතුරින් එක් කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60දෙනෙකු බැගින් තෝරාගෙන අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකය.

දැනට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභීන් 6000ක් තෝරාගෙන අදාළ ශිෂ්‍යත්වලාභීන් පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල Face Book පිටුවේ හා නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. මෙම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අප්‍රේල් මස සිට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර හිඟ මුදල් ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතය.

මේ අතර අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන යටතේ මෙරට තිබෙන පාසල් 10,126 ආවරණය වන පරිදි එක් පාසලකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 04ක් හා උපරිම වශයෙන් ශිෂ්‍යත්ව 22ක් ලැබෙන පරිදි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් සඳහා මසකට රුපියල් 3,000/- බැගින් ශිෂ්‍යත්ව ලබා දීමට ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ කටයුතු දැනට සිදු කරමින් පවතින අතර මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු නුදුරු දිනකදීම සිදු කිරීමට නියමිතව ඇත.

දැනට මෙම ශිෂ්‍යත්ව අයදුම්කරුවන් පිළිබඳව විස්තර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් ජනාධිපති අරමුදල වෙත ලැබෙමින් පවතින අතර අදාළ සියලුම විස්තර පරිගණක ගතකර අවසන් කළ පසු මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු සිදු කරන අතර එක් එක් ශිෂ්‍ය/ ශිෂ්‍යාව වෙනුවෙන් ආරම්භ කර ඇති බැංකු ගිණුම් වෙත මාසිකව සෘජුවම අදාළ මුදල් බැර කර ශිෂ්‍යත්වලාභියා වෙත කෙටි පණිවිඩයක් (SMS) මඟින් ඒ පිළිබඳව දන්වා යැවීමට කටයුතු සලසා තිබේ.

වසර 5කට පසුව චන්ද්‍රිකා ශ්‍රීලනිප මහ ගෙදරට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද (06) ශ්‍රීලනිප මූලස්ථානය වෙත පැමිණ ඇත.

ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන , අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක , හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ද ඒ වෙත පැමිණ තිබේ .

එහිදී හිටපු ජනාධිපතිවරිය මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් පක්ෂයේ හැමදාමත් සිටි බවත් ඒත් හිිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇයව පැන්නූ බවත් ඉන්පසු මුලස්ථානයට නොපැමිණි බවත් ය.

එසේම පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බවත් රට හදන්න සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවත් ය.

Page 3 of 391