V2025

විනෝදාස්වාද

හදවතේ ගායක චාමර සුව අතට !

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව වාර්තා වෙයි .

අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත චාමර වීරසිංහ මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබිණ .

එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණි.

මෙම සිදුවීම වාර්තාවීමත් සමග චාමර වීරසිංහ ගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් කළුබෝවිල රෝහල වෙත පැමිණීමට පටන් ගැනීමත් සමග එහි ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබූ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .

සිනමා නිළි ලීනා ද සිල්වා අභවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ලීනා ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ලීනා ද සිල්වා මහත්මිය 87 වැනි වියෙහි පසු වුවාය.

ලීනා ද සිල්වා දශක හයකට වැඩි කාලයක් එකල ජනප්‍රිය හා විචාරක පැසසුම් ලත් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබුණි.

අහංකාර ස්ත්‍රී (1954), සුරතලී (1956), රන්රස (1967) ඇය රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර වෙයි.

මෑත කාලයේ ගඟ අද්දර, වාලම්පූරි ඇය රඟපෑ බොහෝ දෙනෙකුට මතක ඇති නිර්මාන අතර වෙයි.

ලීනා ද සිල්වා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තම දූදරුවන් සමග ජීවත් විය.

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.

ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය.

සුමින්ද සිරිසේන උපන්නේ 1948 ජූලි 4 වැනිදා කෑගල්ලේ පිටිසර ගමක්වූ බොස්සැල්ලේදී පවුලේ වැඩිමලා ලෙසය. ඔහුගේ පියා සම්ප්‍රදායික ජන නාට්‍ය ද රඟ දැක්වූ අයෙකු විය. ගමේ පාසලේ පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් පසු 1963 වසරේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ඔහුට හිමි විය. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිති.

සිය පාසල් අධ්‍යාපනයෙන් පසු සිරිසේන කොළඹ ශ්‍රී ලංකා දුම්රිය සේවයට 1969 දී විශේෂ ආධුනිකයෙකු ලෙස පැමිණියේය.

සමාජ විද්‍යාව පිළිබඳ BA උපාධියක් ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර පසුව උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MA සම්පූර්ණ කර ඇත.

ඔහු විවාහ වී සිටින්නේ ලීලා සිරිසේන සමඟයි. මෙම යුවළට ප්‍රභාත් සහ නන්දිත යනුවෙන් පුතුන් දෙදෙනෙක් සිටිති.

2012 මැයි මාසයේදී සිරිසේන හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

එතැන් සිට ඔහුට ඇවිදීමේ දුෂ්කරතා ඇති විය. ඔහු පසුව භෞතචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහුගේ කලා කටයුතුවලට දිගු ඉතිහාසයක් තිබේ.1967 වසරේ රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරී පත් වූ නාට්‍ය පාසලේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සම්බන්ධ විය. පසුව ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේ විසින් ආරම්භ කරන ලද ධම්ම ජාගොඩ ශිල්ප ශාලිකා රංග පාඨමාලාව හැදෑරීය. 1969 දී ඔහු ප්‍රථම රංගනය ‘මූදු පුත්තු‘ වේදිකා නාට්‍යෙය් සනිටුහන් කළේය . ඔහු 1970 දශකයේ බොහෝ වේදිකා නාට්‍යවල රඟපෑවේය.‘මීපුර වැසියෝ‘ නාට්‍ය යේද ඔහු රඟපෑවේය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු , බවකඩතුරාව, මහාසාර කඩ , මනමේ නාට්‍ය වල රගපෑ ඔහු බවකඩතුරාව වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයද දිනා ගත්තේය 2002 දී ඔහු “සිවුරංග” නමින් නාට්‍ය පාසලක් පිහිටුවීය. එම ඇකඩමියෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි විය. ඉන්පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස සේවය කළේය.

සිරිසේනගේ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 වසරේ සිහින නිම්නයයි. ඔහුගේ දෙවැනි ටෙලිනාට්‍යය වූ කුමාරිහාමි හි හිච්චි මහත්තයාගේ චරිතයයි . හිරුට මුවාවෙන් ටෙලි නාටකයේ ඔහු කළ රංගනයද අතිශය ප්‍රකට විය.

එතැන් පටන් ඔහු ටෙලි කතාමාලා 40කට වැඩි ගණනක රඟපා ඇත. චරිත තුනක් කතාමාලාවේ “ඊසා” ලෙස ඔහුගේ චරිතය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ 1976 දුහුළු මලක් තුලිනි. සප්ත කන්‍යා , යකඩ පිහාටු , උප්පලවන්නා , සමනල තටු, ඉර හඳ යට ඇතුළු චිත්‍රපටවල රඟපා ඇත.

සේපාලිකා සහ බොරළු පාර ටෙලි නාටක වල රඟපාමින් සිටියදී ඔහුගේ අසනීප තත්ව මතුවූ අතර ඉන් පසු රංගනයට සම්බන්ධව සිටියේ නැත.

සුමින්ද සිරිසේන වේදිකාවේ සිනමාවේ හා රූපවාහිනි නළුවෙකු ලෙස රංගන දක්ෂතා දැක්වූවෙකි. බොහෝ සම්මාන උළෙලවල හොඳම නළුවා ලෙසද සම්මානය ලබා ඇත. කලා කීර්ති (2017), කලා භූෂණ (2014) පිදුම් ලබා ඇත.

දිනමිණ

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ.

ඊයේ(01) ඒ මහතා අභාවප්‍රාප්තවන විට 73 වැනි වියේ පසුවිය.

දකුණු කළුතර උපත ලද ආනන්ද ගමගේ හැදී වැඩී පාසැල් අධ්‍යාපනය නිමකලේද හලාවත මාදම්පේ ග්‍රාමයේය. කරුක්කුව සුගතානන්ද මහ විදුහල සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය ඔහු උගත් පාසැල් විය . ඔහුගේ ප්‍රථම සංගීත ගුරුවරුන් වූයේ විශාරද ඩබ්.ජේ. විමලසිරි සහ විශාරද බී.වික්ටර් පෙරේරා යන මහත්වරුන්‍ ය.

ගුවන් විදුලියේ නැවුම් මිහිර නැමැති වැඩසටහන සඳහා කේ.ඩී.කේ.ධර්මවර්ධන විසින් පද රචිතව ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කරන ලද ,
” ඔබේ සිහින කුමුදු විලට සුවදෙන සඳරැස මා බව

මතකයි ඔබෙ හැඩ අකුරින් ලියා එවා තිබුනා ”

ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූවද ඔහු මතු ගායකයෙකු නොවීය.

වයලීන වාදනයේ ප්‍රවීණයෙකු වු ඔහු පසු කලෙක විශාල ගීත සංඛාවක් සඳහා වාදකයෙකු ලෙස සහභාගි විය.

හිම කබාය වේදීකා නාට්‍ය තුලින් සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු ,පසුව සංගීත ගුරුවරයෙකු වී ගල්මුරුව හේරත් ගුණරත්න මහා විදුහලට ප්‍රථම පත්වීම ලැබීය.

ඔහුගේ මුල්ම ගීත නිර්මාණ අඩංගු ගී තැටිය වූයේ සිල්වලයින් ලේබලය යටතේ නිකුත් වූ මැණික් කුරුකුලසූරිය ගැයූ ගී හතරක් සහිත “එනතුරා ” ඊපි තැටියයි.

කලකදී ගිරාගම සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසර තුනක පුහුණුවෙන් පසුව , සෞන්දර්ය පුහුණු ගුරුවරයෙකු ලෙස කොළඹ නාලන්දා විදුහලට පත්විය. එකල සමිත රත්ගම ගී ලියා විජය කුමාරතුංග ගායනා කල ගී ඇතුලත් ” තනි යහන ” කැසට් පටය සඳහා ගීත පහක් ඔහු විසින් නිර්මාණය කරන ලදි.
ඔහු තැනූ ගී තනු අතරින් මුලින් ජන ප්‍රසාදයට පාත්‍ර වූයේ ප්‍රනීත් අභයසුන්දර පද රචනා කර විශාරද මාලනී බුලත්සිංහල විසින් ගැයූ ” තාර පාර දිග පාට පාට කඩ ” නැමැති ගීතයයි.

ඉන් අනතුරුව ටෙලි නාට්‍ය හා චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂවරයා වීමේ වරය ඔහු හට හිමිවිය.

ඔහු විසින් සංගීතවත් කල ටෙලි නාට්‍ය අතර,

අඹ යහළුවෝ ( සුදත් දේවප්‍රිය ), කළු කපා එළි( දයාරත්න රටගෙදර ) ඉර බටු තරුව( විජය ධර්මශ්‍රී) , ධවල රාත්‍රිය( සුදත් මහදිවුල්වැව ),සුර අසුර ( බර්මින් ලයිලි ප්‍රනාන්දු ),ගුරු දෙවියෝ ( නීතීඥ මහනාම ද සිල්වා ),ගැහැණු ළමයි( සුමිත්‍රා පීරිස් ),අවසඳ( ආචාර්ය සෝමරත්න දිසානායක ),මහමෙරක්පාමුල (දයාරත්න රටගෙදර), නේත්‍රා මංගල්‍යය(සුමිත් කුමාර ) සුදු කිරි කට්ටිය (නිමල් රත්නායක),දෑකති මුවහත(දයාරත්න රටගෙදර ),කැදැල්ලේ කුරුල්ලෝ(තිස්ස ඩයස්),වැහි දා රෑ(කුමාරසිරි අබේකෝන්) ,දඩ මං සොයා ( සුමිත් කුමාර),මරුවැල (බර්මින් ලයිලි ප්‍රනාන්දු ),හෙට සමුගනිමි(සෝමරත්න රාමනායක ) සත්වෙනි රළ ( සුමිත් කුමාර ) ,මාලතී මල් (බර්මින් ලයිලි ප්‍රනාන්දු )කඩුලු තහංචිය ( දීප්ති විජේතුංග )පුංචි වීරයෝ(චන්න පෙරේරා)කළුවර අඳුන (කවිත්‍රා පනංගල)සුවඳ යහළුවෝ(සිඩ්නි මාකස් ඩයස්)සඳ මද්දහන(බර්මින් ලයිලි ප්‍රනාන්දු )පතොක් පාලම(සුමිත් කුමාර)අපූරූ සහෝදරයෝ(සුමිත් කුමාර)සින්ධූර්(සුමින්ද වීරසිංහ)සඳ නොදුටු සඳ (ජගත් බෙනරගම)ගම තාම සුන්දරයි රේවතී( සුමිත් කුමාර) කුල කුමරිය( බර්මින් ලයිලි ප්‍රනාන්දු )ඒ හීනයට අවසරයි( සුමිත් කුමාර) ඉතිං මට අවසරයි ( සඳුන් රාජකරුණා )ඉතිං අපි කතාකරමු( ප්‍රේම කුමාර ජයවර්ධන )නිදහස් ආවර්ජනා(දයාරත්න රටගෙදර )දෙන්නට දෙන්නා(චරිත් කොතලාවල)අහසින් වැටුනු ගැහැණියක්( එරංග සේනාරත්න )ඉසුරු භවන(ටී.ජී.සුසිරන් ද සිල්වා)එන්න මගේ ප්‍රිය මිතුරෝ(පත්මසිරි ප්‍රනාන්දු )දුටිමි හිරු රැයක(රංජන් ප්‍රසන්න)මායා මන්ත්‍රී(සුමිත් කුමාර)සොඳුරු සිතැත්ති (සුමිත් කුමාර)සඳ එළියක්(සුමිත් කුමාර) යන නිර්මාණ ද විය.

ඔහුගේ තනු නිර්මාණයෙන් ඔපවත්ව ජනප්‍රිය වූ ගීත රැසක් පසුව ජනගත විය.

එකම මගක පියවර මැන යන්නයි..
( පුන්සිරි සොයිසා / ප්‍රේමකීර්ති ද අල්විස් )

කටු අකුලේ මල් ඇහැරේ…
(එඩ්වඩ් ජයකොඩි, ටිලානි අමරසිංහ / බන්දුල නානායක්කාරවසම් )

පාන තියා බුදු සාදුට හිමිදිරියේ..
(දීපිකා ප්‍රියදර්ශනී , ලෙලුම් රත්නායක / බන්දුල නානායක්කාරවසම් )

ඔබයි ඔබේ සිනා පොදයි..
( සරත් වීරසිංහ/ සුදත් දේවප්‍රිය )

වියෝවි මිහිමඬල ඉකි බිඳී..
(චන්ද්‍රිකා සිරිවර්ධන / සුනිල් ආර්. ගමගේ )

අපේ ඒ නරනා..
( රූකාන්ත ගුණතිලක , ප්‍රියා සූරීයසේන/ආචාර්ය අජන්තා රණසිංහ )

ගෙඩි සීයයක් බිම හෙලුවත්..
( විශාරද නන්දා මාලනී / සමන් ප්‍රියදර්ශන )

මට මා හමුවුනා මාද මට හමුවුනා..
( සුනිල් එදිරිසිංහ / බන්දුල නානායක්කාරවසම් )

මල්බර බඹර උදානේ තුරු ලපලු සිනාසේ.
( තිලකසිරි රත්නායක / බන් නානායක්කාරවසම් )

සදලතා තනිව හඬනු එපා ලොවට ඇසේවී
(චන්ද්‍රසේන හෙට්ටිආරච්චි , චන්ද්‍රලේඛා පෙරේරා / බන්දුල ජයසිංහ )

තුන් හෙලේ මහ සඟ රඳාණෙනි..
( සුනිල් එදිරිසිංහ / සමුද්‍ර වෙත්තසිංහ )

විහඟතුඩින් මල් මී පොවන්න..
(තීක්ෂණ අනුරාධ/ ආචාර්ය අජන්තා රණසිංහ )

සඳදිය ගැලුව පුර හඳ වැයුව..
( විශාරද එඩ්වඩ් ජයකොඩි / තුසිත ජයවර්ධන )

ඇතුළු ගීත රාශියක්ම ඔහු විසින් නිර්මාණය කරන ලදි.

ගුරුවරයෙකු , ගුරු උපදේශකවරයෙකු මෙන්ම සංගීත විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවයට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාදක මණඩලයේ චෙලෝ වාද්‍ය ශිල්පියෙකු ලෙසද සේවය කල ආනන්ද ගමගේ ගුවන් විදුලියේ අධ්‍යපන සේවය , විෂය මාලා සංවර්ධන අංශය හා ජාතික අධ්‍යාපන ආයතනය නිෂ්පාදනය කල විවිධ අධ්‍යාපනික වැඩසටහන් හී සංගීත ශිල්පියා ද විය . රජයේ චිත්‍රපට අංශය මෙන්ම බාහිර නිෂ්පාදකවරුන් විසින් නිමැවූ කෙටි හා වෘත්තාන්ත චිත්‍රපට ද ඒ අතර වේ. විවිධ වෙළඳ දැන්වීම් සඳහා ඔහු විසින් සංගීතය නිර්මාණය කරන ලද ජින්ගල් ගීතද විශාල ප්‍රමාණයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ ව්‍යවහාරික සංගීතය පිළිබඳව බාහිර කතිකාචාර්‍යවරයෙකු සේම ටවල් හෝල් රඟහල පදනම මෙහෙයවනු ලැබූ නාට්‍ය හා රංග කලා උපාධි පාඨමාලාවේ බාහිර කථිකාචාර්ය වරයා වශයෙන් ද සේවය කළේය.

ප්‍රවීණා අනුරංගි, සසංකා උත්පලනි, පුන්සිසි අමායා දියණිවරුන්ගේ පියාණන් වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

(දිනමිණ)

Page 5 of 35