V2025

විනෝදාස්වාද

ලෝක රග්බි කිරුළ දකුණු අප්‍රිකාවට

ප්‍රංශයේ පැවැති ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු පිල සමත්විය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක හැන්ඩ්‍රේ පොලාර්ඩ් දඬුවම් පහර 04ක් සාර්ථක කර ගනිමින් දැක්වූ දස්කම දකුණු අප්‍රිකාවට ශූරතාවය දිනාගැනීමට ඉවහල් විය.

මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ නවසීලන්තයට එරෙහිව ලකුණු 12-11ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය.

ඕල් බ්ලැක්ස් (නවසීලන්ත) පිලේ නායක සෑම් කේන් තරගය ආරම්භයේදීම රතු කාඩ්පතක් ලබා ගත් අතර එය නවසීලන්ත පිලට යම් මට්ටමක බලපෑමක් කරන්නට සමත්වු විචාරක මතය වේ.

දකුණු අප්‍රිකානු පිල (Springboks) 1995, 2007 සහ 2019 දී ලෝක ශූරතාවය දින ගැනීමට සමත්වූ අතර මේ ඔවුන්ගේ හතරවැනි ලෝක කුසළාන ජයග්‍රහණය වේ. ඒ අනුව වැඩිම වාර ගනණක් රග්බි ලෝක කුසලානය දිනූ රට බවට දකුණු අප්‍රිකාව පත් විය.

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් වැඩි අවධානයක් දිනාගන්නා තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ(14 වැනිදා) පැවැත්වුණි.

එම තරගය කඩුලු 07කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළේය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි.

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 192කි.

ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 30යි පන්දු 03ක් තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මෙම ජයත් සමග තවදුරටත් මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූ ඉන්දියාව, එදා මෙදා තුර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානය හමුවේ අපරාජිත වාර්තාව රැකගැනීමටද සමත් විය. මේ දක්වා එක්දින ලෝක කුසලාන තරග 8 කදී පාකිස්තානයට එරෙහිව තරග වැදී ඇති ඉන්දියාව එම තරග 8 න්ම ජය ලබා ඇත.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 63 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 86 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් සිය කණ්ඩයමේ ජයග්‍රහණය තහවුරු කළේය.

රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි. එහිදී ජස්ප්‍රීට් බුම්රා ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත් අතර හර්දීක් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජදේජා සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන්හ.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක බාබර් අසාම් පන්දු 58 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර මොහොමඩ් රිස්වාන් පන්දු 69 කින් ලකුණු 49 ක් රැස්කළේද හතරේ පහර 7 ක් සමගිනි. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 82 ක සම්බන්දතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් බාබර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව අවසන් කඩුලු 6 ම ලකුණු 29 ක් තුළ බිඳවැටීමෙන් පාකිස්තාන ඉනිම කඩා වැටිණ. අර්ධ ශතකය පෙනි පෙනි සිටියදී රිස්වාන් දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි.

පාකිස්තානය - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 191
අබ්දුල්ලා ශෆීක් 20, ඉමාම් උල්හක් 36, බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 49, ජස්ප්‍රීට් බුම්රා 19/2, හර්දීක් පාණ්ඩ්‍යා 34/2, කුල්දීප් යාදව් 35/2, රවින්ද්‍ර ජදේජා 38/2, මොහොමඩ් සිරාජ් 50/2)

ඉන්දියාව - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 192
(රෝහිත් ශර්මා 86, ශුබ්මන් ගිල් 16, විරාට් කෝලි 16, ශ්‍රෙයාස් අයියර් නොදැවී 53, ලොකේෂ් රාහුල් නොදැවී 19, ශහීන් අෆ්රිඩි 36/2)

සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන  අද (28) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීන් පැවසීය.

චමරි අතපත්තු ICC මාසයේ හොඳම ක්‍රීඩිකාව ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ලෝරා වොල්වාඩ් සහ නෙඩීන් ඩි කල්ර්ක් පරදවා 33 හැවිරිදි චමරි අතපත්තු ICC සැප්තැම්බර් මස ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට පාත්‍ර වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනය කරයි.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුසලය විසින් මෙම සම්මානය ලබාදී ඇති බව සඳහන් වේ.

එහිදී චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

Page 8 of 35