ප්‍රසිද්ධියේ සුරුට්ටුවක් බීමට හැකි ලංකාවේ මේ වන විට සිටි ජාතික තලයේ එකම දේශපාලන නායකයා මංගලයි. සර් ජෝන් කොතලාවලගෙන්, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගෙන් පසු සුරුට්ටු දුම් බට උරන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කල එකම දේශපාලඥයා මංගලයි. මංගල ඇත්ත මිනිසෙක්ය.

ඒ මංගල නික්ම ගියේය. මේ දක්වා කොවිඩ් වසංගතය බිලිගත් ලාංකේය සමාජයේ වඩාත් බලපෑම්සහගතම මිනිසා මංගලයි. කොවිඩ් ඒ තරම් දරුණු වී ඇත. දේශපාලනයේ පුරෝකතනයන්ට සමත් මංගලටද කොවිඩ් මේ තරම් දරුණු වනු ඇතැයි සිතිය නොහැකි විය. ජූලි 25 ඔහුගේ අළුත් කණ්ඩායම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව දින උදෑසන මෙරට මාධ්‍ය ව්‍යාපාරයේ දැවැන්තයකු වූ රාජා මහේන්ද්‍රන් මිය ගියේය. ඒ සදහා ශෝකය පළ කරමින් මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කල මංගලට ඊට මාසයක් ඉකුත් වීමට මත්තෙන් සමු ගැනීමට සිදු විය.

පෙරළි තුළ මංගල

මංගල සමරවීර දේශපාලනික මිනිසෙකි. ඔහු නොසිතන දේශපාලන පෙරළියන්ගේ මෙහෙයුම්කරුවකු විය. 1993 දී චන්ද්‍රිකා ලංකාවට රැගෙන එමින් 1994 දේශපාලන පෙරළියට සැලකිය යුතු දායකත්වයක් දුන් අයගෙන් එක් අයෙකි මංගල. චන්ද්‍රිකාගේ ආන්ඩුව පාර්ලිමේන්තුවේ පැවැතියේ එක් වැඩි ඡන්දයකිනි. එක් වැඩි ඡන්දයකින් පැවැති ආණ්ඩුව 2000 වසර දක්වා පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන ඒමට චන්ද්‍රිකාට උපරිම සහය ලබා දුන්නේ මංගලයි. 2001 වසරේ විපක්ෂයට ගිය පසු නැවත ආණ්ඩු බලය ලබා ගැනීමට නොසිතන ගේමක් ගැසුවේ මංගලයි. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් බිහි කිරීමේ මෙහෙයුම පිටුපස සිටියේ මංගලයි. මංගලගේ සන්ධානය ජයග්‍රහණය කල අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමටද මංගල සුවිශාල දායකත්වයක් ලබා දුනි. ජනතා විමුක්ති පෙරමුණේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට මැදිහත්වීම සිදු කලේ මංගලයි. යුද ජයග්‍රහණයෙන් පසු වැලේ වැල් නැතුව සිටි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයට දේශපාලනික ශක්තියක් සපයන සරත් ෆොන්සේකා ආගමනයද මංගලගේ දේශපාලනික ගේම් එකකි. 2015 පෙරළියට මුල් පියවර තැනෙන්නේ මෙම මැදිහත්වීම නිසාය. යුද ජයග්‍රහණයේ ආහ්ලාදය සමග මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය විපක්ෂය හාන්සි කරවන්නක් වුනේ නම් 2015 පෙරළියක් ගැන සිතිය නොහැකි වනවා පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම පවත්වා ගැනීමත් අසීරු අඩියකට වැටීමට ඉඩ තිබුණි. 2015 පෙරළිය තුළ මංගලගේ භූමිකාව කාටත් නොරහසක්. මේ ආකාරයට 1994 සිට 2015 තෙක් ලංකාවේ සිදු වූ තීරණාත්මක දේශපාලන පෙරළියන්හි තීරණාත්මක චරිතය මංගල විය.

ඇමති මංගල

කැබිනට් ඇමතිවරයකු ලෙස මංගල සුවිශේෂි දක්ෂයෙකි. ඔහු මිනිසුන්ගෙන් වැඩ ගන්න සමතෙකි. නිලධාරීන්ට නිසි තැන හා ගෞරවය ලබා දෙමින් ඔවුන් නිසි ලෙස කළමනාකරණය කිරීමේ සැබෑ දක්ෂයෙකි මංගල.

ඔහු තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයා ලෙස හිදිමින් ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉදිරිගාමී පරිවර්තනයකට නායකත්වය ලබා දුන්නේය. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකට ටෙලිකොම් යොමු කරමින් නිලධාරිවාදය බිද දමමින් අභියෝග ජයගනිමින් වාණිජ ලෝකයකට ලංකාව යොමු කිරීමට ඔහු සමත් විය.

ඔහු අතිදක්ෂ විදේශ කටයුතු ඇමතිවරයෙකි. විදේශ කටයුතු ඇමතිවරයකු ලෙස සෑහෙන්න තරම් කීර්තියක් ඔහු ජාත්‍යන්තර ප්‍රජාව තුළ අත් කර ගත්තේය. ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පසු ලංකාව බිහි කළ දක්ෂතම මෙන්ම කීර්තිමත්ම විදේශ ඇමතිවරයා මංගල සමරවීරයි. විදේශ සේවයට දේශපාලන මැදිහත්වීම් සිදු නොකලේ මංගලගේ කාල පරිච්ඡේදයන්හිය. ලියුම්කරු සමග මංගලගේ වියෝව සම්බන්ධයෙන් කතා බස් කල විදේශ සේවයේ ඉහළ නිලධාරියකුගේ අදහස වූයේ යුද ජයග්‍රහණයෙන් පසු මංගල විදේශ ඇමතිධූරයේ සිටියේ නම් ලංකාවේ බොහෝ ගැටළුකාරී තත්වයන් ආපසු හැරවීමට ඔහු සමත් වන බවයි. ලංකාවේ වඩාත් බලපෑම් සහගතම රාජ්‍යයන් සමග ඔහු ගොඩනගාගත් මිත්‍රත්වය අතිවිශිෂ්ටය. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, මහා බ්‍රිතාන්‍යය, හා ඉන්දියාව ඔහු ලංකාව වෙත දිනා දීමට සමත් විය. ඒවායේ ප්‍රධාන රාජතාන්ත්‍රික මිතුරන් ඔහුට සිටියේය. ඔහුගේ තිස් වසරක දේශපාලන දිවි සැමරුමට පැමිණි සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කලේ ඇයගේ ග්‍රන්ථ රචනාවක් හේතුවෙන් නිවසින් හෝ එළියට නොබැස කටයුතු කරන ඇය සැතපුම් 8000ක් පමණ දුර ගෙවා ගෙන ලංකාවට පැමිණීමට එකම හේතුව මංගල බවයි. මුදල් ඇමතිවරයකු ලෙසද මංගල දක්ෂතා දැක්වීය. 1950 දශකයෙන් පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සහිත අයවැය ලේඛනයක් සැකසීමට හැකි වූයේ මංගල සමරවීර මුදල් ඇමතිවරයාටය.

අභියෝගයන්ට අභියෝග කල මංගල

1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූ දා පටන් මංගල අභියෝගාත්මකව දේශපාලනය කල චරිතයකි. වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වූ 1980 දශකයේ විපක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස මංගල දේශපාලනය කළේ විපක්ෂ ක්‍රියාකාරීන්ට සුව පහසු යුගයක නොවේ. එවකට සිදු වූ බලහත්කාරී තරුණ අතුරුදහන්කිරීම් වලට එරෙහිව මංගල සටන් කළේය. මනෝරානි සරවනමුත්තුගේ නායකත්වයෙන් පිහිටවූ මව් පෙරමුණ බිහි කලේ මංගලගේ නිවසේදීය. එයට දේශපාලන සහය සැපයූයේ මංගල හා හිටපු ජනපති මහින්දය. බලහත්කාරී අතුරුදහන්වීම් වලට එරෙහිව සිය ජීවිතය අවසාන වන තෙක් මංගල පෙනී සිටියේය.

සිංහල ජාතිවාදයට එරෙහිව මංගල දිගින් දිගටම පෙනී සිටි අතර සුදු නෙළුම් ව්‍යාපාරයට මංගල නායකත්වය ලබා දුන්නේ අවංකවය. ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් මංගල අනවරතව පෙනී සිටියේය. ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රසිද්ධියේ කීමට තරම් මංගල නිර්භීත විය.

සිය ලිංගික නැමියාවන් පිළිබඳවද විවෘත භාවයකින් කටයුතු කිරීමට මංගලට හැකි විය. ඔහුගේ දේශපාලනික ජීවිතය ද දේදුන්නක් මෙන් වර්ණ ගැන් වී තිබුණි. ඔහු විශ්වාස කලේ ලෞකික රාජ්‍යයි. සිය ලිංගික නැමියාවන්ට, ලෞකික ජීවිතයට දසතින් මඩ ප්‍රහාර එල්ල වෙද්දී මාතර දිස්ත්‍රික්කයෙන් මංගල සැමදා ජයග්‍රහණය කලේය. ඔහුගේ ලිංගික නැමියාවන් බොරුකාර කොළඹ අළුත් මැද පන්තියට ප්‍රශ්නයක් වුවද මාතර ඇත්ත පීඩිත ජනයාට ප්‍රශ්නයක් නොවුණි. කොළඹින් එකට යැවූ සරත් වීරසේකරලාට විමල්ලාට වඩා මාතර මංගල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙකි. දියුණු නාගරිකයෙකි.

සිංහල බෞද්ධ ආධිපත්‍ය්‍යට යට නොවුනු මංගල

මංගල කිසිදු දිනක සිය දේශපාලන අවස්ථාවාදය උදෙසා ජාතිවාදය තුට්ටු දෙකට වෙන්දේසි නොකලේය. ලංකාවේ අධිපති සිංහල බෞද්ධ සංස්කෘතිය දියුණු විශ්ව මනසක් සහිතව පාලනය කරන්නට උත්සහ දැරූ සියළු නායකයන්ට පහර පිට පහර දුන්නේය. ඒ ප්‍රහාරයෙන් මිදීමට මංගලට නොහැකි වුවත් මංගල ඒ ප්‍රහාරයන්ට බියේ පළා ගියේ නැත. ඒවාට මුහුණ දුන්නේය. ලංකාවේ ආර්ථික වර්ධනයට සේවයක් සිදු කල ලංකාව පිළිබද පැහැදිලි දැක්මකින් කටයුතු කල සර් ජෝන් කොතලාවල අගමැතිවයාට පන්න පන්න ගැසුවේ සිංහල බෞද්ධ අධිපතිවාදයයි. සිංහල බෞද්ධ අධිපතිවාදයෙන් බලයට පත් වුවද පසු කාලීනව ලංකාවේ ජාතක ප්‍රශ්නය හදුනා ගනිමින් දෙමළ ජනයාට සාධාරණ විසදුමක් යෝජනා කරමින් ජාතිය ගොඩනැගීමට උත්සහ කල එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිවරයාට පන්න පන්න ගැසුවේ සිංහල බෞද්ධ අධිපතිවාදයයි. බලය බෙදීම විශ්වාස කල චන්ද්‍රිකාටද රනිල්ටද සිංහල බෞද්ධ අධිපතිවාදය පහර දුන්නේය. සිංහල බෞද්ධ අධිපතිවාදයේ ප්‍රහාරයන්ට මංගල සමරවීරද ලක් විය. එම ප්‍රහාරයන් ඉදිරියේ නොසැලී සිටීමට මංගලට හැකි විය. එපමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල බෞද්ධ අධිපතිවාදය පිනුම් ගසමින් ඉදිරියට එද්දී මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව කීවේ මංගලයි. ජනවාර්ගික වෛරය අවුළුවන භික්ෂූන් දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට මංගල පසුබට නොවුනි. ඔහුගේ ට්‍රිපල් ජෙම් වෙනුවට ඩබල් ජෙම් කතාව ඉතාම නිර්මාණශීලී ලෙස අධිපති බෞද්ධ භික්ෂුව උපහාසයට ලක් කරන්නක් විය.

ලිබරල් ආර්ථිකය හා සංස්කෘතිය විශ්වාස කල මංගල

මංගල ලිබරල් ආර්ථිකය විශ්වාස කළේය. ඒ වෙනුවෙන් වැඩ කළේය. විදේශ ආයෝජනයන්ට බිය නොවීය. සියළු අභියෝග පරදා අවශ්‍ය ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මංගල පසු බට නොවුනි. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඔහු විසින් සිදු කරන ලද අසමසම ප්‍රතිසංස්කරණ එයට නිදසුනකි. දුරකතනයක් ගැනීමට දේශපාලඥයකුගෙන් ලියුමක් රැගෙන යා යුතු යුගය වෙනස් කරමින් දුරකතනය පොදු ජනයාගේ මෙවලමක් බවට පත් කලේ මංගලයි. අද දුරකතන භාවිතයෙන් ආසියාවේ ඉහළින්ම සිටින්නේ ලංකාවයි. ලිබරල් සංස්කෘතිය විශ්වාස කරමින් ඒ වෙනුවෙන් වැඩ කළේය. මංගල අසමසම ලිබරල්වාදියකු යැයි කිව නොහැකි වුවත් මංගල ලිබරල් ශ්‍රී ලංකාවක් විශ්වාස කල අයෙකි. රනිල් වික්‍රමසිංහ පැවසූ පරිදිම ඔහු ශ්‍රී ලංකාව පිළිබද ස්ථාවර අදහසක් දැරූ අයෙකි. ඒ වෙනුවෙන් වැඩ කළ අයෙකි.

දේශපාලන කදවුරු, ජාත්‍යන්තරය එක් කල හැකි විශ්වසනීය මංගල

මංගල ඕනෑම දේශපාලන කදවුරක් සමග විවෘතව සාකච්ඡාවක් ආරම්භ කල හැකි මට්ටමේ මානව සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන තිබුණි. මංගල අල්ලන අඩව් වලට දේශපාලනයට සංවේදී ප්‍රතිවිරුද්ධ කදවුර බිය වන්නේ ඒ නිසාය. ඔහුට නොසිතන මිනිසුන් එකතු කල හැක. නොසිතන දේශපාලන කදවුරු එක් කල හැක. සියල්ලට කලින් ඉදිරියට පැන දේශපාලන පෙරළින් අවශ්‍ය පරිදි කැරකැවීමේ හැකියාවක් ඔහුට තිබුණි. මංගල සුළු ජාතින්ගේ කලණ මිතුරෙකි. සුළු ජාතික පක්ෂ වලද මංගල ගැන පැහැදීමක් ගෞරවයක් තිබුණි. සුළු ජාතික පක්ෂ ජාතික දේශපාලන පෙරළීන්ට එකතු කිරීමේ හැකියාවක් මංගලට තිබුණි. එමෙන්ම බලපෑම් සහගත ජාත්‍යන්තර ප්‍රජාව සමග මංගලට තිබුණු සම්බන්ධය අතිවිශිෂ්ට මෙන්ම සිය දේශපාලන අභිලාෂ යථාර්තයක් කර ගැනීමට ප්‍රයෝජනවත් වූ එකකි. මෙම ජාත්‍යන්තර ප්‍රජාව මංගලව විශ්වාස කළේය. ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූ ලංකාවේ දේශපාලඥයන් අතළොස්සෙන් කෙනෙකි මංගල. මේ වන විටත් හරිහමන් නායකයකු ගොඩ නැගී නැති විපක්ෂයේ දැනට ඉදිරියෙන් සිටින කිසිම නායකයකුට මංගල සතු මේ සියළු හැකියාවන් නොමැත. ඔවුන්ට ඇත්ත වශයෙන් ඇත්තේ සිංහල සුළුතරයකගේ සහය පමණකි.

ඒ මංගල දැන් නික්ම ගොසින්ය. ඔහු නොමැතිව වුවද හෙටත් ඉර පායනු ඇත. මංගලගේ දේශපාලන හිඩැස ඒ ආකාරයෙන් පිරවීමට සමත් දේශපාලඥයකු නොමැත. නමුත් මංගලගේ අරමුණු යථාර්තයක් බවට පත් කිරීමට වෙහෙසිය හැකි ඒ වෙනුවෙන් කැප විය හැකි මිනිසුන් සිටින බව නම් කිව හැක. නමුත් එයට ඇත්තේ කෙටි මාවතක් නොව දිගු මාවතකි. මංගල විශ්වාස කල ලිබරල් දේශය ගොඩ නැගීමේ මාවත අභියෝගාත්මක එකක් බවට මෙන්ම දිගු එකක් බවට පත් වී ඇත. මංගලගේ මරණය මංගල දෙසත් මංගලගේ දියුණු ප්‍රතිපත්ති දෙසත් නැවත හැරී බැලීමකට රට වැසියා යොමු කර ඇත. මංගලගේ අවසානය ආරම්භයක් කර ගැනීමට පමා විය යුතු නැත. මේ වන විට ගොඩ නැගී ඇති විපාක්ෂික දේශපාලනයේ හිස් තැන මංගල විශ්වාස කල සාමය සංහිදියාව සහිත ලෞකික ලිබරල් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අවංක වුවමනාවක් සහිත කණ්ඩායමකට භාවිතා කිරීමට හැකි වනු ඇත. මංගලගේ අවමංගල්‍යය මංගල අපේක්ෂා කල දේශපාලනික මංගල්‍යය උදා කර ගැනීමට අවශ්‍ය කරුණු පෙළ ගැසෙමින් ඇත. අවශ්‍ය වන්නේ දිගු දුර දකින ක්‍රියාකාරීත්වයක්.

දුලාන් දසනායක