V2025

විදෙස්

හමාස් නායකයාගේ මරණය ලෙහෙසියෙන් අත්හරින්නේ නෑ - හිස්බුල්ලා නායක

හමාස් සංවිධානයේ ප්‍රබල නියෝජ්‍ය නායකයා ඝාතනය කිරීම "ලෙහෙසියෙන් අත් නොහරින බව" හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා පවසයි.

අඟහරුවාදා බේරූට්හි දී එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් සාලෙහ් අල්-අරූරි ජීවිතක්ෂයට පත් විය. ඒ සඳහා එය වගකිව යුතු බවට ඊශ්‍රායලය තහවුරු කර නැත.

නසරල්ලා අරූරිගේ මරණය විස්තර කළේ, "අපට නිහඬව සිටිය නොහැකි විශාල, භයානක අපරාධයක්" ලෙසිනි.

ඊශ්‍රායලය ලෙබනනයට එරෙහිව යුද්ධයක් දියත් කළහොත් හිස්බුල්ලා දක්වන ප්‍රතිචාරයට “කිසිදු සීමාවක් නැති වේවි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

අරූරි හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන ඉසදීන් අල්-කසම් බලකායේ ප්‍රධාන චරිතයක් වූ අතර හමාස් නායක ඉස්මයිල් හනියේගේ සමීප සගයෙකු විය. ඔහු ඔහුගේ කණ්ඩායම සහ හිස්බුල්ලා සංවිධානය සම්බන්ධීකරණය කරමින් ලෙබනනයේ සිටියේ ය.

ඔහු ඊශ්‍රායලයේ ඉලක්කගත පුද්ගල ලැයිස්තුවේ සිටි බව දන්නා කරුණක් වූ අතර, එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් නායකයින් කොතැනක සිටියත් ඔවුන් තුරන් කරන බවට මීට පෙර ප්‍රතිඥා දී තිබිණි.

හිස වෙනුවෙන් 2018 වසරේ සිට ඩොලර් මිලියන පහක ත්‍යාග මුදලක් නියම වී සිටි අරූරි එක්සත් ජනපද අසාදු ලේඛනයක ද ඇතුළත් විය.

ඊශ්‍රායල ආරක්ෂක බළකායේ (IDF) විශ්‍රාමික කර්නල්වරියක වන මිරී ඒසින් බීබීසීයට පැවසුවේ, හමාස්හි නියෝජ්‍ය නායකයා "ජීවත් වුණේ දහියා ප්‍රදේශය මධ්‍යයේ, බේරූට්හි හිස්බුල්ලා සංවිධානයේ හදවත බඳු වූ ප්‍රදේශයේ," එහේ ඉඳන් තමයි ඔහු "හමාස් සංවිධානය සහ හිස්බුල්ලා සංවිධානය අතර ඍජු සම්බන්ධතා පැවැත්වූවේ."

ඊශ්‍රායලය සමග පූර්ණ ගැටුමක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් තමන් ලෙබනන් ජනතාව ගැන කණගාටු වන අතර, “ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්” සමග කටයුතු කිරීම වැදගත් බව ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.

අරූරිගේ මරණයෙන් පසු ගාසා තීරයේ ගැටුම අනෙක් කලාපවලට ද පැතිරීමට ඇති අවදානම ගැන අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජනපදය පැවසීය. පළිගැනීම් නොකරන ලෙස ලෙබනන් රජය හිස්බුල්ලා සංවිධානයෙන් ආයාචනා කළ බව කී එරට විදේශ අමාත්‍යවරයා ද ඒ ආකාරයෙන් ම බිය පළ කළේ ය.

“අපි අතිශයින් කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. ලෙබනන් ජාතිකයන් වගේ ම, හිස්බුල්ලා සංවිධානයට පවා කලාපීය යුද්ධයකට යාමට අවශ්‍ය නැහැ,” අබ්දුල්ලා බූ හබීබ් බීබීසීයට පැවසීය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් බදාදා (ජන 4) කියා සිටියේ, අරූරී මරා දැමූ බේරූට්හි ප්‍රහාරය ගැන වොෂින්ටනය වෙත පූර්ව දැනුම් දීමක් නොකළ බව ය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව පවසන්නේ, ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමට ඇති හැකියාව ගැන එය ද දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රකාශකයෙකු සියලු පාර්ශ්වයන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ, පුළුල් ගැටුමක් ඊශ්‍රායලය සහ ලෙබනනය යන පාර්ශව ද්විත්වයට ම විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බව පවසමිනි.

ඉරානය අරූරිගේ ඝාතනය හෙළා දැක ඇති අතර, එරට විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලයේ "බියගුලු ත්‍රස්තවාදී මෙහෙයුම්" සම්බන්ධයෙන් විවේචනය කරමින් X, (මීට පෙර ට්විටර්හි) සටහනක් තබා ඇත.

අරූරිගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අත්හිටුවන බව හමාස් සංවිධානය ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන්ට පවසා ඇතැ යි වාර්තා වේ.

ඊජිප්තු අගනුවර වෙත ඊශ්‍රායල දූත පිරිසක් සිදු කිරීමට තිබුණු සංචාරයක් කල් දමා ඇතැ යි ද අරාබි මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, ගාසා තීරයේ සටන් තවදුරටත් ක්‍රියාත්මක ය. ඉවත් වන ලෙස ඊශ්‍රායලය ජනතාවට දැනුම් දී තිබියදීත් අඟහරුවාදා දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් වන ඛාන් යූනිස්හි පලස්තීන රතු අඩසඳ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පස් දෙනෙකු මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ (OCHA) ප්‍රකාශිකාවකට අනුව, මියගිය අය අතර දින පහක් වයසැති බිළිඳෙකු ද සිටින බව සඳහන් වේ.

"මේ කුඩා දරුවන් ජීවත් වූ තැනක්. ළමයි ජීවත් වුණු තැනක් මේක," ජෙමා කොනල් පැවසීය.

"බිම ලේ වගිරිලා තියෙන හැටි ඔබට බලා ගන්න පුළුවන්. ලෝකය සම්පූර්ණයෙන් ම භීතියට පත් වෙන්න ඕන. ලෝකය සම්පූර්ණයෙන් ම අප්‍රසාදය පළ කරන්න ඕන."

අයිඩීඑෆ් විසින් "සටන් කලාපයක්" ලෙස නම් කරන ලද නිශ්චිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවමින් ඛාන් යූනිස් වෙත ගුවනින් අත් පත්‍රිකා හෙළා ඇත.

පණිවිඩයේ සඳහන් වූයේ, ඒ අවට වූ ප්‍රදේශ කිහිපයක ම ඇති ගොඩනැගිලිවලි ඉවත් වීම සඳහා කරනු ලබන “හදිසි අනතුරු ඇඟවීමක්” ලෙස ය.

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට එම ප්‍රදේශය තුළ පුද්ගලයන් 22,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ය.

ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1200 දෙනෙකු පමණ මියගිය අතර තවත් 240 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබිණි.

නොවැම්බර් අවසානයේ එළඹි දින හයක සටන් විරාමයක් අතරතුර ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු පමණ අවසානයේ නිදහස් කෙරිණි.

බීබීසී සිංහල

ගාසා තීරය විවෘත වෙයි :ශ්‍රී ලාංකිකයින් 17ක් ද රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට

සති තුනකට වැඩි කාලයක් ගාසා තීරයේ සිරවී සිටි සිවිල් වැසියන්ට ඊජිප්තුවට පැමිණීමට හැකියාව ලැබුණි.

ඒ, ජනතාවට පිටවීම සඳහා පළමු වතාවට රෆා හරස් මාර්ගය විවෘත වීමත් සමඟිනි.

ඒ සමග 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකුට මේ වනවිට පිටව යාමට හැකි වී ඇති බව පලස්තීන බලධාරීන් පවසයි.

ගාසා භූමියෙන් පිටව ගිය අය අතර බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද සිටින බව සදහන් වේ.

මේ අතර, ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළු වීමට අවසර ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ හරස් මාර්ගය විවෘත කිරීම “දැඩි සහ හදිසි රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ” ප්‍රතිඵලයක් බවයි.

මේ වනවිට ගාසා හි දුරකථන සහ අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන්ම කපා හැර ඇත.

ඔක්තෝබර් 7 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් පුද්ගලයන් 1,400 ක් ඝාතනය කළ හමාස් ප්‍රහාරයෙන් අනතුරුව, ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම ආරම්භ කළේය.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජපාන ගුවන් අනතුරෙන් ගුවන් යානයක් ගිනිබත් වෙයි

ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ගුවන් යානයේ ගැටුණු වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 05ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ වෙරළාරක්ෂක ගුවන් යානයේ නියමුවා ඉන් දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එම යානයේ ගැටුණු හොකයිඩෝ සිට පැමිණි JAL 516 මගී ප්‍රවාහන යානයේ සිටි මගීන් 379කගේ දිවි බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත.

ඊජිප්තුවේ දරුණු රිය අනතුරක් !

ඊජිප්තුවේ වාහන කිහිපයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මගී බස් රථයක් සහ අනෙකුත් වාහන සම්බන්ධ වන කයිරෝ සහ ඇලෙක්සැන්ඩ්‍රියාව සම්බන්ධ කරන බෙහෙයිරා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක අද උදෑසන මෙම අනතුර සිදුව ඇත.

එක් මෝටර් රථයකින් තෙල් කාන්දු වීම නිසා වාහන කිහිපයක් ගිනිගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් රජයේ අල්-අහ්රම් පුවත්පත වාර්තා කරයි.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් පිළිස්සී මිය ගිය බව එහි සඳහන් වේ. තුවාලකරුවන් රෝහලට මාරු කිරීම සඳහා ගිලන්රථ 20ක් පමණ එම ස්ථානයට පැමිණ තිබේ.

ඊජිප්තුවේ රථවාහන අනතුරු බහුලව දක්නට ලැබේ. මාර්ග බොහෝ විට දුර්වල තත්ත්වයේ පවතින අතර අධිවේගී මාර්ග කේත අනුගමනය නොකිරීම ඒවාට ප්‍රධාන හේතුවකි.

ඉන්දුනීසියාවේ පිපිරීමක්

ඉන්දුනීසියාවේ සුලවසි ප්‍රදේශයේ නිකල් කර්මාන්ත ශාලාවක අලුත්වැඩියා කටයුත්තක් අතරතුරේ හටගත් පිපිරීමකින් සේවකයෝ 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබු බව ද වාර්තා වෙයි.

සමාගමට අයත් මෙම නිකල් කර්මාන්තශාලාවේ සිදුවූ මෙම පිපිරීමෙන් මියගිය පිරිස අතර ඉන්දුනීසියානු ජාතකයන් 08 දෙනකු සහ චීන ජාතිකයින් 05 දෙනකු සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීමත් සමඟ හටගත් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසා ඇත.

බංගලාදේශයේ දරුණු දුම්රිය අනතුරක්

බංග්ලාදේශයේ දුම්රිය අනතුරක් හේතුවෙන් මගීන් 17 දෙනෙකුට ජිවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් හා මගී ප්‍රවාහන දුම්රිය එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී තිබෙයි

අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බලධාරීන් සදහන් කරනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඉදිරියෙන් ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන දුම්රියේ පිටුපස මැදිරියේ ගැටී ඇති බවයි දුම්රිය බලධාරීන් සදහන් කරයි

දුම්රිය මාර්ග සංඥාවල දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජීවිත බේරන්න අලුත් වැඩක් !

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT Mobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් එස්. රණසිංහ හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මධුශංක දිසානායක විසින් අත්සන් තබන ලද අතර පාර්ශ්වකරුවන් ලෙස ඩයලොග් ආසියාටා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක ආර්. අබේසිංහ, භාරති එයාර්ටෙල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා, මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සුමිත්‍ර ගුප්තා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කාලගුණික හා දේශගුණික විපර්යාස මෙන්ම නොයෙකුත් හේතූන් මත සිදුවන ආපදා සඳහා නිසි පෙර සූදානමකින් යුතුව කටයුතු සිදු කිරීම තුළ ආපදා මඟින් සිදුවන ජීවිත සහ දේපල අනතුරු අවම කර ගත හැකි වේ. ඒ අනුව නව තාක්ෂණය යොදා ගනිමින් දුරකථන සන්නිවේදන ජාල හරහා පූර්ව අනතුරු ඇගවීම සිදු කිරීම වඩාත් ඵලදායී කාර්යක් ලෙස හදුන්වා දිය හැක.

ඒ අනුව විශේෂයෙන් සුනාමි ආපදාවන්ට අදාලව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය එළිදක්වා තිබෙන අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් තුල සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ මෙන්ම සුනාමි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට සම්බන්ධවන හඳුනාගත් පුද්ගලයින්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැට දහසකට (60,000) ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ “Ring Tone” නිවේදනයක් යොමු කිරීමට හැකි වන පරිදි මෙය සැලසුම් කර ඇත.

විශේෂයෙන් රාත්‍රී කාලයේදී මහජනතාව වෙත සයිරන් ශබ්දයක් සමඟ තම දුරකථන නාද වීම තුළ වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණයක් මෙමඟින් ස්ථාපිත කර ගත හැකි වනු ඇත.

මෙම ක්‍රමවේදය 2023 දෙසැම්බර් 26 වන දිනට යෙදෙන "ජාතික සුරක්ෂිත දිනයට" සමගාමීව ජනගත කිරීමට නියමිත ය.
එමෙන්ම මෙම ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත කරමින් නාය යාම් සහ ගං වතුර ආපදා තත්වයන් වලදී මහජනතාව වෙත මෙම පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය ව්‍යාප්ත කිරීම මගින් බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ලෙසද ඉදිරියේදී මෙය දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් වන බ්‍රිගේඩියර් ටී.සී. හරස්ගම, ප්‍රදීප් කොඩිප්පිලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



.

ජෝ බයිඩන් ඊශ්‍රායලයට !

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරය ආශ්‍රිතව දරුණු යුද ගැටුම් පවතින පසුබිමේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම වාර්තා අනුව ඇමරිකානු ජනාධිපති බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිගත්තේ ඔහු උණුසුම් ලෙස වැලඳ ගනිමින් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඊශ්‍රායලය බලා පැමිණියේ හමාස් සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

චීනයේ දරුණු භූ කම්පනයක්.......

වයඹදිග චීනයේ හටගත් භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ චීනයේ ගන්සු ප්‍රාන්තයේ මෙම මැග්නිටියුඩ් ඒකක 5.9ක භූ කම්පනයක් ඇති විය.

ඉන් ගොඩනැගිලි සහ නිවාසවලට දැඩි හානි සිදු වූ අතර සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පළමු භූ කම්පනය සිදු වී පැය කිහිපයකට පසු අද (දෙසැ. 19) දිනයේ ද අසල්වැසි ෂින්ජියැන්ග් ප්‍රදේශයේ තවත් භූ කම්පනයක් සිදුව ඇත.

මැග්නිටියුඩ් 5.5ක ප්‍රබලත්වයෙන් යුතු වූ එම භූ කම්පනයෙන් සිදුවූ හානිය එකවර පැවසිය නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරයෙන් පුද්ගලයින් ලක්‍ෂ 05ක් පිට වෙලා

උතුරු ගාසා තීරයෙන් පුද්ගලයින් 500,000 ක් පිටව ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ජාත්‍යන්තර ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් සඳහන් කරයි.

එමෙන්ම දකුණට යාමට උත්සාහ කරන අයට හමාස් සංවිධානය විසින් අපහසුතා ඇති කරන බවට ඔහු චෝදනා කර ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ආරක්ෂිත ඉවත් කිරීමේ මාර්ග දෙකක් පවත්වාගෙන යන අතර, මිලිටරි මෙහෙයුම ඉදිරියට යාමේදී ,සිවිල් වැසියන් ගාසා නගරයේ රැඳී සිටීම අනාරක්ෂිත වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායල හමුදාව විසින් ආරක්ෂිත යැයි හඳුනාගත් මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයන් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරය ගැන ලුතිනන් කර්නල් කොන්රික්ස් සඳහන් කර තිබෙන්නේ ඔවුන් සක්‍රීයව සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවයි.

කේරළයෙන් නව කොවිඩ් ප්‍රභේදයක්.....

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

JN.1 ලෙස නම් කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය පසුගිය සෙනසුරාදා පළමුවරට ප්‍රකාශයට පත් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

නව ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ මීට පෙර කොවිඩ් ආසාදනයට ලක් වූ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත තිරුවෙන්දපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකගෙන් බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට එම ප්‍රාන්තයේ JN.1 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1,324 දෙනකු හඳුනාගෙන ඇතැයිද, පසුගිය දින දෙක ඇතුළත කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වී ඇතැයිද ප්‍රාන්ත මාධ්‍ය සඳහන් කර ඇත.

මේ මරණ වාර්තා වීමත් සමඟ කේරළ ප්‍රාන්තයේ පනූර් සහ කන්නූර් දිස්ත්‍රික්ක තුළ කොවිඩ් නීතිරෙගුලාසි පනවා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

නව කොවිඩ් ප්‍රභේදය මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවෙන් සහ චීනයෙන් හඳුනාගත් ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබේ.

ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබුණි.

මීට පෙර ඇති වූ භූකම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන් ය.

ඉන්දීය ප්‍රාන්ත 3 ක බලය මෝදිට !

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත 4ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර එයින් ප්‍රාන්ත 3ක බලය තවදුරටත් තහවුරු කරගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

ඒ අනුව මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චතිස්ගාර් යන ප්‍රාන්ත මෙලෙස ජයග්‍රහණය කිරීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇත.

මේ අතුරින් මධ්‍ය ප්‍රදේශ් සහ චතිස්ගාර් ප්‍රාන්ත ප්‍රසිද්ධව තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂයේ බලකොටු වශයෙන් ය.

එසේම තෙලංගනා ප්‍රාන්තයේ බලයේ සිටියේ භාරත් රාෂ්ට්‍ර සමිති නමැති ප්‍රදේශීය පක්ෂයට එහි බලය අහිමිව ඇති අතර එම ප්‍රාන්තයේ මෙවර ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හිමිව ඇත.

තෙලංගනා ප්‍රාන්තයේ ආසන 119 ක් ඇති අතර එයින් ආසන 63 ක් කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

මැතිවරණය පැවති ප්‍රාන්ත අතරින් මිසෝරම් හි ඡන්ද ප්‍රතිඵලය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

ගාසා තීරයේ ගැටුම්වලින් ළමුන් රැසක් ජීවිතක්ෂයට.....

ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 7,500 ඉක්මවා ඇත.

ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන සිටි පුද්ගලයන් පිරිසකගේ මළ සිරුරු කොටස් හමුවූ බවයි.

හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක්...

ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ තිබේ.

ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි. 

සෙන්ටිමීටර 40 ක පමණ උස රළ පහරක් එලෙස ගොඩබිමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග එම දූපතේ වෙරළාසන්නව සිටි වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ජපන් බලධාරින් කටයුතු කර තිබේ.

ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුහුදේ යාත්‍රා කරමින් සිටි පිරිස්වලට ද නැවත දැනුම් දෙනතුරු ගැඹුරු මුහුදු කලාපයේම රැදී සිටින්නැයි දන්වා ඇතැයි සඳහන් ය.

පිලිපීනයේ ඇතැම් ජන ශූන්‍ය ප්‍රදේශවලට ද සුනාමි රළ පහර සුළු වශයෙන් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ වන විට භූ කම්පනයෙන් පැවති සුනාමි අවදානම පහව ගොස් ඇතැයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.

ඇෆ්ගන් භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කර තිබේ.

ඉන් වැඩිම හානිය සිදුව ඇති හෙරාත් නගරය තුළ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි.

ඉන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර දශක දෙකකට පසුව ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බව ද වාර්තා වේ.

සුන්බුන් අතර විශාල පිරිසක් මේ වනවිටත් සිරවී සිටින බව ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

කලාපය තුළ මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් රට තුළ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ වී ඇති අතර මහාමාර්ග ද අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය හෙරාත් නගරයට කිලෝමීටර 40ක් පමණ වයඹ දෙසින් පැවති බවය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශය ආශ්‍රිතව තවත් පසු කම්පන දෙකක් ඇති වූ බවය.

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ

වයඹ දිග නේපාලයේ දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයන් 128 දෙනෙකු පමණ භූ කම්පන තත්ත්වයත් සමඟ සිදු වූ අනතුරුවලින් ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

වයඹ දිග නේපාලයේ දිස්ත්‍රික් කිහිපයකට ඊයේ (03) රාත්‍රියේ රිච්ටර් මාපංක ඒකක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පන තත්ත්වය වාර්තා වී තිබිණි.

ඉන්දියාවටත් හදිසි ජලගැලීමක්

ඉන්දියාවේ ඊසාන දිග සිකීම් ප්‍රාන්තය වෙත හදිසි ජල ගැලීමක් සිදුව ඇත. සිදුවූ ජලගැලීමෙන් 25,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වන අතර සිදුවූ මරණ ගණන මේ වනවිට 53 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම තවත් 140 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 6000 කට අධික පිරිසක් අවතැන්ව ඇති බවත්  විපතට පත්වූ තවත් 10,000කට අධික පිරිසක් මුදා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සිකීම් ප්‍රාන්ත රජය පවසන්නේ එම ජල ගැලීම්වලින් නිවාස 1,173කට දරුණු ලෙස හානි සිදුවී ඇති බවය.

සිකීම් ප්‍රාන්තයට හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇති වූයේ ජලාශයක වාන් දොරටු විවර කිරීමත් සමග ටීස්ටා නදියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙනි.

Page 2 of 10