Image

මේ ආණ්ඩුව, රැඩිකල් වාමාංශිකත්වයේ කන්‍යාභාවය සිඳ ගත් ආණ්ඩුවක්

මේ ආණ්ඩුව, රැඩිකල් වාමාංශිකත්වයේ කන්‍යාභාවය සිඳ ගත් ආණ්ඩුවක්

මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අප ගත යුතු නිවැරදි තක්සේරුව කුමක්ද කියා දැන් අනාවරණය වෙමින් තිබේ. මෙහි දී අප මග හැරිය යුතු අන්ත දෙක කුමක්ද කියා අපට පැහැදිලි වෙමින් තිබේ. එකක් වන්නේ රැඩිකල් වාමාංශික අන්තය යි. අනෙක වන්නේ පැරණි දේශපාලන පන්තිය නියෝජනය කරන අන්තය යි.

ආණ්ඩුවට එරෙහි රම්පෙ කරපිංචා

පළමු වැන්න තරමක් නොවැදගත් වුවත් මා වැනි අයට වඩා සමීප වන්නේ මේ අන්තයයි. එයට අනුව මේ ආණ්ඩුව රැඩිකල් වාමාංශිකත්වයේ කන්‍යාභාවය සිඳ ගත් ආණ්ඩුවකි. එම නිසා මෙයට සහය දීමට අපට නොහැකි වේ. මෙයට ද පුළුල් පරාසයක පිරිසක් ඇතුළත් වෙයි. එක් අන්තයක් වන්නේ හදවතින් අවංක නමුත් දේශපාලනිකව සිතීමේ පරිචය නොමැති අය යි. ඒ අය සිය හැඟීම්, වේදනා ඔවුන් ගේ පරමාදර්ශ සමග මුසු කර අප වැනි අයට දමා ගසයි. නමුත් පුළුල් අර්ථයෙන් මේ අය කරන දේශපාලනයක් කියා දෙයක් නොමැති ය. මෙහි අනෙක් අන්තය වන්නේ රැඩිකල් වාමාංශික අනන්‍යතා ආරූඨ කරගැනීමෙන් බුද්ධිමතුන් ලෙස සමාජ පිළිගැනීමක් ලබා ගැනීමට උත්සාහ කරන අයයි. මේ අයට සමාජ පරිවර්තන වැනි දේ වෙනුවෙන් ජීවිත කැප කිරීම වැනි උදාර අරමුණු නැත. තිබෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍රය. මේ අය අප සත පහකට ගණන් නොගත යුත්තේ මේ නිසාය. මේ අන්ත දෙකේ විවිධ මාත්‍රාවන් නියෝජනය කරන 'මැද පන්තියක්' මෙහි වෙයි. පොදුවේ ගත්විට මේ දහරාවේ ඉරණම වන්නේ මේ ආණ්ඩුවට එරෙහි සම්ප්‍රදායික දේශපාලන පන්තියේ දේශපාලනයේ රම්පේ කරපිංචා වීමයි.

වත්මන් ආණ්ඩුව හමුවෙහි පවතින සැබෑ අභියෝගය

එනිසා මෙහි දී අපට වඩා වැදගත් වන්නේ අප මගහැරිය යුතු දෙවැනි පුළුල් අන්තයයි. පැරණි දේශපාලන පන්තිය ලෙස ගත හැකි මේ අය ද ඉහත බෙදීමට වඩා සමාජ විද්‍යාත්මක වනවා කියා කිව හැකි මූලික බෙදීම් දෙකකට යටත් කළ හැකි ය. එක් අන්තයක සිටින්නේ ආන්තික ජාතිකවාදය යි. අනෙක් අන්තයේ සිටින්නේ ලිබරල් දක්ෂිණාංශය යි. අද අප මුහුණ දෙන තියුණු දේශපාලන නවීනත්වයක් වන්නේ මේ බෙදීම නඩත්තු කිරීම අපහසු වීම යි. අද එක්තරා ආකාරයකට මේ පරාස දෙකට එක්වීමට දේශපාලන යථාර්ථය බල කරයි. නමුත් මෙය කිසිසේත් පහසු දෙයක් නොවේ. නමුත් මෙයට එක් ප්‍රායෝගික වාසියක් වන්නේ මෙහිදී 'අතරමැදි ආස්ථාන' නියෝජනය කරනා විශාල පරාසයක් තිබීමයි. මෙම පන්තියේ දේශපාලනය මුළුමනින් කපටි වැඩක් වන නිසා මෙහි දී කෙනෙකුට මෙවැනි අතරමැදි ආස්ථාන නියෝජනය කිරීමේ විශාල හැකියාවක් තිබේ.

ප්‍රායෝගිකව ගත්විට වත්මන් ආණ්ඩුවට සැබෑ අභියෝගයක් වන්නේ මේ දෙවැනි පුළුල් අන්තය වන සම්ප්‍රදායික දේශපාලන පන්තියයි. "සලේ සිදුවීම" මගින් මේ දේශපාලන පන්තිය සලිත වී තිබෙන්නේ මේ නිසාය. දැන් එහි කරළියට පැමිණ තිබෙන්නේ එහි ආන්තික ජාතිකවාදී අන්තය වුවත් මේ සම්බන්ධයෙන් එහි අනෙක් අන්තය ද බරපතළ ලෙස සංවේදී වනවා කියා තේරුම් ගැනීම අපහසු නැත. එනිසාම මේ තිබෙන්නේ මේ ආණ්ඩුව විසින් නියෝජනය කරන රැඩිකල් කණ්ඩනය කුමක්ද කියා තේරුම් ගැනීමට අපට ලබා දෙන ඉස්තරම් අවස්ථාවකි. "පාස්කු නඩුව" යනු මෙහි කැඩපතයි. එහි වඩ වඩා දෘශ්‍යමාන වන්නේ අපේ රටේ ඇදහිය නොහැකි ආකාරයේ පුද්ගලයින් දේශපාලනිකව චෙක් මේට් වීමේ විය හැකි බවයි. මේ ආණ්ඩුව නියෝජනය කරන රැඩිකල් නවීනත්වය වන්නේ මෙයයි.

ලොකු මාළු හසුකරගත හැකි ආණ්ඩුවේ දැල

gotabaya rajapaksa

2015 දේශපාලන පෙරළියෙන් පසු නිර්මාල් රංජිත් දේවසිරි කීප වරක් සඳහන් කළ නිදර්ශනයක් තිබේ. ඔහු කියා සිටියේ වරක් ඔහුට එම පෙරළියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ සිටින රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ඉඩ ලැබුණු බවත් එහි දී ගෝඨාභය සිටි ආකාරය නිරීක්ෂණය කළ විට ඔහු ඉතා සැහැල්ලුවෙන් සිටිනා බවත් පැහැදිලි වුවා යන්න යි. නිර්මාල් කියා සිටියේ ඔහු එහි සිටි සැහැල්ලු ආකාරයෙන් ගෝඨාභය යනු එම ආණ්ඩුවේ දැලට හසුකරගත නොහැකි තරම් විශාල ප්‍රමාණයේ මාළුවෙක් (big fish) බව ඔහුට පැහැදිලි වූ බවයි.

දැන් තිබෙන්නේ මේ ලොකු මාළුන් හසුකරගත හැකි තරම් ශක්තිමත් නව දැලකි. එය එම ලොකු මාළුන් ද දනියි. ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් සැහැල්ලුවෙන් සිනහ සෙන්නේ නැත. මේ ආණ්ඩුව අපේ රටේ දැවැන්ත දේශපාලන පරිවර්තනයක් අබියස ඉන්නවා කියා මා සිතන්නේ මේ නිසාය. එය අපේ රටේ දේශපාලනයේ ලොකු මාළුවන් අල්වන ශක්තිමත් දැලක් සදා ඇත. මෙය දැවැන්ත දේශපාලන පරිවර්තනයකට හැකියාව විවර කරන සිදුවීමකි. මේ ආණ්ඩුව මිස වෙන කිසිවකුට මෙය කළ නොහැකි වේ. මේ ආණ්ඩුවේ සැබෑ රැඩිකල් බව අපට හමුවන්නේ මෙතැනදීය.

wa

 

 

 

 

Vangeesa Sumanasekara

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න