Image

රාජපක්ෂ රෙජිමයේ හිස් තැන පිරවූ 'පාස්කු ඉරුදින ප්‍රහාරය' නම් වූ මෙවලම

රාජපක්ෂ රෙජිමයේ හිස් තැන පිරවූ 'පාස්කු ඉරුදින ප්‍රහාරය' නම් වූ මෙවලම

2019 අප්‍රේල් 21වෙනි දා සිද්ධ වුණු පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන අදටත් අපේ රටේ: ජනමාධ්‍ය, දේශපාලනඥයෝ සහ පරීක්ෂණ කණ්ඩායම් වගේම නීති ප්‍රවීණයින් කතා කරන්නේ සිදුවීම "දැනුමක්" බවට පත් කරන මට්ටමකින් පමණි.

ඒ කියන්නේ, "කවුද බෝම්බ ගැහුවේ? බුද්ධි තොරතුරු ලැබිලත් මෛත්‍රීපාලයි රනිලුයි ඒක මගහැරියේ ඇයි?, සහරාන් ගේ පිටුපස හිටපු ‘මහමොළකරුවන් ’ කවුද? සල්ලී දුන්නේ කවුද?" මේ සිදුවීමට සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශ වගේ උසාවියකට හෝ පොලිසියකට අහන්න පුළුවන් මතුපිට සාක්ෂි විතරයි හැමෝම හොයන්නේ.

පාලන තන්ත්‍රයක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය1658990104 Ranil Wickremesinghe and Maithripala Sirisena L

හැබැයි, 2005 දී රාජපක්ෂ සහෝදරවරු මේ රටේ බල ව්‍යුහය ඇතුළේ ගහපු දේශපාලන ක්‍රීඩාව තේරුම් ගන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයේ සැබෑ සාරය අපිට කවදාවත් අල්ලගන්න බැහැ. මේක හුදෙක් නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, මේක පාලන තන්ත්‍රයක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. මතුපිටින් පෙනෙන සාක්ෂිවලින් එහාට ගොස්, එම සිදුවීම පිටුපස ඇති සැබෑ මානුෂීය, සදාචාරාත්මක හෝ පද්ධතිමය "පැවැත්මේ ස්වභාවය" තේරුම් ගැනීමයි මෙතැනදී වැදගත්.

2015 දී බලයට පත් වුණු ‘යහපාලන’ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළේ තමන්ගෙන් බාහිරව පවතින නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සහ ජාත්‍යන්තර මානව හිමිකම් අනුව යමින් සහ ඒවා පිළිගනිමින්, රාජ්‍යය පාලනය කිරීම හරහා ආයතන සහ නීති රීති පද්ධතීන් කළමනාකරණය කිරීමයි. ඒ නිසා ම සහරාන් ඇතුළු කණ්ඩායම මුස්ලිම් අන්තවාදයක් වර්ධනය කරමින් ඉන්නවා කියන එක ඔවුන් දැක්කේ නීතිය හා සාමය පිළිබඳ සාමාන්‍ය බාහිර ප්‍රශ්නයක් විදිහට විතරයි. හැබැයි ඒ වෙලාවේ විපක්ෂයේ හිටපු රාජපක්ෂවරුන් නියෝජනය කරන ‘ජාතිවාදී සිංහල මැද පන්තිය’ කියෙව්වේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රපංචයක්.

පැවැත්මේ හිස්බවක් නිර්මාණය වීම 106901147 gettyimages 1138498129

රාජපක්ෂවරුන්ට එල්.ටී.ටී.ඊ ය කියන්නේ බාහිර ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි, ඔවුන්ට පවුලක් ලෙස පොහොසත් වෙන්න බැරි අභ්‍යන්තර ස්වයං බාධාවක්. 2009 දී කොටි සංවිධානය සමූලඝාතනය කිරීමෙන් පස්සේ, රාජපක්ෂවරුන්ව සිංහල මධ්‍යම පන්තිය වැලඳගත්තේ ‘දේශයේ ගැලවුම්කාරයෝ’ විදිහටයි. හැබැයි 2015 දී ඔවුන්ව බලයෙන් ඇදලා දැම්මට පස්සෙ ඔවුන් ගේ පැවැත්මේ හිස්බවක් නිර්මාණය වුණා.

"කොටි නැති ලංකාවක, රාජපක්ෂවරුන්ගේ පරම බලයට ඇති අවශ්‍යතාව කුමක්ද?" කියන ප්‍රශ්නය සිංහල සමාජය ඇතුළෙන් ම මතු වෙන්න ගත්තා. තමන්ට නැවත බලයට එන්න නම්, සිංහල-බෞද්ධ ජන විඥානය ඇතුළේ පරණ ‘මරණ බිය’ සහ ‘අනාරක්ෂිතභාවය’ නැවත උපද්දවන්න සිද්ධ වෙනවා කියන එක ඔවුන් ගේ සිංහල බෞද්ධ රාජ්‍ය තර්කනය විසින් නිවැරදිව හඳුනාගත්තා. අන්න ඒ හිස්තැන පිරවීමට ලැබුණු මෙවලම තමයි පාස්කු ප්‍රහාරය සහ සහරාන්ගේ මුස්ලිම් අන්තවාදය.

පාලන බලය ලබාගැනීමේ උපායමාර්ගයක පරම සාර්ථකත්වයgotabhaya rajapaksa

ජනමාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව පාස්කු ප්‍රහාරය දකින්නේ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ බිහිසුණු අසාර්ථකත්වයක් විදිහටයි. හැබැයි රාජපක්ෂවරුන්ගේ තර්කනයට අනුව ඒක අසාර්ථකත්වයක් නෙවෙයි; ඒක පාලන බලය ලබාගැනීමේ උපායමාර්ගයක පරම සාර්ථකත්වයක්.

ප්‍රහාරය සිද්ධ වුණු සැනින්, සමාජය පුරා පැතිර ගිය මරණ බිය නිසා "නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම්" වැනි සියලු වාස්තවික සාධක මිනිස්සුන්ට අමතක වුනා "මේ රට බේරගන්න නම් සිංහල-බෞද්ධ නායකයෙක්, කෙළින් වැඩ කරන මිලිටරි දැක්මක් තියෙන පාලකයෙක් ඕනේ" කියන මතවාදය ක්ෂණිකව සමාජගත වුණා.2019 නොවැම්බර් වෙනකොට, 69 ලක්ෂයක ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂව පාලකයා බවට පත් කරගන්න ජාතිවාදී සිංහල මධ්‍යම පන්තිය පෙළඹුණේ මේ බිය සහ ආත්මීය ආශාව නිසාමයි.

ව්‍යාජ ආරක්ෂක බුබුළ ආර්ථික යථාර්ථය ඉදිරියේ පුපුරා යෑමAragalaya

2005 දී ඔවුන් ගත්තු තීරණය වගේම, පාස්කු ප්‍රහාරය හරහා නිර්මාණය කරපු යථාර්ථය සහ කොවිඩ් බඳු සිදුවීම් හරහා අවසානයේ දී පාලනය කරගත නොහැකි ව්‍යසනයක් බවට පත් වුණා. ජාත්‍යන්තර දේශපාලන උගුල් තේරුම් ගැනීමට නොහැකි වීමත් කලාපිය අවශ්‍යතා හඳුනා නොගැනීමත් හේතුවෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ තිබුණු ‘ලුම්පන් පන්ති ස්වභාවය’ (නිෂ්පාදන හෝ සැබෑ වෙළඳ ආර්ථිකයක් නොමැති, හුදෙක් ණය සහ කොමිස් මත යැපෙන පවුල් මාෆියාව) නිසා වසර දෙක තුනක් ඇතුළත රටේ සමස්ත ආර්ථිකයම බිඳවැටුණා. 2022 දී මතු වුණු ‘අරගලය’ කියන්නේ, පාස්කු ප්‍රහාරයෙන් නිර්මාණය කරපු ව්‍යාජ ආරක්ෂක බුබුළ ආර්ථික යථාර්ථය ඉදිරියේ පුපුරා යෑමයි.

අදටත් පාස්කු ප්‍රහාරයේ නඩු විභාග වෙනවා, කොමිෂන් සභා වාර්තා එළියට එනවා. හැබැයි ලංකාවේ රහසින් ජාතිවාදී ප්‍රබුද්ධ මධ්‍යම පන්තිය "කවුද බෝම්බ ගැහුවේ?" කියන දැනුමට හසුවන මට්ටමෙන් එහාට ගිහින්, "අපේම බල ලෝභී ආත්මය නඩත්තු කරන්න මේ වගේ බිහිසුණු මාෆියා ආකෘතිවලට අපි ඉඩ දුන්නේ ඇයි?" කියන ස්වයං-විවේචනයට නොපැමිණෙන තාක් කල් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් අපේ ඇස් ඉදිරිපිට ම නිදැල්ලේ හැසිරෙනු ඇත.

mandis murrukkuwadura.jpg

 

 

 

 

Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න