Language Switcher

V2025

මට වියදම් වුනේ පෙට්‍රල් ටික විතරයි - කැනඩාවේ ජන්දය ඉල්ලන යකඳවෙල කියන කතාව !

ලංකාවේ එහෙම වුණත් කැනඩාවේ එහෙම වෙන්නේ නෑ

‘මට වියදම් වුනේ පෙට්‍රල් ටික විතරයි’ - කැනඩාවේ මැතිවරණ අපේක්ෂකයෙක් කියන කතාව

කැනඩාවේ මහ මැතිවරණය ලබන 20 වෙනිදා, සඳුදා, පැවැත්වෙනවා.

ඒ අගමැති ජස්ටින් Trudo නියමිත කාලෙට කලින් මහ මැතිවරණයක් කැඳවපු නිසා.

මේ වතාවේ සිංහල ජාතිකයෙකුත් මැතිවරණයට තරග කරනවා.

ඒ ශ්‍රී ලංකාවේ විනිසුරුවරයෙකු විදියටත් සේවය කරලා තියෙන, නීතිවේදී ධර්මසේන යකඳවෙල.

මහ මැතිවරණයේ දී NDP පක්ෂය නියෝජනය කරමි ඔහු තරග කරන්නේ Abbotsford කොට්ටාශයට. ඔහුත් එක්ක අපේක්ෂකයෝ 05 දෙනෙක් ඒ ආසනයට තරග කරනවා.

ධර්මසේන යකඳවෙල නීතිඥ තුමා කැනඩාවේ මැතිවරණයට තරග කරන බව කියල මට ඔහු හඳුන්වල දුන්නේ මනු තිසේරා.

ඉතින් මම ඔහු එක්ක ඊයේ රෑ (කැනඩාවේ වෙලාවෙන් දවල්) පොඩි කතාබහක යෙදුන.

මූලික කතාබහකින් පස්සේ Abbotsford කොට්ටාශයේ අපේක්ෂක තුමාට මම ප්‍රශ්නයක් යොමු කළා.

“ඔබට මේ මැතිවරණ ව්‍යාපාරයට ලක්ෂ කීයක් වියදම් වුනාද?”

ඔහු එයට පිළිතුරු දුන්නේ සිනහසෙමින්.

“සරෝජ් ඔයා කිවුවොත් විශ්වාස කරන්නේ නැතිවෙයි, Abbotsford වලට යන්න මගේ කාර් එකට ගහන පෙට්‍රල් ටික විතරයි මට වියදම් වුනේ.”

ඔහු මට පැහැදිලි කරපු විදියට, කැනඩාවේ මැතිවරණ නීතියට අනුව කිසිම අපේක්ෂකයෙකුට තමන්ගේ මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීම තහනම්. නමුත් ඩොලර් 5000 ක උපරිමයකට තමන්ගේම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රදානයක් දෙන්න ඒ අපේක්ෂකයාට පුළුවන්.

අපේක්ෂකයා කළ යුත්තේ පක්ෂයේ භාරකාර අරමුදලකට ඒ මුදල බැර කිරීම. ඒ භාරකාර අරමුදල මැතිවරණ කොමිසමේ (Election Canada) විගණනයට නතුවෙනවා.

ඒ වගේම වෙනත් කිසිවෙකු හෝ අපේක්ෂකයාට මූල්‍ය ප්‍රදානයක් කරනවා නම් අවුරුද්දක් ඇතුළත ඔහුට/ඇයට ප්‍රදානය කරන්න පුළුවන් උපරිම මුදල ඩොලර් 1650ක්.

ඒත් එහෙම මුදල් ප්‍රදානය කරන කිසිම කනෙකු වෙනුවෙන් විශේෂ වරප්‍රසාද, කොන්ත්‍රාත්තු හෝ වෙනත් මූල්‍ය වාසියක් ලැබෙන විදියට අවස්ථා උදාකරල දෙන්න කැනඩාවේ නීතිය අනුව තේරී පත්වෙන මන්ත්‍රීවරයාට හැකියාවක් නැහැ.

මීට කලින් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් කිහිප දෙනෙක් කැනඩාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

නීතිවේදී ධර්මසේන යකඳවෙල කියන විදියට මැතිවරණ දිනාගැනීමේ අරමුණින් ඒ මන්ත්‍රීවරුන්/වරියන් කටයුතු කළේ ලංකාවේ ඇතුලෙ තියන විදියෙ ජාතීන් අතර බෙදීම් කැනඩාව තුළත් ප්‍රවර්ධනය කරන ආකාරයකට.

“Equal rights කියන එක ඉතාම ඉහළින් පිළිගන්න රටක සිංහල, දෙමළ, මුස්ලිම් කියල අපි ඒ භේද භින්නවීම කියන එක මම හිතන්නේ සුදුසු නෑ. අපි අර ලංකාවේ අආම්වාදය, ජාතිවාදය, භාෂාව පිළිබඳ තියන මේ වෙනස කූට දේශපාලනඥයා විසින් බලයට ඒම සඳහා භාවිතා කරපු මෙවලමක්. හැබැයි ඒ මෙවලමම මේ කන්දාවෙත් භාවිතා කරනවා නම් ... මම හිතන්නේ අපි ඉන් එහාට ගිය පරිසරයක, සමාජයක ජීවෙත් වෙන්නේ,” කියල ඔහු අනතුරු ඇඟවීමකුත් කළා.

ධර්මසේන යකඳවෙල කැනඩාවේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ නීතිවේදියෙක්.

මේ වනවිට පවුල් 5000 කට පමණ නීති උපදෙස් දීල ඔවුන්ට කැනඩාවේ ස්ථිරව පදිංචි වෙන්න උපකාර කළ බවත් ඔහු කියනව.

“ඒගොල්ල හරි සතුටින් ඉන්න එක මට සතුටක්.”

ඉතින් මේ වතාවේ මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා කොයිතරම් වාර්තා වෙලා තියෙනවද?

නීතිවේදී ධර්මසේන යකඳවෙලට මගෙන් තවත් ප්‍රශ්නයක්.

ඒ ප්‍රශ්නෙටත් පිළිතුර ලොකු සිනහවක්.

“සරෝජ්, කිසිම කෙනෙක් මරලත් නෑ. ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවකුත් නෑ. අනික මේ ඡන්දේ ගැන ජනතාවගේ උනන්දුවකුත් නෑ. ජනතාවට ඡන්ද පොලට ගිහින් ඡන්දේ දාන්න කියල හැම පක්ෂයක්ම ඇපීල් කරනවා.”

සමස්ත මැතිවරණ ක්‍රියාවලිය තුළ සෑම අපේක්ෂකයෙකුටම ලැබෙන සමාන අවස්ථාව ඔහු ඉතා ඉහළින් අගය කරමින් කතා කළා.

“දැන් මාව ඉන්ටවීව් කළා රේඩියෝ චැනල් දෙකකින්. එගොල්ල මට දෙන චාන්ස් එකම අනිත් අයටත් දෙනවා. මම ගිහිල්ල කතෝලික පල්ලියක් එක්ක කතා කළා. එතකොට එයාල මට කිවුවේ, ‘බොහොම හොඳයි, අපි අපේක්ෂකයෝ සේරම එකතු කරලා විවාදයක් සංවිධානය කරන්න බලන්නම්’ කියල.”

ඔහු තවත් ප්‍රධානම කාරණයක් පෙන්නල දුන්න.

ඒ කියන්නේ Conflict of Interest Act එක මගින් රටේ දූෂණ, වංචාවලට වැට බැඳීම.

රටේ සෑම තරාතිරමකම වැඩ කටයුතුවලදී ඒ පනත මගින් බැඳියාවන් අතර ගැටුමක් ඇතිවීම වලක්වන බව නීතිවේදී යකඳවෙල කිවුවේ ලොකු ප්‍රසාදයකින්.

ඒ කියන්නේ කැනඩාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියන එකද?

20 වෙනිදා මහ මැතිවරණය වෙනුවෙන් ඔහුට අපේ සුබ පැතුම්.

BBC සිංහල සේවයේ සරෝජ් පතිරණ ගේ ෆේස්බුක් ගිනුමෙනි