Language Switcher

V2025

විස්මිත ක්‍රීඩකයා නික්ම ගොස් බැවින් පිට්ටනිය මේ මොහොතේ පාළුවක් උසුළයි ! එහෙත්... !

මංගල සමරවීරගේ භෞතික ශරීරය අද (24) හවස බොරැල්ල කනත්තේ ආදාහනාගාරය ඉහළින් අළු පැහැ දුමක් සේ අහසට එක්වන විට එම පැහැයෙන් ම වූ ශෝකයක් හද වෙළා ගත්තේ ය. එය සොවකටත් වඩා කම්පනයකි. කම්පනයකටත් වඩා හිස්තැනකි. මංගල සමග වූ රුවන් ෆර්ඩිනැන්ඩ්ස්ගේ තිස්පස්වසරක ඓතිහාසික මිතුදම සමග, මංගල සමග වූ අපේ කුඩා හිතවත්කම කෙසේවත් සමකරන්නට නොහැකි ය. එහෙත්, වසර කීපයක පුංචි හිතවත්කම තුළ පවා, බරැති මතකයක් ඔහු ඉතිරිකර තබා ගිය බව දැනුණේ අද පෙරවරුවේ ය.

මංගල අපට මුල්වරට හමු වූයේ මීට දස වසරකට පෙර ය. 2011 අගෝස්තු 16 වැනිදා ඔහු හමු වූයේ ඊළඟ සතියේ ලංකා ඉරිදා සංග්‍රහයට සම්මුඛ සාකච්ඡාවක් ගැනීමට ය. ඒ දවස අගෝස්තු 16 වීම අහම්බයක් මුත්, එය වැදගත් දවසකි. දාහත් අවුරුදු සාපය වූ එජාප ආණ්ඩුව ගෙදර යවා, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් - මංගලගේ ද දායකත්වයෙන් - පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ආවේ අගෝස්තු 16 වැනිදාවක ය. ඒ 94 දී ය. එදා සිට යළි අවුරුදු දාහතක් ගෙවුණු දින ඔහු සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ය.

එදා සාකච්ඡාවේදී ඔහු පෙනී සිටියේ, ඔහු ම කලෙක වැඩ බෑ කියූ රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාසගේ නම නොකියා විවේචනය කළේ ය. මංගල අපට අවසන් වරට හමු වූයේ 2018 ජූලි මාසයේදී ය. ඒ ද සම්මුඛ සාකච්ඡාවක් වෙනුවෙනි. comrade.lk වෙබ් අඩවිය වෙනුවෙන් කළ ඒ සාකච්ඡාවේදී ඔහු කීවේ දිනන්න පුළුවන් අපේක්ෂකයා සජිත් කියා ය. ඒ අතරමැද වාර දෙකකදී, හිරු 'සලකුණ' වැඩසටහනෙන් ඔහු අප සම්මුඛ වූ විට, එහි ආ බොහෝ දේශපාලනඥයන් සේ ම වංගු උත්තර දී ප්‍රශ්නවලින් පැනගත්තේ ය.

මංගල සමග සමීපව වැඩකරන්නට අපට අවස්ථාව ලැබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක වගකීමක් දැරූ සමයේ ය. රුවන් විසින් හඳුන්වා දෙනු ලැබූ මොහොතේ ම, මා ඔබේ පක්ෂයේ නම් නොවේ යන්න අප අවධාරණය කළ විට ඔහු කීවේ ඒකට කමක් නැති බවයි. ඔහු අප අතර තිබූ එක ම කොන්දේසිය වූයේ ජාතිවාදයට ආගම්වාදයට ඉඩ නොතබමින් මාධ්‍ය මෙහෙයවීම පමණි. රාජ්‍ය මාධ්‍ය මෙහෙයවීමේදී, මංගල, එක් ජාතිවාදයකට පමණක් විරුද්ධ වූ කෙනෙක් නොව, සුළු යැයි හඳුන්වන ජාතිවාදයන්ට ද එරෙහිව දැඩිව කටයුතු කළ කෙනෙක් බව ඔහුට සාධාරණයක් වනු පිණිස ලියා තැබිය යුතු ය. එමෙන් ම, මංගල යනු නිර්මාණශීලී මිනිසුන්ට බය කුහකයෙක් නොවේ.

එකඟතාවලදී හොඳට ම එකඟ වී නොඑකඟතාවලදී කොන්දේසි නැතුව රණ්ඩු කළ, වැඩිමහල් මිත්‍රවර දක්ෂිණාංශික දේශපාලනඥයා නැති අඩුව අපට දැනෙයි. ඔහු කළ දේශපාලන යෝජනා ප්‍රතික්ෂේප කළේ යැයි ඔහු කිසිදා උරණ නොවී ය. මට කොළඹ ඡන්දය තිබුණා නම් මං දෙන්නෙත් කැටේට කියා අපට නොකියා වෙනත් මිතුරන් සමග කී හිතවතා යන්නට ගොසිණි. පසුගිය මැයි මාසයේදී කොරෝනා රෝගයට අප ගොදුරු වූ විට කොහොමද?යි දුරකථනයෙන් ඇසූ මනුෂ්‍යයා අගෝස්තුව අවසන් වන්නට පෙර මතකයක් පමණක් වී ඇත.

බොහෝ අය අහක බලාගෙන යන කලාප දෙස හරි කෙළින් බලා තමන්ගේ මතය කී මිනිහෙකුගේ අඩුව ලාංකේය දේශපාලනයට ද දැනෙනු ඇත. ඒ අර්ථයෙන්, මංගල යනු, වමේ දකුණේ කාටත් චැලේන්ජ් එකකි. දේශපාලනය යනු බලයේ ක්‍රීඩාව නම්, මංගල යනු මෙරට මෑතකාලීන දේශපාලනයේ විස්මිත ක්‍රීඩකයා ය. කණ්ඩායම් නායකත්වය නොදැරුවද, ඔහු, තරගය ඕනෑම පැත්තකට හැරවිය හැකි ක්‍රීඩකයෙක් විය. පිට්ටනියේ ක්‍රීඩාව මෙන් ම ක්‍රීඩාගාරයේ කල්මැරීමේ ක්‍රීඩාව ද ඔහු දැන සිටියේ ය. ඔහුට වැරදුණු තැන් ද නොතිබුණා නොවේ. එහෙත් වැරදීම පැරදීමක් නොවන ලෙස කළමණාකරණය කරගැනීමට ඔහු දක්ෂ විය.

විස්මිත ක්‍රීඩකයා නික්ම ගොස් බැවින් පිට්ටනිය මේ මොහොතේ පාළුවක් උසුළයි ! එහෙත් දේශපාලනය යනු මංගලගේ සමුගැනීමෙන් නවතින දෙයක් නොවේ. ඔහුගේ අගතීන් මෙන් ම ප්‍රගතීන් ගැන නිවැරදිව තක්සේරු කරගැනීම දේශපාලන වැඩකි. දැනට එක දෙයක් කිව හැකි ය. ඔහු පිළිබඳ ලියැවුණු බොහෝ ශෝක පණිවිඩවල තිබූ, අවසන් බලාපොරොත්තුව ද අවසන්ය යන වැකිය මියයන්නට පෙර ආශ්චර්යයකින් හෝ දුටුවේ නම්, එහෙම කොහොමද වෙන්නෙ ? යනුවෙන් මංගල මහ හඬින් සිනා සී අසා, වැඩිපුර අයිස් කැට දැමූ සිය මධු වීදුරුව තොලගානු නිසැක ය.

කැටිපෙ

2021 අගෝස්තු 24