Language Switcher

V2025

කිස් එකක් නිසා ගෙදර ගිය : බ්‍රිතාන්‍යයේ මුදල් ලේකම් (වීඩියෝ )

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (ඇමති) Matt Hancock ධූරයෙන් ඉල්ලා අස්වීම මේ වන විට ලොවම දන්නා පුවතක්. තමන්ම හඳුන්වා දුන් කොවිඩ් ආරක්ෂණ මාර්ගෝපදේශයක් (සමාජ දුරස්ථභාවය) කඩ කළ බැවින් ධූරයෙන් අස්වන බව ඔහු පැවසුවා.

මේ කතාව එතරම් සරල නැහැ. ඔහුට ධූරයෙන් යන්න සිදුවන්නේ “Sun” පුවත්පත ඊට අදාළව කරන හෙළිදරව්වක් හේතුවෙන්. ලංඩනයේ පිහිටි සෞඛ්‍ය දෙපාර්ත්තමේන්තුවේදී රාජකාරී වේලාවක් අතරතුර සෞඛ්‍ය ලේකම්වරයා තම උපදේශිකාවක සිප වැළඳගන්නා ආකාරය (Kissing) වීඩියෝ සහිතව අදාළ පුවත්පත හෙළිකරනවා.

මෙය දෙදෙනෙකුගේ පුද්ගලිකත්වය (Privacy) ලෙස හෝ ඕපාදූපයක් (Gossip) ලෙස වර නොනැගීම තමයි මෙහි වැදගත්ම දෙය. පුවත්පත කරන බැරෑරුම් හෙළිදරව්ව වන්නේ ඇමතිවරයා මහජන බදු මුදලින් (Tax Payers Money) වැටුප් ගෙවා පත්කරගෙන සිටින උපදේශිකාවක සමග අනියම් සබඳතාවක් පැවැත්වීමයි. එය බලය අයුතු ලෙස භාවිත කිරීමක් (Abuse of power) මෙන්ම ලැදියාවන් අතර ගැටුමක් (Conflict of interest) බවද ඔවුන් පෙන්වා දෙනවා.

චෝදනා කිහිපයක් එල්ලවී තිබූ නමුත් බ්‍රිතාන්‍යයේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් මැට් හැංකොක් විශාල කාර්යභාරයක් ඉටුකළ අමාත්‍යවරයෙක්. එසේ වුවද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ ඉල්ලා අස්වීම භාරගන්නා අතර මේ සිදුවීමත් සමග රජයට විපක්ෂයෙන් සහ මාධ්‍යයෙන් කෙරෙන බලපෑමද සුළුපටු නැහැ.

සෞඛ්‍ය අමාත්‍යවරයා තම සමීපතම උපදේශීකාව ලෙස බඳවා ගෙන සිටි ඔක්ස්ෆෝඩ් සරසවියේ ඉගෙනුම ලැබූ Gina Coladangelo නමැති සමකාලීන මිතුරියක්. දෙදෙනාම විවාහකයින්. ඒ වගේම ඇය බිලියනපතිනියක්.

මේ වගේ කතා ඇහුවම අපේ රට ගැන මතකයට ඒම අරුමයක් නොවෙයි. අපේ රටේ නායකයින්, ඇමතිවරුන් උපදේශකයන් හෝ පෞද්ගලික කාර්යය මණ්ඩල පත්කර ගන්නේ කිසිදු වගවිභාගයකින් නොවෙයි. බොහෝ දුරට එලෙස බඳවා ගැනෙන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්, සමීප ඥාතීන් හෝ සමීප මිතුරන්.

රටේ උත්තරීතර තැන වන පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පවා තම කාර්යය මණ්ඩලය පුරවාගෙන සිටින්නේ පවුලේ සාමාජිකයන්ගෙන්. ඔහුගේ ඥාති සහෝදරයා වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයෙකු ලෙස සිටියදී කළේද එයමයි. රාජපක්ෂවරුන්ද එලෙසමයි. පසුගිය ආණ්ඩුවේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා 100 දෙනෙකුට පමණ උපදේශක තනතුරු ලබාදී තිබුණා. අපේ ඇතෑම් සංඝයා වහන්සේලාද දීමනා, වරප්‍රසාද සහිතව මෙවැනි තනතුරු ගන්නවා.

අඩුම තරමින් මෙකී මැති ඇමතිවරුන් මැතිවරණ සමයේ තමන්ගේ කැම්පේන් එක වෙනුවෙන් මැර්‍රගෙන වැඩකරන උගත් තරුණයෙකුට හෝ එවැනි අවස්ථාවක් නොදෙන නිර්ලජ්ජිත හා කෑදර පිරිසක්. මොවුන් බුක්ති විඳින්නේ ජනතා බදු මුදල්, මහජන දේපළ. නිල නිවාස වගේම එක ගෙදරට රජයේ වාහන 10-15 ක් ගාල් කරගන්න සංස්කෘතියක්.

ගැටළුව වන්නේ මේ අප දුක් මහන්සියෙන් හම්බු කරන මුදල් බව අපට නොතේරීමයි. මාධ්‍ය ඒවා ප්‍රශ්න නොකිරීමයි. ජනතාවගේ දහඩියෙන් දහඩියෙන් උපයාගත් දේ තමන් පමණක් නොව, ලෙහෙසි පහසු කඩුළු පැන ගනිමින් අයුතු ලෙස පවුලේ සාමාජිකයන්ටද බුක්ති විඳීමට ලබාදී සමාජයේ ප්‍රභූන් ලෙසද පෙනී සිටීම කෙතරම් නම් නරුම කමක්ද?

බොහෝ විදෙස් රටවල මෙවැනි සිදුවීම් මහජන මුදල් අපහරණයක් ලෙස දැඩිව අවධාරණය කෙරෙනවා. බ්‍රිතාන්‍යයේ අමාත්‍ය්වරයා තම වරද පිළිගෙන කනගාටුව පළකර ගියද අපේ දේශපාලකයින්ට එවැනි අවම දේශ්පාලන සදාචාරයක් නැහැ.

මෙහි මාධ්‍ය හෙළිදරව් කිරීම ගැනද කිව යුතුය. මෙය "Sun” පුවත්පතට ලැබෙන්නේ සෞඛ්‍ය දෙපාර්ත්තමේන්තුවේ සේවය කරන්නෙක්ගෙනි. මෙවැනි අය Whistleblower ලෙස හැඳින්වෙනවා. යම් ආයතනයක සිදුවන අකටයුත්තක් ඉහළ අධිකාරීන්ට හෝ මාධ්‍යයට හෙළිදරව් කිරීම ඔවුන්ගෙන් සිදුවන දෙයක්.

බ්‍රිතාන්‍යයේ මේ හෙළිදරව්ව කළ මාධ්‍යා ආයතනය, පුද්ගලයා හෝ පුද්ගලයන් පිටුපස මේ ඇමතිවරුන් හෝ ආණ්ඩුව පන්නන්නේ නැහැ. තම ආයතන ප්‍රධානියා පවා වරදක් කරයි නම් හෙළිදරව් කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා.

මෙවැනි හෙළිදරව් කිරීම් අප වැනි රටවලටත් වැදගත්. එහෙම වුණොත් ලොව බොහෝ ගුණාත්මක දර්ශකවල අපට ඉහළට ඒමට හැකියාව ලැබේවි..!

|මහින්ද රුබසිංහ ගේ ෆේස්බුක් ගිනුමෙනි