Language Switcher

V2025

පීඩාවට පත්වූ ගොවීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිනවා - මන්ත්‍රී සුමන්තිරන්

දෙමළ කතාකරන උතුරු නැගෙනහිර දෙමළ , මුස්ලිම් ජනතාව සහ ඉන්දීය දෙමළ සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට රජයේ අවධානය යොමු කිරීම පිණිස අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් සිට යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩි දක්වා පෙබරවාරි 3වනදා සිට 7වනදා දක්වා සාමකාමී පාදයාත්‍රාවක් දියත් කෙරිණි. මේ ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී M.A සුමන්තිරන් මහතා සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සැකසු ලිපියකි.

Q. පොතුවිල් සිට පොලිකන්ඩි එහෙම නැත්නම් P2P නමින් පාද යාත්‍රාවක් ආරම්භ කිරීමට හේතුව කුමක්ද?

2020 ජුනි මස 2 අති විශේෂ ගැසට් පත්‍රය මගින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. මෙම කාර්ය සාධක බලකාය මගින් නැගෙනහිර පළාතේ ගොවීන්ගේ ඉඩම් අත්පත් කරගැනීම තුලින් ඔවුන් පීඩාවට පත්ව තිබෙනවා. මෙම අත්පත් කරගත් භූමි ප්‍රදේශ බොහොමයක් වගා භූමි, සමහර ප්‍රදේශවල ගොවීන්ට සිය වගා භූමිවල අස්වනු නෙලා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. මම දැනට පොතුවිල් වල මෙලෙස පීඩාවට පත්වූ ගොවීන් 14 දෙනෙකු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක පීඩාවට පත්වූ ගොවීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිනවා.

ඊට අමතරව වවුනියාව දිස්ත්‍රික්කයේ දැනට හින්දු පූජනීය ස්ථාන ලෙස පවතින කුරුන්දුමලෙයි, වඩුක්කනාරිමලෙයි යන පූජනීය ස්ථාන මෙම කාර්ය සාධක බලකාය විසින් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් ඇති ස්ථාන ලෙස ප්‍රකාශ කරමින් එම ස්ථාන හින්දු පූජනීය ස්ථාන ලෙස ඉවත් කොට තිබෙනවා. ජනවාරි දෙවන සතියේදී මෙම කාර්ය සාධක බලකාය යාපනය දිස්ත්‍රික්කයේද ස්ථාන 10ක් හඳුනාගනිමින්, එම ප්‍රදේශවල කැණීම් කටයුතු අරම්භ කිරීමට කටයුතු සම්පාදනය කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනතාව අතර නැගෙනහිර පළාතේ සිදුවූ ආකාරයටම ඉඩම් අත්පත් කරගැනීමක් සිදුවේදෝයි, මෙය ප්‍රදේශයේ ජන විකාශනය වෙනසක් කිරීමේ සැලසුමේ කොටසක් දෝයි යම් නොසන්සුන්තාවයක්, සැකයක් පැන නැගී තිබෙනවා. ඉඩම් අත්පත් කරගැනීම, හින්දු පූජනීය ස්ථාන බෞද්ධ පූජනීය ස්ථාන ලෙස පරිවර්තනය කිරීම, ගොවීන්ගේ වගා භූමි අත්පත් කරගැනීම තුලින් ඔවුන්ගේ ජීවිකාව අහිමි වීම වැනි සිදුවීම් නිසා මෙම ප්‍රදේශ වල ජනතාව පීඩාවට පත්වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් යාපනයේදී සියලුම දෙමල දේශපාලන පක්ෂ සහ නැගෙනහිර නියෝජිතයන්ගේද සහභාගීත්වය ඇතිව සිදුකරන ලද සාකච්ඡාවකදී ඉහත ගැටළු වලට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ තීරණයකට එළඹුනා. 2021 ජනවාරි 31 වනදා උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය කර තිබුනේ ඉහත ගැටළු වලට අමතරව දෙමල කතාකරන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු 10ක් හඳුනාගෙන එම ගැටළු වලට රජයේ සහ රටේ අනෙකුත් ජනතාවගේ අවධානය යොමු කිරීමට සාමකාමිව හා ප්‍රජාතන්ත්‍රවාදී පාද යාත්‍රාවක් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා සංවිධානය කිරීමටයි. එයට දෙමල ජාතික සන්ධානය ලෙස අපද සහයෝගය දැක්වූවා.

Q.ඔබ සඳහන් කළා උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන එකමුතුව විසින් මෙම පාද යාත්‍රාව ප්‍රධාන ඉල්ලීම් 10ක් අරමුණු කරගෙන පැවැත්වූ බව, මෙම ඉල්ලීම් 10 මොනවද ?

  1. දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ වල ඉඩම් පවරා ගැනීම හා එම ජනතාවගේ පාරම්පරික, ඓතිහාසික භූමි ප්‍රදේශ සිංහල ප්‍රදේශ බවට පරිවර්තනය කිරීම උදෙසා එම ප්‍රදේශ වල සමහර හින්දු පූජනීය ස්ථාන විනාශ කොට එම ස්ථාන වල බෞද්ධ විහාර ඉදි කිරීම.
  2. යුද්ධය අවසාන වී වසර 10කටත් අනතුරුවද දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ හමුදාකරණය දිගටම සිදු කිරීම කරන අතර විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන හරහා සිංහල ජනතාවට පක්ෂව එම ප්‍රදේශ වල ජන විකාශනය වෙනස් කිරීම අරමුණු කොටගෙන එම ප්‍රදේශ වල ඓතිහාසික දෙමල අනන්‍යතාවය විනාශ කිරීම. එමෙන්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ සිංහල ජනපදකරණය දිගටම සිදුවේ.
  3. මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් හෙළිදරවු කරන මාධ්‍යවේදීන් සහ ඒවා සම්බන්ධයෙන් උද්ඝෝෂණය කරන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඉලක්ක කිරීමට රජය කටයුතු කිරීම.
  4. දෙමල ගව පට්ටි හිමියෝ විවිධ ගැටළු වලට මුහුණ දෙති. ගවයන්ගේ තෘණ භූමි සිංහල ජනතාව විසින් අත්පත් කරගෙන ගවයන් මරා දමා ඇත.
  5. මියගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම තහනම් කිරීම, යුද්ධයෙන් මිය ගිය අයගේ සුසාන භූමි හා ස්මාරක විනාශ කිරීම මගින් තමන්ගේ මිය ගිය ඥාතීන් සිහි කිරීමේ අයිතිය දෙමල ජනතාවට අහිමි කොට ඇත.
  6. COVID අසාධනය වී මියගිය මුස්ලිම් ජනතාවගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත හා ඉස්ලාම් ඉගැන්වීම් නොසලකා ආදාහනය කිරීම.
  7. දෙමල තරුණයන් අත්අඩංගුවට ගෙන වසර 40ක් වැනි දීර්ඝ කාලයක් චෝදනා ඉදිරිපත් කිරීමෙන් තොරව සිරගත කිරීමට යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පණත දැන් මුස්ලිම් ජනතාවට එරෙහිව භාවිතා කිරීම.
  8. දෙමල දේශපාලන සිරකරුවන් නඩු නොමැතිව දීර්ඝ කාලයක් සිරගත කොට ඇත. රජය විසින් විධිමත් පදනමක් යටතේ සිංහල සිරකරුවන්ට සමාව දීම සිදු කරත්, කිසිඳු දෙමල සිරකරුවෙකුට සමාව ප්‍රධානය කොට නැත.
  9. අතුරුදහන් වුවන්ගේ ඥාතීන් සිය පවුලේ සාමාජිකයන් සොයා ගැනීම සම්බන්ධයෙන් උද්ඝෝෂණය කලත් රජය ඔවුන්ට පිළිතුරු දීමට අපොහොසත් වීම.
  10. වතුකරයේ දෙමල ජනතාව සිය වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරගැනීමට ඉල්ලා සිටියත්, රජය එම ඉල්ලීම් වලට පිළිතුරු දී නැත. Q. විශේෂයෙන්ම, අපි දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ හරහා, විවධ අන්තවාදී හා දෙමළ ජාතිකවාදී ස්වරූපයක් ගන්න ඉල්ලීම් සිදු කරමින් උද්ඝෝෂණය කරන කණ්ඩායම්ද මෙම පාද යාත්‍රාවේ කොටස්කරුවන් වී සිටින

ආකාරය, මෙය දකුණේ ජනතාව අතර දැඩිව විවේචනයට ලක්වන කාරණයක්. ඔබ මෙම වෙනම රටක් ඉල්ලීම, උතුරු නැගනෙහිර ප්‍රදේශවල ජනමත විචාරණයක් පැවැත්වීම වැනි ඉල්ලීම් වලට සහයෝගය දක්වනවද ? මේ සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය පැහැදිලි කරන්න පුලුවන්ද? මම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි මෙකී අන්තවාදී ඉල්ලීම් P2P පාද යාත්‍රාව සංවිධානය කිරීමට ඒකරාශී වූ උතුරු නැගනහිර සිවිල් සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කල සහ මෙම පාද යාත්‍රාවේ මූලික අරමුණු 10 අතර කිසිසේත්ම නැති බව. පාද යාත්‍රාවේ අවසාන දිනයේදී යම් යම් අන්තවාදී, දෙමළ ජාතිකවාදී අදහස් දරන කණ්ඩායම් මෙයට එකතුවී සිටියා, ඔබ සඳහන් කල ඔය ඉල්ලීම් එම කණ්ඩායමේ අදහස් මිස පාද යාත්‍රාව අරමුණු කරගත් ඉල්ලීම් නොවේ. විශාල පිරිසක් ඒකරාශී වී සිටි මෙම අවස්ථාවේ මෙවැනි කණ්ඩායම් පාලනය කිරීමට අපහසු කරුණක්. මෙම අන්තවාදී, ජාතිකවාදී කණ්ඩායම් ඔවුන්ගේ ඉල්ලීම් මෙම පාද යාත්‍රාවේ මූලික ඉල්ලීම් බවට වැරදි ප්‍රචාරයක් ගෙන ගොස් තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි කාරණයක්. මෙම පාද යාත්‍රාවේ මූලික ඉල්ලීම් මම කලින් සඳහන් කළා, එය කියවන ඕනෑම කෙනෙකුට වටහා ගත හැකියි එහි අන්තවාදී ඉල්ලීම් නොමැති බව. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලාංකීය දෙමළ ජනයාගේ ප්‍රධාන නියෝජිතයන් ලෙස; එක්සත්, නොබෙදු, නොබෙදිය හැකි රාජ්‍යයක් තුළ සියලු ජනයාට සමානව සලකන හා රටේ බහු වාර්ගික, බහු භාෂික, බහු ආගමික ස්වභාවය සහතික කරන, අරක්ෂා කරන හා අගය කරන දේශයක් උදෙසා අප කැපවී සිටිනව. නව ව්‍යවස්ථාවක් සම්පාදන කිරීම සඳහා පිහිටවූ කමිටුවට අප ඉදිරපත් කල අදහස් වලද මෙය ඉතා පැහැදිලිවම අවධාරණය කර තිබෙනවා.

Q. සිංහල ජනතාව අතර විවේචනයට ලක්වන තවත් කාරණයක් තමයි, උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය විනශ කිරීමට සමහර කණ්ඩායම් කටයුතු කරන බව, ඔබ කලින් සඳහන් කල ඉල්ලීම් වලත් සඳහන් වෙනවා ඓතිහාසික නටබුන් ආශ්‍රිතව අලුතින් විහාර ඉදිකිරීමට ඔබ විරුද්ධ බව, මේගැන ඔබේ ස්ථාවරය පැහැදිලි කලොත්?

ඔව්. මම ප්‍රථමයෙන්ම සඳහන් කල යුතුයි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු බෞද්ධ නටබුන් ආරක්ෂා කර පවත්වා ගැනීමට අප කිසිසේත්ම විරුද්ධ නැති බව. ගැටලුව තිබෙන්නේ එතැන නොවේ, ගැටලුව තිබෙන්නේ වර්තමානයේ බෞද්ධයන් නොමැති මෙම ප්‍රදේශ වල හින්දු පූජනීය ස්ථාන විනාශ කරමින් අලුතින් විහාර ඉදිකිරීමයි. අතීතයේ එක්තරා අවධියක මුළු දකුණු ඉන්දියාවම බෞද්ධ රාජ්‍යයක්ව පැවතියා. උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පවා දෙමල බෞද්ධ ජනතාව වාසය කර සිටි බවට ඓතිහාසික සාධක පවතිනවා. උදාහරණයක් ලෙස, විල්ගම් විහාරයේ සෙල්ලිපි වල කොට තිබෙන්නේ දෙමල භාෂාවෙන්. ඒ අනුව මෙම දෙමල බෞද්ධ උරුමය අපේ ඓතිහාසික අනන්‍යතාවයේ කොටසක් ලෙස පැහැදිලිවම අප පිලිගන්නවා.

නමුත් පසුකාලීනව, මෙම ප්‍රදේශ ආශ්‍රිතව හින්දු ආගමේ පුනරුදයත් සමග මෙම දෙමල බෞද්ධයන් නැවත හින්දු ආගම වැළඳගෙන තමන් කලින් වන්දනා කල බෞද්ධ පූජනීය ස්ථාන හින්දු පූජනීය ස්ථාන ලෙසට පරිවර්තනය කොට වන්දනාමාන පවත්වා ගෙන යා තිබෙනවා. එය සිදු කර ඇත්තේ පාරම්පරිකව එම ප්‍රදේශ වල සිටි ජනතාවමයි. පුරාවිද්‍යා පණත යටතේද සඳහන් වන්නේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම ගැනයි. එහෙම නැතිව බෞද්ධයන් නැති මෙම ප්‍රදේශ වල අලුතින් විහාර ඉදි කිරීම මෙම ප්‍රදේශ වල ජන විකාශනය වෙනස් කිරීමේ ව්‍යාපාරයක් දෝයි මෙම ප්‍රදේශ වල ජනතාව අතර සැකයක් පවතිනවා. අපේ ජනතාව එහෙම සැක කරන්නේ ඉතිහාසයේ පටන් එවැනි සිදුවීම් සිදුවී ඇති නිසා. උදාහරනයක් වශයෙන් සංඛ්‍යාලේඛන වලට අනුව මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් බෙදාහැරීමේදී ඉඩම් ලබාදී ඇත්තේ 99% සිංහල ජනතාවට පමණයි. අපගේ ස්ථාවරය වන්නේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගෙන යායුතු බවය. එයට අපි විරුද්ධ නැහැ. උදාහරණයක් ලෙස කින්නියා වල පුල්ලෙයාර් කෝවිල ආශ්‍රිතව යම් නොසන්සුන්තාවයක් පසුගිය කාලයේදී අපට දකින්නට ලැබුනා. මෙම ස්ථානයේ බෞද්ධ නටබුන් ඇතිබවට සාක්ෂි දැන් සොයාගෙන තිබෙනවා. ඒ අනුව දැන් අපි එකඟ වී තිබෙනවා කෝවිල වෙනත් ස්ථානයකට ගෙන යාමට.

Q. මෙම පාද යාත්‍රාව ශ්‍රී ලංකික දෙමළ ජනතාවගේ අභිලාෂයන් පමණක් පිළිබිඹු කල ව්‍යාපාරයක්ද ? දෙමල භාෂාව කථාකරන මුස්ලිම් ජනතාව හා ඉන්දීය සම්භවයක් සහිත දෙමල ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් මෙම ව්‍යාපාරය පෙනී සිටියාද ? ඔවුන්ගෙන් ලැබුනේ මොනවගේ සහයෝගයක්ද ? මම සඳහන් කරන්න ඕන මෙම පාද යාත්‍රාව දෙමල භාෂාව කථාකරන සියලුම ජන කණ්ඩායම් වෙනුවෙන් ක්‍රියාත්මක වූ බව. විශේෂයෙන්ම පාද යාත්‍රාවේ අරමුණු අතර COVID අසාධිතව මියගිය මුස්ලිම් ජනතාවගේ සිරුරු ඉස්ලාම් ඉගැන්වීමවලට හා එම ඥාතීන්ගේ කැමැත්තට පටහැනිව ආදාහනය කිරීමට විරුද්ධව අපි උද්ඝෝෂණය කළා. තවද, රජය විසින් ඉඩම් අත්පත් කරගැනීමේදී නැගෙනහිර මුස්ලිම් ගොවීන් පීඩාවට පත්ව තිබෙනවා. මම දැනට පොතුවිල් වල මෙසේ තම වගා භූමි අත්පත් කරගෙන ඒවාට ඇතුළු වීමට නොහැකි වී සිටින මුස්ලිම් ගොවීන් 14දෙනෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිනවා. විශේෂයෙන්ම, පාද යාත්‍රාව මුස්ලිම් ගම්මාන හරහා ගමන් කරන විට ඔවුන්ගේ සහයෝගය විශාල වශයෙන් ලැබුනා. උදාහරණ වශයෙන් නින්දවූර්, කල්මුනයි, අට්ටලච්චේන, පාලමුනයි, සයින්දමරුදු, කත්තාන්කුඩි, එරාවුර්, වාලච්චේන, ඔට්ටමාවඩි, මුතූර්, කින්නියා ප්‍රදේශ හරහා ගමන් කරන විට මුස්ලිම් ජනතාව වීදි බැස විශාල සහයෝගයක් පල කළා.

මෙම ප්‍රදේශ වල ප්‍රාදේශීය දේශපාලඥයින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙකුම පාගමනට එක්වී සහයෝගය දැක්වුවා. කින්නියා හිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතාද පාගමනට සහභාගි වුනා. ඒවගේම ඉන්දීය සම්භවයක් සහිත දෙමල ජනතාව පිරිස් වශයෙන් මෙම පාගමනට සහභාගී නොවුනත් ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමල ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරගැනීමේ ඉල්ලීම මෙම පාද යාත්‍රාවේ ප්‍රධාන අරමුණක්. පාදයාත්‍රාවේ 4වන දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාගමනට එක්ව සිටියා. ඒ අනුව මෙම පාද යාත්‍රාව දෙමල භාෂාව කතාකරන සියලු ජන කණ්ඩයම් වල ප්‍රජතන්ත්‍රවාදී ඉල්ලීම් වෙන්වෙන් පෙනී සිටි ව්‍යාපාරයක්.

Q. මෙම පාද යාත්‍රාවට එරෙහිව පොලිසිය විසින් පාද යාත්‍රාව ගමන් කල බොහෝ මහේස්ත්‍රාත් අධිකරණය බල ප්‍රදේශ වලදී වාරණ නියෝග ලබාගෙන තිබුනා. ඔබට නැගෙන චෝදනාවක් තමයි අධිකරණ නියෝග නොසලකා හරිමින් දිගින් දිගටම මෙම පිරිස් පාද යාත්‍රාවේ යෙදුනු බව. ඒ ගැන පැහැදිලි කිරීමක් කලොත් මේ සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුනේ අපරාධ විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය යටතේ. එම වගන්ති ප්‍රකාරව නියෝගයක් නිකුත් කල යුත්තේ අදාළ පුද්ගලයන්ට විරුද්ධවය. ඒ අනුව එසේ වාරණ නියෝග නිකුත් කොට, එම නියෝග පිරිනමා තිබූ පුද්ගලයන් අදාල බල ප්‍රදේශ වලදී පාද යාත්‍රාවට සම්බන්ධ වීමෙන් වැළකී සිටියා. යාපනය අර්ධද්වීපයේ මහේස්ත්‍රාත් අධිකරණ 4ක් තිබෙනවා. මින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබු වාරණ නියෝගය ඉවත් කරගත් අතර, චාවකච්චේරි සහ මල්ලාවහම් අධිකරණ වලදී නොතේසි නිකුත් කර කරුණු සලකා බැලීමෙන් අනතුරුව වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පේදුරු තුඩුව මහේස්ත්‍රාත් අධිකරණය පමණක් 8 දෙනෙකු පමණ පිරිසකට වාරණ නියෝග නිකුත් කර තිබුනා.

Q. ඔබ සිතනවද පාද යාත්‍රාව සාර්ථක වූවා කියලා?

ඔබ අපේක්ෂා කල පරිදි ජනතාවගේ සහයෝගය ලැබුනද ? ඔව්. පළමු දිනයේදී අම්පාර සිට මඩකලපුව දක්වාත්, දෙවන දිනයේදී මඩකලපුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත්, තෙවන දිනයේදී ත්‍රිකුණාමලයේ සිට මුලතිවු හරහා වවුනියාව දක්වාත්, සිව්වන දිනයේදී මන්නාරම, කිලිනොච්චි හරහා මුලතිවු දක්වාත්, පස්වන දිනයේදී වවුනියාවේ සිට යාපනය දක්වාත් කිලෝමීටර් 720 ආවරණය කරමින් අපි පාද යාත්‍රාවේ යෙදුන. පළමු දිනයේ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන විට 1000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම පාගමන යාපනයේ අවසාන දිනයේදී 50,000-60,000 බවට පරිවර්තනය වී තිබුනා. සමස්තයක් වශයෙන් 100,000 පමණ පිරිසක් පාද යාත්‍රාවට සහභාගී වී තිබුනා. උතුරු නැගෙනහිර දෙමල , මුස්ලිම් ජනතාවගේ විශාල සහයෝගයක් අපට ලැබුනා.

මෙම පාද යාත්‍රාව ඉතාම සාර්ථකයි. යුද්ධය අවසාන වීමෙන් පසුව දෙමල කතාකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි අවධානය යොමු කිරීමට මේසා විශාල, සාමකාමී හා දීර්ඝ පාගමනක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

Q. ඔබට එරෙහිව නැගෙන ප්‍රබලම චෝදනාව තමයි මෙය ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව පවත්වමින් ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කිරීමේ ප්‍රයත්නයක නිරත වන බව. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජනාවට සහයෝගය දැක්වීම ගැන දෙමළ ජාතික සන්ධානයට දැඩි විවේචන එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

2009 මැයි මාසයේ යුද්ධය අවසාන වීමත් සමග, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් මහතා මෙරට සංචාරයක නිරත වූවා, එහිදී මහ ලේකම් වරයා සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන්ට හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීතිමය වගකීම් වලට සමගාමිව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් දී තිබෙනවා.

ඉන් අනතුරුව 2009 මැයි 27 ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් වූ යෝජනාවද යුද්ධයෙන් අනතුරුව මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට පක්ෂපාතිව සම්මත වූ යෝජනාවක්. මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ වගවීමේ යාන්ත්‍රණය සහ සංහිදියාව සම්බන්ධයෙන් 2012 සිට යෝජනා කීපයක්ම ගෙනවිත් තිබෙනවා. විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ 2012, 19/2 යෝජනාව සහ 2013, 22/1 යෝජනා දෙකේම හරය වන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධවයි. එවක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගත් පාඩම් කොමිසම පත්කළේ අනාගතයේ නැවත යුද්ධයක් ඇති නොවීමට අවශ්‍ය ආයතනික, පරිපාලන හා නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි. එය එම කොමිසම පත් කිරීමට අදාල අරමුණු වල සඳහන් කොට තිබෙනවා. එම කොමිසමේ වාර්තාවේ ඉතා ප්‍රගතිශීලී යෝජනා බොහොමයක් ඉදිරිපත් කොට තිබුන. නමුත් අවාසනාවකට උගත් පාඩම් කොමිසම් වාර්තාවේ බොහෝ නිර්දේශ ක්‍රියාත්මක කලේ නැහැ. යුද්ධයෙන් පසුව පත්වූ සෑම රජයක්ම ප්‍රතිඥා පිට ප්‍රතිඥා දෙමින් සඳහන් කලේ අපේ රටේ ප්‍රශ්න අපිට විසඳා ගත හැකි බවත්, විදේශ මැදිහත්වීමක් අනවශ්‍ය බවත්. එත් තමන්ම පත් කල කොමිසමේ බොහෝ නිර්දේශ නිවැරදිව ක්‍රියාත්මක කිරීමට එවක රජය උනන්දු වූයේ නැහැ. මේ ආකාරයට උගත් පාඩම් කොමිසමේ බොහෝ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ පසුබිම තුල නැවත 2014, 25/1 නමින් යෝජනවක් සම්මත වූවා. එහි සඳහන් කොට තිබෙනවා යුක්තිය සහ සත්‍ය සෙවීම සබන්ධයෙන් ජාතික යාන්ත්‍රණයක් ක්‍රියත්මක නොවීම සහ සාධනීය ප්‍රථිපල ලබාදීමට අපහොසත් වීමේ පසුබිම තුල එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය අධීක්ෂණය කිරීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට සිදු කරන නිර්දේශ පිළිගන්නා බව. ඉන් පසුව යහපාලන රජය විසින් සම අනුග්‍රහකත්වය දක්වමින් සම්මත කල 2015 ඔක්තෝම්බර් 30/1 යෝජනාව ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට පක්ෂපාති යෝජනාවක්. මෙම යෝජනාවේ සාධනීය නිර්දේශ කෙරෙහි දෙමළ ජාතික සන්ධානය වශයෙන් අපද සහයෝගය පල කළා. විශේෂයෙන්ම

සඳහන් කලයුතු කාරණයක් වන්නේ LTTEයට පක්ෂපාති දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායම් මෙම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කල බවයි. ඔවුන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් මෙම යෝජනාව ගිනිතබා විනාශ කරමින් තම විරෝධය පල කළා. ඔවුන් දන්නවා සාමාන්‍ය දෙමල ජනතාවගේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් රජයක් සාධනීය පියවර ගැනීම තම පැවැත්මට හානි කර බව. 30/1 යෝජනවා හරහා ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට තිබුනේ ශ්‍රී ලංකාවේ වගවීමේ සහ සංහිදියා යාන්ත්‍රණය සාධනීයව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධවය. නමුත් අවාසනාවකට රජය විසින් දකුණේ ජනතාවට මෙම යෝජනාව සම්බන්ධයෙන් බිල්ලෙක් මවා පාල තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කල යුතුයි යහපාලන රජය පවා දෙමල ජනතාවගේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ගමන් කලේ ඉබි ගමනින් බව. නමුත් යම් යම් අංශ වලින් සාධනීය පියවර ගෙන තිබෙනවා.

වර්තමන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙම 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත් වීමට තීරණය කළා. ඒ අනුව නැවතත් අපි ජාත්‍යන්තරයට දී තිබෙන පණිවිඩය වන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීමේ සහ සංහිදියා යාන්ත්‍රණය සාධනීයව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව නොවේද? වසර 30ක් යුද්ධයෙන් මෙරට සියලුම ජනතාව දැඩි පීඩාවන්ට පත්වුණා. විශේෂයෙන්ම අපි සඳහන් කල යුතුය අපි කිසිවිටෙකත් LTTEය අහිංසක සිංහල ජනතාව ඉලක්ක කොට සිදු කල ත්‍රස්තවාදී ක්‍රියා අනුමත නොකරන බව. විශේෂයෙන්ම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ඉදිරියේ සාක්ෂි දෙමින් අප ප්‍රකාශ කර සිටියා දෙමළ ජනතාවගේ නාමයෙන් අහිංසක සිංහල ජනතාවට සිදු කල ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් අප කණගාටු වන බව.

අපට ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ කිසිඳු උවනාවක් නැහැ. යුද්ධයෙන් පීඩා විඳපු ජන කොට්ඨාශයක් වශයෙන් දෙමල ජනතාවටද අවශ්‍ය වන්නේ ඉදිරියට ගමන් කිරීමටයි. නමුත් එසේ රටක් වශයෙන් අපි සියලු දෙනා ඉදරියට යාමට නම් සියලුම ජන කොට්ඨාශ වල මානව හිමිකම් තහවුරු කල යුතුය. අපි ඉල්ලා සිටින්නේ වගවීමේ සහ සංහිඳියා යාන්ත්‍රණය සාධනීයව, ප්‍රථිපල ලබා දෙන ලෙස අපේ ජනතාවට පිළිගත හැකි ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මානව හිමිකම් අහිමිද? මෙරටේම පුරවැසියන් වන දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීම අසාධාරණද ?

Q. මෙම පාගමන උතුරු නැගෙනහිර දෙමල කතාකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීම අරමුණු කරගෙන පැවත්වුවක්. මේ රටේ බහුතර සිංහල ජනතාවට සහ මුළු රටටම ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද ?

මෙම පාද යාත්‍රාව දෙමල කතාකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි රජය දක්වන නොසලකා හැරීමේ න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට විශාල වශයෙන් ජනතාව ඒකරාශී වීම බලාපොරොත්තු ජනිත කරවන සුළුය. විශේෂයෙන් මෙම පාද යාත්‍රාවට එක්වී සිටියේ මෙරට වසර 30ක යුධයෙන් පීඩා විඳපු ජනතාව, තමන්ගේ අයිතීන් උල්ලංඝනය වූ ජනතාව. උදාහරණ වශයෙන් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීම තහනම් කොට ඇති, ඔවුන්ගේ සුසාන භූමි විනාශ කොට ඇති, අතුරුදහන් වූ තම ඥාතීන්ට කුමක් වූයේද පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින, චෝදනා විරහිතව වසර ගණනාවක් සිරගතව සිටින දෙමල දේශපාලන සිරකරුවන් සහ විවධ වෙනස් කොට සැළකීම් වලට භාජනය වූ, දිගින් දිගටම විවධ පීඩාවන්ට ලක්වූ මෙකී ජනතාව මෙසේ තම අයිතීන් වෙනුවෙන්

ප්‍රජාතන්ත්‍රවාදිව, සාමකාමිව පෙනී සිටීම ඔවුන්ගේ එඩිතර බව, ඔවුන්ගේ ඔරුත්තු දීමේ හැකියාව පිළිබිඹු කරනව. මෙය දෙමල කතාකරන ජනතාවට පමණක් බලාපොරත්තු ජනිත කරන ව්‍යාපාරයක් පමණක් නොවේ. විශේෂයෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශ වල පීඩාවට පත්වූ ජනතාවටද මෙය යහපත් පණිවිඩයක්.

එමෙන්ම නුදුරු අනාගතයේදී බොහෝ දෙනෙක්ට වැටහේවි මෙම පීඩාකාරී තීරණ තීන්දු කෙරෙහි මුනිවත රැකීම වෙනුවට ඒවාට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදිව හා සාමකාමිව විරෝධතාවය ප්‍රකශ කල යුතු බව . රටේ ඕනෑම තැනක සිදුවන අසාධාරණ ක්‍රියා වලට එරහිව, එම ගැටලුව බලපාන්නේ සිංහල, දෙමල, මුස්ලිම් ජනතාවට පමණක්ද කියා සලකා බලන්නේ නැතිව ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම ජනතාව ඒකරාශී විය යුතුය. මෙය කිසි ලෙසකින්ම මෙරට බහුතර ජනතාවට එරෙහි ව්‍යාපාරයක් නොවේ, මෙම පාද යාත්‍රාව දිවයිනේ එක්තර භූමි ප්‍රදේශයකට පමණක් සීමා වුනත් මෙය මෙරටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන පෙනී සිටින ව්‍යාපාරයක්.

වසර 30 ක කුරිරු යුද්ධයකට මෙරට ඇදගෙන ගියේ, දෙමල තරුණයන් ප්‍රචණ්ඩත්වයට යොමු වීමට අයුධ අතට ගැනීමට පෙලඹ වූයේ එවකට සිටි දේශපාලන නායකයන් දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ඉල්ලීම් වසර ගනනාවක් තිස්සේ ප්‍රතික්ෂේප කරමින්, ඒවා නොසලකා හරිමින් අන්ත ජාතිකවාදී, බහුතරවාදි ප්‍රතිපත්තියක් අනුගමනය කල නිසා. ඒවගේම අපි දැක්ක පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයෙක් සාක්ෂි දී තිබුනා තමන් අන්තවාදයට යොමු වුනේ අලුත්ගම දර්ගා නගරයේ අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වුන ප්‍රචණ්ඩ ක්‍රියා වලින් අනතුරුව බව .

මෙරටේ සිදුවූ ලේ වැගිරීම් වලින් මෙරටේ සිංහල දෙමල, මුස්ලිම්, බර්ගර් සියලුම ජනතාව පීඩාවට පත්වුණා. තවත් ලේ වැගිරීම් අපට දරාගැනීමට නොහැකියි. එවැනි තත්වයකට මෙරට කිසිඳු පුරවැසියෙක් කැමති වන්නේ නැහැ. ඒ නිසා අපි මෙරටේ සියලුම ජනතාවගෙන් විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මෙරට සංඛ්‍යාවෙන් පමණක් සුළු, සුළු ජනතාව ලෙස හඳුන්වන අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වලට කන් දෙන්න. මෙරටේ සිංහල, දෙමල , මුස්ලිම්, බර්ගර් සියලුම පුරවැසියන්ට ශ්‍රී ලාංකිකයන් ලෙස සමාන පුරවැසියන් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන්න.