Language Switcher

V2025

භාණ්ඩ මිල ඉහළයාම නොපෙන්වන දර්ශක විජ්ජාව එළියට !

මේ වනවිට වළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් වේගයෙන් ඉහළ ගියද කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය යන මිනුම් ඒකකවලින් උද්ධමනය නිරූපණය නොවීමේ රහස මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු විසින් හෙළිකර තිබේ.

පී. සමරසිරි හිටපු නියෝජ්‍ය අධිපතිවරයා අද (03) දිනමිණ පුවත්පතට කර තිබෙන ආර්ථික විග්‍රහයකින් එම තොරතුරු අනාවරණය වේ.

ඔහුගේ හෙළිකිරීම් අනුව වර්තමානයේ ආණ්ඩුව අනුගමනය කරන නූතන මූල්‍යවාදය නිසා උද්ධමනය මැනීම සිදුකළ නොහැකිය. “මූල්‍යවාදයෙන් අර්ථකථනය කෙරෙන උද්ධමනය මැනීම සඳහා දත්ත නොමැති අතර, පාරිභෝගික මිල දර්ශකය මේ සඳහා යෝග්‍ය නොවන්නේ එම මිල දර්ශකය කෙරෙහි මුදල් සැපයුම බලපාන ආකාරය තහවුරු කළ නොහැකි බැවිණි.” යනුවෙන් සඳහන් කර තිබේ.

තවදුරටත් මේ පිළිබඳව හිටපු නියෝජ්‍ය අධිපතිවරයා “නව මූල්‍යවාදීන්ට අනුව ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව සංවර්ධනය සහ උපයෝජනය සඳහා රජය වියදම් කිරීමේදී උද්ධමනය පිළිබඳ බියවිය යුතු නොවේ.” යනුවෙන් සඳහන් කර තිබිණි.

මේ අනුව වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම මුදල් අච්චු ගසමින් ආර්ථිකයට මුදාහැරීම සහ වාණිජ බැංකු පද්ධතිය හරහා ණය දීම සිදුකරන අතර, වෙළඳපොළේ පවතින උද්ධමනය පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නැත.

එසේම පසුගිය මාස කිහිපයක් පුරා නිකුත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පරස්පරයන් මෙන්ම මිල උද්ධමනය අවම ආකාරයෙන් දක්වා තිබීමෙන් මේ පිළිබඳව පැහැදිලිවෙයි.

lanka truth